ආයෙ හෙම මගෙ ටෙලි­ෆෝන් කෝල්ස් හොරෙන් අහ­ගෙන ඉන්න එපා | සිළුමිණ

ආයෙ හෙම මගෙ ටෙලි­ෆෝන් කෝල්ස් හොරෙන් අහ­ගෙන ඉන්න එපා

මීට තෙමසකට පෙර තිබූ සාමකාමී බව නැවතත් නිවස තුළ රැඳී තිබුනද, වෙනසකට වූයේ අසාර් තුළ වූ කාර්ය බහුලත්වයයි. ඔහු නිතර නිතර නිවසින් බැහැර ගියේ ඔහු, පියා සහ සහෝදරයින් සියලු දෙනා එක්ව ආරම්භ කිරීමට නියමිතව තිබූ චොක්ලට් ෆැක්ටරියේ වැඩ කටයුතු සොයා බැලීමට බව ෆියෝනා දැන සිටියාය.

එහෙත් ඒ පිළිබඳව කිසිවක් අසාර් ඇය හා නොපවසන්නට ප්‍රවේශම් වූයේ පියාගේ, මවගේ සහ සහෝදරයින්ගේ බලපෑම නිසාදැයි ෆියෝනාට සිහි විය. මහනුවර හා කොළඹ අතර කිසියම් ප්‍රදේශයකින් ඔවුන් චොක්ලට් ෆැක්ටරිය ඉදි කිරීම සඳහා ඉඩම් මිල දී ගන්නට ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය වන යන්ත්‍ර සූත්‍ර පිටරටින් ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවත් ෆියෝනා දැන ගත්තේ අසාර් පැවසීම නිසා නොව වරින් වර නිවැසියන් හා අසාර් අතර හුවමාරු වූ දුරකතන ඇමතුම් නිසාවෙනි.

“කවදද ඔයාලගෙ වැඩ පටන් ගන්නෙ?”

එවන් දුරකතන ඇමතුමක් අහම්බෙන් තම සවනත වැටුණු එක් දිනයක ෆියෝනා, අසාර්ගෙන් විමසුවාය.

“ඔයාලගෙ වැඩ කටයුතු කිව්වෙ? ”

සෝෆාව මත පහසු ලෙස වාඩි වී නේල් ක්ලිපරයකින් නියපොතු කපමින් සිටි අසාර් ෆියෝනාගේ මුහුණ දෙස බැලුවේය.

“ඔයාලගෙ චොක්ලට් ෆැක්ටරි එකේ වැඩ?”

අසාර් ඉවතට විසි කළ නේල් ක්ලිපරය ෆියෝනා අල්ලා ගත්තාය. එය නිවසේ පෙර තිබූ එකක් නොවේ. ඒ මේ අත හරවද්දී ඇසක් ඉඟි කරන කාන්තා රූපයකින් යුක්ත වූ නේල් ක්ලිපරය දෙස ෆියෝනා බලා සිටියාය.

“ඔයා දන්නෙ කොහොමද?”

“ඇයි මං නොදන්නෙ? දෙන්නෙක් එකට කාලයක් ජීවත් වෙන කොට එක එක්කෙනාගෙ සිතිවිලි අනිත් කෙනාට දැනෙනවා.”

“හැබෑටම? ”

අසාර් අවඥා සහගත ලෙසින් පැවසුවේය.

“ඒ වුණාට ඔයා හිතන දේවල් මට දැනෙන්නෙ නෑනෙ.”

“නොදැනෙනවා නෙමෙයි. දැනෙනවා. ඒත් ඔයා දැනෙන්නෙ නෑ වගේ ඉන්නවා. ”

අසාර් තම මුහුණ දෙස බලා සිටියේ තම සිතිවිලි වටහා ගැනීමේ උත්සාහය ඇතිවදැයි ෆියෝනා කල්පනා කළාය.

“ඇයි මම එහෙම කරන්නෙ?”

“ඒ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නෙ මා ළඟ නෙමෙයි. ඔයා ළඟමයි.”

“ෆියෝනා... ”

අසාර් නැගිට විත් ෆියෝනා වාඩි වී සිටි දිගු සෝෆාවෙහි හිඳ ගත්තේය.

“ඔයා එකක් තේරුම් ගන්න ඕන. මේක අපේ පවුලේ බිස්නස් එකක්. ඒ ගැන ඔයා දැනුවත් කිරීමෙන් පලක් තියෙනවද? නැහැනෙ. ඔයා මොනවද බිස්නස් ගැන දන්නෙ? ආකිල්ගෙ වයිෆ් හොඳ බිස්නස් ෆැමිලි එකක කෙනෙක් වුණත් අඩුම තරමෙ එයාවත් අපේ බිස්නස් වලට එයාව හවුල් කර ගන්නෙ නෑ. ”

“හවුල් කරගන්න ඕන නෑ. අඩුම තරමෙ ඇයි දැනුවත් කිරීමක් වත් කරන්නෙ නැත්තෙ? ”

“පලක් නෑ.”

අසාර් පැවසුවේය.

“බිස්නස් එක සාර්ථක වුණාට පස්සෙ ආදායම කොටස් හයකට බෙදෙනවා. එක කොටසක් මට ලැබෙනවා. ඒකෙන් මම ඔයාට අවශ්‍ය හැම දෙයක්ම දෙනවා නම් තවත් මොනවද ඔයාට කියන්න තියෙන්නෙ?”

“සමාවෙන්න.”

දිගු සුසුමක් මුදා හළ ෆියෝනා සිනාසෙන්නට උත්සාහ කළාය.

