පූපය මස් බව­ටත් වයින් රුධි­රය බව­ටත් හැරුණු ප්‍රාති­හාර්ය සිදු­වුණු ලැන්සි­යානෝ | Page 3 | සිළුමිණ

පූපය මස් බව­ටත් වයින් රුධි­රය බව­ටත් හැරුණු ප්‍රාති­හාර්ය සිදු­වුණු ලැන්සි­යානෝ

ඉතාලිය හරහා මෙජිගෝරියට ගිය ගමනේ පළමු දිනයේ අප නවාතැන් ගත්තේ රෝම නගරයේ පිහිටි නවෝටෙල් හෝටලයේයි. දෙවැනි දිනයේ උදෑසනින්ම අවදි වූ අප ආහාර ගෙන පිටත්වූයේ කුරුසියේ ධාතු තැන්පත් කර ඇති මේරි මේජර් බැසිලිකාවටයි. මේ පිළිබඳව විස්තරය පසුගිය දෙසැම්බර් 24 වැනිදා කලාපයෙන් විස්තර කළා මතක ඇති.

ප්‍රසාදි නානායක්කාර මෙනෙවිය සැලසුම් කර තිබූ පරිදි අප මීළඟට දැක වැඳපුදාගැනීමට යායුතු වූයේ පූපය මස් වැදැල්ලක් බවටත්, වයින් ලේ බවටත් හැරීමේ ප්‍රාතිහාර්යය සිදුවූ ලැන්සියානෝ වෙතය. ලැන්සියානෝ ප්‍රදේශය රෝම නගරයේ සිට කිලෝමීටර 270 ක පමණ දුරකින් පිහිටා ඇති නිසා ඒ සඳහා පැය කිහිපයක දීර්ඝ ගමනක් යායුතුවිය. රෝම නගරයේ ඉන්දියානු අවන්හලකින් දිවා ආහාරය ගත් අප ලැන්සියානෝ බලා පිටත්වූයේ ඒ සඳහා සූදානම් කර තිබූ සුඛෝපභෝගී බස්රථයකිනි.

රෝම නගරයේ පරිසරයෙන් මිදී අධිවේගී මාර්ග ඔස්සේ ගමන් කළ මෙම ගමනේදී අවට පරිසරයේ අලංකාරය දැක ගැනීමට හැකිවිය. කිලෝමීටර ගණනාවක් දිගට විහිදී පැතිර ඇති විශාල තිරිඟු යායවල් පසුකර යද්දී අස්වනු නෙළීමෙන් පසු ඉතිරි වුණු පිදුරු රවුම් තැනින් තැන දිස්වෙයි. මෙම දසුන අපට නුහුරුය.

එසේම එක දිගට එක පෙළට ඇති මිදි වගාවන් මෙහි පොළොවේ සාරවත් බව කියාපායි. පැයක පමණ ගමනකින් පසු පරිසරය තරමක් වෙනසක් වූයේ කඳුකර ප්‍රදේශයක් හරහා ගමන් කළ බැවිනි.

ඈතින් දුටු සුළං බලයෙන් විදුලිය නිපදවන සුළං මෝල් කඳුකරයට අපූර්ව අලංකාරයක් ගෙන දෙයි.එසේම කඳු හාරා තනා ඇති විශාල උමංමාර්ග දිගේ අධිවේගී මාර්ගයේ ගමන් කිරීම අපට සැබැවින්ම අලුත් අත්දැකීමකි. සමහර උමං මාර්ග කිලෝමීටර් ගණනාවක් දිගින් යුතුය. හිරු අවරට බැස ගියත් දීප්තිමත්ව බැබලෙන සවස් යාමයේ අප ගමනාන්තයට ළඟාවීමු.

ලැන්සියානෝ හි Corso Roma එතරම් ජනාකීර්ණ නොවූ ප්‍රදේශයකි. මෙහි ඇති කුඩා පල්ලියක් වන ශාන්ත ලෙගොන්ෂියන් හි 8 වැනි ශත වර්ෂයේදී මෙම ප්‍රාතිහාර්යය සිදුවී තිබේ. වර්තමානයේ මෙම පූපය සහ රුධිර කැටි තැන්පත් කර ඇත්තේ Corso Roma ප්‍රදේශයේ පිහිටි San Francesco පල්ලියේයි. බස්රථය මෙහි ළඟාවන විට පස්වරු 6.30 පමණ විය. රථ ගාලේ සිට පල්ලිය වෙත කිලෝමීටරයක පමණ දුරක් පයින් ගමන් කළ යුතුය. ඉතාලියේ අප දුටු ප්‍රධානම කරුණක් වූයේ මෙම ජනතාවගේ වේලාවට වැඩ කිරීමයි. මෙම පල්ලිය පස්වරු 7.00 ට වසා දමන බැවින් අප බස්රථයෙන් බැස ඉක්මන් ගමනින් එහි ගියෙමු.

