ජපා­නයේ කාර්යා­ල­වල ජීව­ත්වන පූස් යාළුවෝ | Page 2 | සිළුමිණ

ජපා­නයේ කාර්යා­ල­වල ජීව­ත්වන පූස් යාළුවෝ

ජපනා හපනා යනුවෙන් කියමනක් තිබෙන්නේ ජපන් ජනයා ඉතා කඩිසරව හා ඵලදායී ලෙස ඔවුන්ගේ රාජකාරී කටයුතු සිදු කරන නිසායි. අපේරටේ මෙන් අඩුවෙන් ම වැඩ කර වැඩියෙන් පඩි ගන්නට උත්සාහ කරනවා වෙනුවට ඔවුන් කරන්නේ තම උපරිමයෙන් ආයතනයට හා රටට සේවය කිරීමයි. ඔවුන් අධික ලෙස වෙහෙස වී වැඩ කරන නිසා පීඩනයට ලක් වන බැවින් ආයතන ප්‍රධානීන් විසින් තම සේවකයන්ගේ මානසික මට්ටම ඉහළ තබා ගැනීමට විවිධ පහසුකම් හා ක්‍රියාකාරකම් ආයතනය තුළට හඳුන්වා දෙනවා. සෑම දියුණු රටකම පාහේ මෙවැනි දෑ දැකිය හැකි අතර බොහෝමයක් ආයතන තුළට තම සුරතලාව රැගෙන පැමිණ හැකි වීම සුවිශේෂයි.

ඔවුන් සුරතල් සතුන්ව පවා කුඩා කල සිටම මනා පුහුණුවක් සහිතව ඇති දැඩි කරන නිසා සුරතල් සතකු කාර්යාලයට රැගෙන යාම ඉතා පහසු කටයුත්තක්. ජපානය වැනි සුරතල් සතුන් බහුලව වෙසෙන රටක නම් මෙවැනි පියවරක් ගැනීම පුදුම සහගත නොවන්නේ ඔවුන්ගේ සුරතල් සතුන් ගහණය එහි වෙසෙන කුඩා දරුවන් ප්‍රමාණයට වඩා වැඩි නිසායි. වයස අවුරුදු 15ට අඩු ළමයින් ප්‍රමාණය මිලියන 16.5ක් වන අතර ජපානයේ වෙසෙන සුරතල් බල්ලන් සහ පූසන්ගේ ප්‍රමාණය මිලියන 21.3ක් වනවා. මෙතරම් සුරතල් සතුන් සිටියත් බොහෝමයක් ටෝකියෝ වැසියන්ට සුරතල් සතකු තම නිවසේ තබාගැනීමට හැකියාවක් නෑ. එයට හේතුව වන්නේ ඉතා දැඩි ජන ඝනත්වයක් තිබෙන ටෝකියෝ නගරයේ බොහෝ මහල් නිවාස වල සුරතල් සතුන් ඇති කිරීම තහනම් කර තිබීමයි. මේ නිසා ටෝකියෝ නගරය පුරා Cat Cafes නමින් අවන්හල් තිබෙන්නේ අවන්හලේ සිටින කාලය තුළදී සුරතල් පූසන් සමඟ කාලය ගත කිරීමේ හැකියාව ටෝකියෝ වැසියන්ට ලබා දෙමිනි.

නමුත් එම කාලය ඉතා සීමිත නිසා ජපානයේ ආයතනයක් විසින් තම රාජකාරී ස්ථානය තුළ පූසන් ඇති කිරීමට කටයුතු කර තිබෙනවා. Ferray Corporation එම ආයතනයේ නම වන අතර ටෝකියෝ හි පිහිටි මෙම කාර්යාලය තුළ පූසන් 9 දෙනකු ජීවත් වනවා. පූසන්ට නිදහසේ කාර්යාලය තුළ සැරිසැරීමට අවසර තිබෙන අතර සේවකයින්ටද ඔවුන්ව ඕනෑ තරම් සුරතල් කිරීමට හැකියි. යතුරු පුවරු මතින් ඇවිදීම, රැහැන් සැපීම, පරිගණක ක්‍රියා විරහිත කිරීම හා බිත්ති සීරීම වැනි සුරතල් නොවන ක්‍රියාද මොවුන් සිදු කරන නමුත් එයට වඩා සතුටින් සිටින සේවයන්ගෙන් ආයතනයට තිබෙන වාසිය බොහෝ වැඩි බව එම ආයතනයේ ප්‍රධානියා පවසනවා. ඔහු තව දුරටත් පවසා සිටින්නේ කලින් නිශ්ශබ්දව හා තනිව රාජකාරි කටයුතු වල නියැළුණු සේවකයන්, පූසන් පැමිණීමෙන් පසුව අනෙකුත් සේවකයන් සමඟ පූසන් පිළිබඳව කතාබහ කිරීම මගින් ඔවුන් අතර මනා සන්නිවේදනයක් හා අවබෝධයක් ඇති වී තිබෙන නිසා කාර්යාලීය කටයුතු පෙරට වඩා ඉතා හොඳින් සිදු වන බවයි. මෙම ආයතනය තුළට තමන්ගේ නිවසේ සිටින සුරතල් සතුන්ද රැගෙන පැමිණිය හැකි අතර සුරතල් සතුන් නොමැති සේවකයින්ට සුරතල් සතකු ඇති කරනවානම් මසකට ඇමෙරිකානු ඩොලර් 45ක දීමනාවක් පවා ආයතනය මඟින් ලබා දෙනවා.

මීට අමතරව Oracle Japan ආයතනයේ පිළිගැනීමේ හා සුව කිරීමේ නිලධාරියා ලෙසින් ‘කැන්ඩි’ නම් සුනඛයකු වෙසෙන අතර ඔහුට ට්විටර් හා ඉන්ස්ටග්‍රෑම් ගිණුම් පවා තිබෙනවා. Pasona සමූහ ව්‍යාපාරය සඳහාද වසර 2011දී එළුවන් දෙදෙනකු හා වසර 2013දී ලාමා සතුන් දෙදෙනකු පූර්ණ කාලීන සේවකයින් ලෙසින් ආයතනයට බඳවාගෙන තිබෙන්නේ සේවකයන්ගේ මානසික ආතතින් සුව කිරීමටයි. වර්තමානයේ ශ්‍රීලංකාවේ සමහර ආයතන තුළද සුරතල් සත්ත්ව නිලධාරින් දැකිය හැකි නමුත් බොහෝමයක් ආයතන වල සේවකයින්ගේ කාර්යක්ෂමතාව නම් තවමත් ඉතා පහළ මට්ටමක තිබෙන බව අප සියලුදෙනා ඉතා හොඳින්ම දන්නා කරුණකි.

[email protected]

 

Comments