
වැලි නිර්මාණ කලාව ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙරට දී පවත්වනු ලබන ප්‍රථම වැලි නිර්මාණ සැණකෙළිය පෙබරවාරි මස 04 වැනි දින පෙරවරු 10.00 සිට පස්වරු 10.00 දක්වා මීගමුව වෙරළේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
නිර්මාණශීලී ඕනෑම කලාකරුවෙකුට මීට එක්විය හැකි අතර ඒ සඳහා කිසිඳු මුදලක් අයනොකරන බව කයිමෙරා මෝෂන් පික්චර්ස් ආයතනය පවසයි.
වැලි නිර්මාණවලට අමතරව විවිධ වර්ගයේ දේශීය නිර්මාණ හා නිෂ්පාදන ද මෙම සැණකෙළිය සඳහා යොදා ගන්නා බවත් පහසු මිල ගණන් යටතේ එම නිෂ්පාදන මිලදී ගැනීමට හැකි බවත් මෙම සැණකෙළියේ සංවිධායක සිසිර සම්පත් යාපා මහතා පැවැසීය. මේ වන විට නිර්මාණකරුවන් දස දෙනෙකු පමණ ඉදිරිපත් වී සිටින බව පවසන ඒ මහතා නිර්මාණය ආරම්භයේ සිට අවසානය දක්වා සිදුවන සියලු ක්‍රියාකාරකම් නැරඹීමට පහසුකම් යොදා ඇති බව ප්‍රකාශ කෙළේය. මින් ලැබෙන ආදායමෙන් කොටසක් මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කිරීමට කටයුතු යොදා ඇති බවද හෙතෙම කියා සිටියේය.
විදේශ රටවල පවත්වන සැණකෙළිවලදි තමයි අපි මෙවැනි වැලි නිර්මාණ දැකලා තියෙන්නේ. ඒ නිසාම මමයි මගේ මිත්‍රය සුදර්ශනයි කතා කරගත්තා වැලි නිර්මාණ අපේ රටේ ප්‍රචලිත කළ යුතුයි කියළා. මෙය අපිට අභියෝගයක්, නමුත් ඒ අභියෝගය ජයගන්න අපිට පුළුවන් කියන තැන අපි ඉන්නවා. එම නිසා අපි නිර්මාණකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබටත් යම් දායකත්වයක් ලබාදෙන්න පුළුවන්නම් 0766771098 දුරකතන අංකයෙන් හෝ [email protected] ඊ මේල් ලිපිනය මඟින් වැඩිදුර තොරතුරු අපෙන් ලබාගන්න කියළා.
'හිස්තැනක්' 26දා නාමෙල් මාලනී පුංචි තියටර් හිදී
ලංකා චාමරගේ හයවැනි වේදිකා නාට්‍ය නිර්මාණය 'හිස්තැනක්'වේදිකා නාට්‍යය ලබන 26දින සවස 6.45ට නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකාගත කෙරේ.
කුටුම්බය තුළ ඇතිවන්නාවු සංකීර්ණ කතාවක් සියුම්ව විග්රහ කරන මෙම නාට්‍යය ලාංකික වේදිකාවේ පළමු සිනැමැටික් අද්දැකීමකි. මෙහි හෂිනිකා කරල්ලියැද්ද, සංජීව දිසානායක, හර්ෂ තෙන්නකෝන්, නයෝමි තක්ෂිලා යන රංගන ශිල්පිනියන් සහ ශිල්පීහු රංගනයෙන් දායකවෙති.
වජිර ගෙනා ලයිෆ් ඇන්ඩ් ලයිෆ්
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාට්‍යය අංශයේ පාලක වජිර ඉන්දික කරුණාසේන ගේ ‘ලයිෆ් ඇන්ඩ් ලයිෆ්‘ සංගීත සංධ්වනිය ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ දී පසුගියදා පැවැත්විණි.
මිනිස් කළලයේ සිට උප්පත්තිය, ජිවීතය ගෙවීම, යළි මිය යෑම සහ නැවත උප්පත්තිය ලැබීම යන සිදුවීම් පාදක කරගනිමින් මෙම සංගීත සංධ්වනිය නිර්මාණය කර තිබුණු අතර පැය දෙකක් පුරා වාදන ශිල්පීන් විසි අට දෙනකුගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්විණි.
පාසල් අවධියේ සිට සංගීතයට ළැදිකමක් දැක් වූ හෙතෙම ප්‍රවීණ සංගීතවේදී, ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් යටතේ සංගීතය හදාරා එතුමන්ගේ සංගීත කණ්ඩායමේ ම වයලින් වාදකයකු ලෙස කටයුතු කර තිබේ.
පසුකාලීන ගුවන් විදුලියේ නාට්‍යය අංශයට සම්බන්ධවන කරුණාසේන මහතා හොඳම නාට්‍යය නිෂ්පාදනය සඳහා වූ ජනාධිපති සම්මාන, රාජ්‍ය සම්මාන රැසක් දිනාගෙන තිබේ. මීගමුව මහවැව ප්‍රදේශයෙන් කලා ලොවට පිවිසී ඒ මහතා මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.