
දයාන් විතාරණ දක්ෂ ජනප්‍රිය ගායකයෙක්. එහෙත් අප ඔහු මුලින්ම හඳුනා ගත්තේ ඡායාරූප ශිල්පයේ ප්‍රවීණයෙක් ලෙසය. මංගල ඡායාරූප ශිල්පියෙක් ලෙස වඩාත් ජනප්‍රියව සිටින දයාන් අපේ රටේ ජනප්‍රිය කලා ශිල්පීන්ගේ රුව කැමරාවට නගන්නත් දක්ෂයෙක්. දැනට ජීවතුන් අතර නැති සහ වර්තමානයේ අතිශයින් ජනප්‍රිය කලා ශිල්පීන්ගේ විවිධ මතක සටහන් එකතු කරන්නෙක්. මේ කියන්නට යන කතාව සති කිහිපයක් පැරණියි. නමුදු එහි වටිනාකමක් ඇති නිසාම එය සටහන් කරන්නට සිතුවෙමු. හරියටම කිව්වොත් ඒ ඉකුත් වසරේ දෙසැම්බර් විසිතුන් වැනිදාය. දයාන් විතාරණට හදිසියේම අපේ රටේ යුගයක් බැබළ වූ ගායිකාවකගේ උපන් දිනය සිහිපත් වුණා.
පාරම්පරික ආයුර්වේද වෛද්‍ය චරණ අනුෂාන සෙනෙවිරත්න දයාන් සමඟ මේ කලාකාරියගේ නිවෙසට යන්නට තීරණය කළේය. අහම්බෙන් ගිය මේ ගමනේ අපූරු සිදුවීම් පිළිබඳ මුල මැද අග දන්නේ දයාන්ය. මේ ඔහු කියන කතාවය.
“මට දෙසැම්බර් 23 දා උදේ මතක් වුණා අද ඇන්ජි අක්කගෙ උපන්දිනය නේද කියලා. (ඒ ප්‍රවීණ ගායන ශිල්පී ඇන්ජලින් ගුණතිලක.)මම මගේ මිත්‍ර අනුෂාන සමඟ ඇන්ජි අක්කා බලන්න ගියා. හරි පුදුමයි මම යනකොට ලතා අම්මා ඇන්ජි අක්කව බලන්න ඇවිල්ලා. (ඒ ගී ලොව ගී කෝකිලාවි ලතා වල්පොළ. දයාන් හඳුන්වන්නේ ලතා අම්මා නමින්.) වසර තිහකට ආසන්න කාලයක් මේ දෙන්නා හිත්නොහොඳ වෙලා හිටියේ. එත් ඉතාම මෑතකදි මේ දෙන්නා යාළු වුණා. “ අනේ ඇයි ලතා අපි තරහා වුණේ.,, ඒ යාළු වුණ දවසේ ඇන්ජි අක්කා ලතා අම්මගෙන් එහෙම අහලා තිබුණා. එදා කොහොම හරි ලතා අම්මා ඇන්ජි අක්කලාගේ ගෙදර ඉන්න කොට මටත් ලොකු සතුටක් දැනුණා. මටත් උවමනා කරලා තිබුණා මේ දෙන්නගෙ ඡායාරූප ටිකක් ගන්න. එදා ගෙදර හිටියේ ඒ දෙන්නා විතරයි. ලතා අම්මා කේක් එකකුත් ගෙනැල්ලා තිබුණා. ලතා අම්මා තමයි මාල කරාබු දාලා ඇන්ජි අක්කව හැඩ කළේ. ලතා අම්මා එයාගෙ බෑග් එකේ තිබුණ ලිප්ස්ටික් ගාලා ඇන්ජි අක්කව ලස්සන කළා. ලතා අම්මගෙ බෑග් එකේ හැඩ වෙන්න ඕන හැම දෙයක්ම තිබුණා. මේ ලිප්ස්ටික් එක කියලා පෙන්නනකොට, ඇන්ජි අක්කා කියනවා අනේ ඒ පාට හරි නැහැ කියලා. එතකොට ලතා අම්මා තව පාටක් පෙන්වනවා. අන්තිමට දෙන්නම ඒ පාටට කැමති වෙනවා. ඒ දෙන්නා දිහා බලාගෙන හිටපු අපිට හරි සතුටුයි. මං එදා මේ දෙන්නගෙ හැසිරීම් දැක්කේ වයස අවුරුදු පහළොවේ දහසයේ කෙල්ලෝ දෙන්නෙක් ඉස්කෝලේ යන්නේ නැතිව ගෙවල් වලින් කට්ටි පැනලා ඇවිල්ලා කරන දඟකාරකම් වගෙයි..අනේ ලතා මං හරි වාසනාවන්තයි. ඔයාගේ අතින් මට හැඩ වෙන්න වාසනාව තිබුණනේ..කියලා ඇන්ජි අක්කා ලතා අම්මට කිව්වා.
ඉන් පස්සේ ඇන්ජි අක්කා කේක් කැපුවා අපි හැමෝටම කැව්වා. ඒක හරි සුන්දර අත්දැකීමක්. අපි ඒ දෙන්නගෙ සින්දු කිව්වා. සමහර වචන අපිට වරදිනකොට ලතා අම්මා තමයි හිනාවෙවී අපට ඒ වචන මතක් කරලා දුන්නේ. මගේ මිත්‍ර ආයුර්වේද වෛද්‍ය අනුෂාන ඇන්ජි අක්කව පරික්ෂා කරලා බලලා කිව්වේ ඇය සුවපත් කරන්නට පුළුවන් කියලා. කොහොම වුණත් ඇන්ජි අක්කගෙ හැත්තෑ අටවන උපන්දිනය ඇයට මෙන්ම මටත් මගේ ජීවිතයේ නොමැකෙන සොඳුරු මතකයක් වුණා ” දයාන් ගෙවී ගිය ඒ දවස සිහිපත් කරන්නේ ආදරයෙනි.
ඉසවි