අනුෂා ගෝකුළ ‍නෝනාගේ අවු­රුදු ප්‍රාර්ථනා | Page 2 | සිළුමිණ

අනුෂා ගෝකුළ ‍නෝනාගේ අවු­රුදු ප්‍රාර්ථනා

අලුත් අවුරුද්දක උදාවත් සමඟ දුරකථනයට අන්තර් ජාලයේ මුහුණු පොතට, විද්‍යුත් තැපෑලට ලැබෙන නානාප්‍රකාර සුබපැතුම්, (සමහර පැතුම් අපබ්‍රංශ ) ඉන්ද්‍රචාපගේ සමීපරූපයට හසුවුණු සමහර විස්තර පසුගිය සතියක ලියැවුණා මතකයි.

ඒ ගැන මතක් කරන කොට යාළු මිත්‍රයන්ට අමතරව රටේ ඉහළම පුටුවල ඉන්න, උන්නාන‍්සෙල‍ාගෙ සුබ පැතුම් ලැයිස්තුවලත් ඉන්ද්‍රචාපල ඉන්න බව පේනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ඉන්ද්‍රචාප දන්න කියන ඇමැති කට්ටිය වගේම ඔය එක එක පක්ෂවල දේශපාලන නා‍යකයොත් පුරුද්දට වගේ අලුත් අවුරුද්දට සුබ පතල එවන කාඩ් ඉන්ද්‍රචාපගෙ තැපෑලෙ අඩුවක් නැතුවා.

ඔය ලොකු පුටුවල ඉන්න අය නම් ඒ ගොල්ලන්ගෙ මාධ්‍ය ලේකම් මහත්තුරු හදල දෙන නම් ලැයිස්තුවකට සුබ පැතුම් එවනවා මිසක් පුද්ගලයා දැන හැඳුනුම් කමකට හදවතින් සුබ පතනවා නෙවි මගෙ හිතේ.

මොකද ඒ එකම කාඩ් එකකවත් ඒ ගොල්ලන්ගෙ සැබෑ අත්සන නැති නිසා, ඉන්ද්‍රචාප කියන්නේ ඔය පරණ අවුරුද්දේ ලැයිස්තුවටම තවත් අලුත් නම් ටිකක් එකතු කරල සුබ පතන ක්‍රමයක්. සංස්කෘතික ඇම­ැතිතුමා, අධ්‍යක්ෂිකා නෝනත් සුබපැතුම් එවනවා, ඉන්ද්‍රචාප ඒ ගොල්ලන්ගේ අමාත්‍යාංශයට සම්බන්ධ කලා කටයුතුවලට සම්බන්ධ නිසා වෙන්නැති.

මේ අවුරුද්ද ඉන්ද්‍රචාපගෙ සමීපරූපයට හසුවන්නෙ සංස්කෘතික අධ්‍යක්ෂිකා, අනුෂා ගෝකුළ ප්‍රනාන්දු නෝනගෙන් ලැබුණු වෙනස්ම ජාතියේ සුබ පැතුමක්. සිය දහස් ගණන් දෙනාට යවපු සුබ පැතුම් අතරේ ඉන්ද්‍රචාපත් තවත් එක් කෙනෙක් වුණත්, හොඳට කියවලා බැලුවා එතුමියගෙ සුබපැතුම.

ප්‍රාර්ථනා 10 ක් තියෙනවා. ඊට අමතරව ස්වයං ඇගයීම් පත්‍රිකාවකුත් තියෙනවා(self Assessment) කාරණා 100 ක් ඇතුළත්. ප්‍රාර්ථනාවේ තියෙන පැතුම් අතර, ඉන්ද්‍රචාපගෙ හිත් ගත් පැතුම් මතක් වෙනවා. ආලෝකමත් මිනිසකු ලෙස කටයුතු කිරීම, හරියට හරිදේ කිරීමේ ශක්තිය, මානව දයාව ඇති සුන්දරව කටයුතු කිරීම, නැති බැරි අය‍ වෙත දයා සිතින් කටයුතු කිරීමේ ප්‍රාර්ථනාව වගේ, ප්‍රාර්ථනා ප්‍රායෝගික මෙන්ම කලා කරුවෙකු ලෙස ප්‍රගුණ කළ යුතු ගුණාංග සඳහා කළ ප්‍රාර්ථනා ලෙස ඉන්ද්‍රචාප දකිනවා.

ස්වයං ඇගැයීම් පත්‍රිකාවේ සඳහන් 100 ක් පමණ වන ප්‍රශ්නාවලියෙත්, තමන් විසින්ම පිළිතුරු සැපයිය යුතු වැදගත් ප්‍රශ්න ඇති බවත්, ඒවාට තම තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඔව් හෝ නෑ කීමත් වැදගත් බවයි ඉන්ද්‍රචාප සිතන්නේ.

යැපුම් මානසිකත්වයෙන් තොර ද නැද්ද, කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට හැකිද නොහැකි ද යන වග, නැතිබැරි අයට පිහිට වීමට හැකි වීමේ ශක්තිය, ප්‍රතිපත්ති ගරුකවීම, හැඟවුණු න්‍යාය පත්‍ර නොමැතිවීම, මනා කාල කළමනාකරණය, නිර්මාණශීලීත්වය, ගැඹුරු ජීවිතාවබෝධය, හෘදයංගම හා සහෘද බව තමා සියල්ල දත් අයකු ලෙස උඩඟු නොවීම, අන්මතයට ඇහුම්කන් නොදීමෙන් මිදීම, වරද පිළිගැනීමේ ගුණය, කණ්ඩායමක් මෙහෙයවීම, ගතානු ගතිකත්වයට නතු නොවීම, නිස්සරණාධ්‍යාසයෙන් කටයුතු කිරීම, මැදිහත් කරුව‍කුගේ භූමිකාව, දරුවන්ට දැනෙන්න ආදරය කිරීම, ජීවිතයේ මුල අමතක නොකිරීමේ ගුණය, යහපත් මිත්‍ර ඇසුර, කැපවීම අපේක්ෂා භංගවීම හා බිඳවැටීම් දරා ගැනීමේ ශක්තිය ආදී ඇගැයීම් සියයෙන් ඉහත සඳහන් සියල්ල ම වාගේ ප්‍රශ්නවලට ඉන්ද්‍රචාපගෙන් ඔව් යන පිළිතුර ලැබෙනවා.

ඒත් ගෝකුළ නෝනා කියන ඇගැයීම් සියයටම ඔව් කියන කලාකරුවන් සොයා ගැනීම දුෂ්කර වෙන්න පුළුවන්.මොකද කිව්වොත් ඔය ගුණාංග සියයටම ඔව් කියන්න පුළුවන් කලාකරුවන් අපේ රටේ නම් හමු නොවන නිසා. අනුෂා නෝනගෙ සුබ ප්‍රාර්ථනාත්, ඇගැයීම් ප්‍රශ්නාවලියේ කාලීන අගයකින් යුතුව 2018 වෙනුවෙන් ජීවිතය සැලසුම්කර ගැනීමට අවශ්‍ය කලාකරුවකුට අත්වැලක් වනු නියතයි. 

 

Comments