“ ඕනකමකට නෙමෙයි. මම නිකම් ඇහුවෙ.”

“නිකම් නම් කමක් නෑ. ආයෙ හෙම මගේ ටෙලිෆෝන් කෝල්ස් වලට හොරෙන් ඇහුම්කන් දෙන පුරුද්ද වහාම නවත්තන්න ඕන.”

නැගී සිටි අසාර් තම මුහුණ දෙස නොබලාම විසිත්ත කාමරයෙන් පිටව ගියේය. ෆියෝනාගේ දෙනෙතග කඳුළක් නැගිණ.

“මොනවා වුණත් අපි දෙන්නා දුරස්.”

තමාටම පවසා ගත් ෆියෝනා සිය ලිවීම් කටයුතු කරන කාමරයට ගියාය. මුළු නිවසම නිහඬය. පාළුය. එම පාළුව බිඳ හරිමින් ‘නිසල විල’ සංගීත ආශ්‍රමය දෙසින් ඇසෙන ගී හඬට සවන් දී සිටියාය.

අහසේ කළු පැහැ

දියවී වැටුණා

ගං හෝ මුමුණා

ඉවුරේ හැපුනා

 

සිරි සිරි හඬ නැග වැහි පොද ආවා

එකිනෙක තරගෙට මිහි පිට නැටුවා.

බාළක බාළිකාවන්ගේ හඬින් නැගෙන එම ගී හඬ අතිශයින් මිහිරිය. හයවැනි හෝ හත්වැනි ශ්‍රේණියේ දී සංගීත පාඩමේ දී තමා ද එම ගීතයම පන්තියේ සිසුවියන් හා ගායනා කළ අන්දම ෆියෝනාට සිහියට නැගිණ. තම කටහඬ ඉතාම මිහිරි බවත්, සංගීත අංශයෙන් බොහෝ දුර යා හැකි බවත් තම සංගීත ගුරුවරිය වූ පියුමන්ති මිස් පැවසූ අන්දමත්

සිහිපත්ව ෆියෝනාගේ මුවග දුක් සිනාවක් නැගිණ.

සාමාන්‍ය පෙළ විභාගයෙන් සංගීතයට විශිෂ්ට සම්මානයක් හිමි වී තිබුණෙන්, උසස් පෙළ සංගීත විෂයය ධාරාවෙන් හැදෑරීමේ ආශාව අත හැරීමට සිදු වූයේ ලොකු අක්කා ලෝචනා නිසාය.

“මේ ළමයට නම් පිස්සු. සංගීතෙ ඉගෙන ගෙන කාටද හරි ගියේ ළමයා? බයෝ සයන්ස් වලින් ඒ ලෙවල් කරනවා. අපි දෙන්නට මෙඩිකල් කොලේජ් යන්න බැරි වුණු එකේ අඩුම තරමෙ ඔයාවත් ඉගෙන ගෙන ඩොක්ට කෙනෙක් වෙනවා. පිස්සු කරන්නෙ නැතිව.”

ජීව විද්‍යා විෂය ධාරාවත්, සංගීත විෂය ධාරාවත් අතර සිත දෝලනය වෙමින් පවතිද්දී ලොකු අක්කා ලෝචනා විශ්වාස කළ තමා ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීමට තීරණය කිරීම මාස ගණක් යන්නට මත්තෙන් අවබෝධ වුව ද, ඒවනවිට ආපසු හැරෙන්නට නොහැකි තරම් දුරක තමා ගොස් ඇති බව වැටහුණෙන් උසස් පෙළ විභාගය දක්වාම එම පන්තියෙහි රැඳී සිටියාය.

“මං මෝඩ වුණා.”

තම ලියන මේසය අසළ මෙතෙක් හිඳ ගෙන සිටි ෆියෝනා නැගිට ජනේලය අසළට ගියාය. සිසු සිසුවියන්ගේ ගී හඬ නතර වී කිසිවෙක් එහි තනුවට අනුව වයලීනයක් වාදනය කරන හඬ ඇසේ. නොඅනුමානවම ඒ අරවින්ද් විය යුතුය.

හෝ හෝ ගා වහිනා මහ වැහි දිය

පෙළ ගැසිලා ගඟ වෙත ඇදුණා

නගින නගින දිය ගම ගිල ගනු දැක

හදෙහි ජනිත වැහි

දෙනෙතින් වැටුණා.

පියුමන්ති මිස්ගේ වයලීන වාදනයට අනුව දුක්බර මුහුණු වලින් යුතුව කළ ගායනය ෆියෝනාගේ මතකයට නැගිණ. ඇය සෙමෙන් එම ගී පද මුමුණනන්ට වූවාය. හතරැස් කර දැමූ සුදු රැලි ගවුමෙන් සැරසී මහාමායාවට ගිය ගමන සිහිනයක් සේ සුන්දර වූවකි. ඒ සුන්දරත්වයෙහි කෙළවරක අම්මා ද එල්ලී සිටියි.

ෆියෝනාට හදිසියේම තමා නිවසින් ගෙන ආ අම්මාගේ දිනපොත් කිහිපය සිහියට නැගිණ. නව පණක් ලැබුවාක් ‍ෙමන් සිය කාමරයට දිව ගොස් අල්මාරියෙහි රෙදි අතර සැඟවූ දින පොත් පාර්සලය දිග හළ ඇය එහි ඉහළින්ම වූ පැරැණි දිනපොත අතට ගත්තාය.

ලබන සතියට

Comments