මෙම සංචාරයේදී මෙතෙක් අප දැකගත් විශාල බැසිලිකා දේවස්ථාන හා සංසන්දනය කිරීමේදී මෙම පල්ලිය ඉතා කුඩා පල්ලියකි. මොවුන් ඓතිහාසික දේ ඒ අයුරින්ම පවත්වාගෙන යාමට දක්ෂයන් නිසා පල්ලියේ ඒ පැරැණි බව ඒ අයුරින්ම දැකගත හැකිය.

අලංකාර ලීදොරෙන් පල්ලියට ඇතුළු වන විටම ප්‍රධාන අල්තාරය මත වීදුරුවලින් ආවරණය කරන ලද මෙම ප්‍රාතිහාර්ය සිදුවූ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ දර්ශනය වෙයි. ඉතා සමීපයට ගොස් මෙම මස් වැදැල්ල සහ රුධිර කැටි දැකගන්නට හැකිය.

අවසන් භෝජන සංග්‍රහයේදී ජේසුස් වහන්සේ රොටියක් ගෙන කඩා එය තමන්ගේ ශරීරය බව පවසා ගෝලයන්ට දෙන අතර මිදි කුසලානය ගෙන එය ගෝලයන්ට දෙන්නේ තමන්ගේ රුධිරය බව සඳහන් කරමින්.

දිව්‍ය පූජාවේදී පියතුමාන් විසින් මෙම අවස්ථාව සිහිපත් කරමින් පූපය ඔසවා එය සිදු කරන්නේ ඒ පිළිබඳව දැඩි විශ්වාසයකින් මෙන්ම අචල භක්තියකිනි. එහෙත් එදා මෙම දේවස්ථානයේ පූජාව සිදුකළ බැසිලියන් පූජකවරයාට ඒ පිළිබඳව කිසිදු විශ්වාසයක් තිබී නොමැත.

ඔහු හැම විටම මේ පිළිබඳව බලවත් සැක සහිත සිතින් පූජාව සිදුකරද්දී එක් දිනක මෙම ප්‍රාතිහාර්යය සිදූව තිබේ. පූජාව අවස්ථාවේ පූපය ඔසවන විට එය මස් වැදැල්ලක් බවට පත්ව ඇති අතර වයින් රුධිරය බවට හැරී තිබේ. වර්තමානයේ මෙම රුධිරය විවිධ ප්‍රමාණයේ කැට 5 ක් ලෙස දැකිය හැකියි. මෙම ලැන්සියානෝ ප්‍රාතිහාර්යය පල්ලියක සිදුවූ පළමු ප්‍රාතිහාර්යයි.

කතෝලික සභාව විසින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වා සත්‍ය බව තහවුරු කළ ප්‍රාතිහාර්යයක් ලෙස මෙය හඳුන්වනවා. ක්‍රි.ව. 1574 දී ඇන්ටෝනියෝ ගැස්පා රොද්‍රගුස් අගරදගුරුතුමන්ගේ කාලයේ මේ පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ පවත්වා තිබෙනවා.

1971 වර්ෂයේදී ඇරසෝ රෝහලේ ( Pathalogical Anotomy ) ව්‍යාධි විද්‍යා ප්‍රධානියා වූ රසායන විද්‍යා , ව්‍යාධි විද්‍යා හා කායික විද්‍යා මහාචාර්ය ඔඩෝර්ඩෝ ලිනෝලි ( Odoa rdo Linoli )මහතා මේවා පිළිබඳව රසායන විද්‍යා පරීක්ෂණ පවත්වා මෙය සත්‍ය බව තහවුරු කර තිබෙනවා. එසේම සීනා විශ්ව විද්‍යාලයේ ( University of Siena ) මානව කායික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයකු වන රැගේරෝ බර්ටලි මහතා මෙය සත්‍ය බව තහවුරු කර තිබෙනවා.

මහාචාර්ය ලිනෝලිගේ වාර්තා වලට අනුව මෙම මස් මිනිස් හෘද් පේශියක පටක කොටසක් වන අතර A B රුධිර ගණයට අයත් මැද පෙරදිග සම්භවයකට අයිතිවන පුද්ගලයකුගේ බව තහවුරු වන බව සඳහන්. එසේම මෙම රුධිරයේ ප්‍රෝටීන තිබී ඇත. එය සාමාන්‍ය ලේ වල අඩංගුවන ප්‍රතිශතයක් ලෙසටම තිබී ඇති අතර කිසිම කල්තබාගැනීමේ රසායනයක් ද අඩංගුව තිබී නැත. එසේම මෙය වසර දහස් ගණනක් පැරැණි රුධිරය නොව පිරිසුදු රුධිරය බවත් තහවුරු කොට ඇත.

දෙවැනි ජුවාන් පාවුලු පාප් වහන්සේ කාඩිනල්වරයකුව සිට සමයේ මෙය දැක ගැනීමට ගොස් තිබෙන බවත් සඳහන් වනවා. පල්ලිය වසා දමන වේලාව පැමිණි නිසාවෙන් අප දිව්‍ය සත්ප්‍රසාද කරඬුවට අත තබා ආශීර්වාද ලබාගෙන ආපසු එන්නට පිටත්වීමු.

ලබන සතියේ තව කොටසක් 

 

Comments

පිටු