
අතරමැදියන් හරහා සිදුවන ගනුදෙනුවලදී ගොවීන්ට පාඩු සිදුවීම නොවැළැක්විය හැකි ක්‍රියාවලියක් බවට පත්වී ඇත. එහිදී ප්‍රාදේශීය මට්ටමින් කෘෂිකාර්මික නිෂ්පාදන/ආහාර පරිභෝජන රටාවන්ට ප්‍රජාව හුරු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වඩාත් කාලෝචිත මෙන්ම තිරසාර ප්‍රයත්නයක් වනු ඇත.
දේශගුණියේ පවතින විවිධ වෙනස්කම් කෘෂිකර්මාන්තයට බලපාන විට එහි අවාසිය ඍජුවම බලපානුයේ ගොවියාටය. මේ නිසා ගොවියා විවිධ විකල්පවලට යොමු වියයුතුය. ගොවිතැන හා කෘෂිකර්මය කෙතරම් බද්ධ වූ කර්මාන්තයක් යන්න අපට විශේෂයෙන් පැහැදිලි කළයුතු නැත. මේ නිසා වර්තමාන ගොවීන් දේශගුණය කෙරෙහි අනුහුරු වියයුතුය.
අනුහුරු වීමට බලපාන කරුණු....
මෙම කාලීන අවශ්‍යතාව මත, ගොවීන් දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීමේ විෂමතා කෙරෙහි බලපාන තීරණාත්මක සාධක විමසා බලන විට එම දළ වශයෙන් සාධක කොටස් කීපයකට බෙදා වෙන් කළ හැකිය.
එනම්,
1. පෞද්ගලික සාධක
2. ආර්ථික සාධක
3. සමාජීය සාධක
4. ආයතනික සාධක ආදී වශයෙනි. `
පෞද්ගලික සාධක (Personal Determinants)
විශේෂයෙන්ම ගොවීන් සාමූහික ලෙස දේශගුණික විපර්යාසවලට අනුහුරුවීම තුළ එම පිරිස සමන්විත වන එක් එක් පුද්ගලයාගේ ලක්‍ෂණ අවසානයේදී මුළු ප්‍රජාවේම සාඵල්‍යතාවට නියත වශයෙන්ම බලපායි.
ඒ අනුව අනුහුරු වීම කෙරෙහි බලපාන පුද්ගලික සාධක අතර ගොවියාගේ අධ්‍යාපනික මට්ටම, වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය ආදී මූලික කරුණු පවා වැදගත් වෙයි. උදාහරණයක් ලෙස, සාපේක්ෂව ඉහළ අධ්‍යාපන මට්ටමක් සහිත ගොවියා අනුහුරු වීමේ අවශ්‍යතාවය හඳුනාගැනීමේදී මෙන්ම ක්‍රියාත්මක වීමේදී අනෙක් ගොවීන්ට වඩා කාර්යක්‍ෂම බවක් හා සාධනීය මට්ටමක් පෙන්වනු ඇත. එම මූලික කරුණු පමණක් නොව ඔවුන් ජීවත් වන හා වගා කටයුතු වල නියැලෙන ප්‍රදේශය සමඟ ඇති බැඳීම ද ප්‍රමුඛස්ථානයක් ගන්නා කරුණකි. ඒ අනුව ඔවුන් මෙතෙක් ගොවිතැන්හි නිරත වී ඇති කාල සීමාව, වගා කටයුතු වල නියැලීමේ ඇති පළපුරුද්ද හා ඉදිරියට ගොවිතැන් කිරීමට ඇති සැලැසුම් යන කරුණු ද අනුහුරු වීමේ ක්‍රියාවලියන්ට යොමුවීමේදී බලපාන පුද්ගල සාධකයන් වේ. මන්ද යත්, දීර්ඝ කාලීන පළපුරුද්දක් සහිත ගොවීන් ඔවුන්ගේ අත්දැකීම සමඟ ලබා ඇති පන්නරය වඩාත් ඵලදායී ලෙස අනුහුරු වීම් වලට යොමුවීමේදී උපකාරී වන බැවිනි. එවන් සාධක මත ගොවියා තනි පුද්ගලයකු වශයෙන් දේශගුණික විපර්යාසවලට අනුහුරු වීමේදී කෙතරම් කාර්යක්‍ෂම ද යන වග තීරණය වනු ඇත.මින් පෙර මේ පිළිබඳව කර ඇති පර්යේෂණයන්ගෙන් ද තහවුරු වන පරිදි, ඉහත සියලු සාධකයන් සංකලයනක් ලෙස ගත්විට, ගොවීන් සතු "ස්වයං - කාර්යක්‍ෂමභාවය" (Self-efficacy) යනු ගොවීන්ගේ අනුහුරු වීම කෙරෙහි බලපාන ප්‍රමුඛ තීරණාත්මක සාධකයක් ලෙස සැලැකිය හැකිය.
ආර්ථික සාධක
(Economic Determinants)
ආර්ථික මට්ටම යනු ඕනෑම පුද්ගලයකුගේ ජීවන තත්ත්වය පිළිඹිබු කරන එක් මූලික භෞතිකමය සාධකයකි. එහිදී වඩාත් වැදගත් වන කරුණක් නම් ඔහුගේ/ඇයගේ ආදායම් මාර්ගය කුමක්ද යන වගයි.
ගොවි ප්‍රජාව ගත්කළ ගොවිතැන ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයද එසේත් නැත්නම් එක් අමතර ආදායම් මාර්ගයක් පමණක්ද යන්න මත අනුහුරු වීමේ ප්‍රවණතාවයද රඳා පවතී. එමෙන්ම ගොවි පවුලේ ප්‍රමාණය හා මුළු ගෘහස්ථ ආදායම මත කොතෙක් දුරට කෘෂිකාර්මික කටයුතු හරහා අනුහුරු වීමට ප්‍රමුඛ ස්ථානයක් දෙනවාද යන වග තීරණය වනු ඇත.
උදාහරණයක් වශයෙන් දැඩි පාරිසරික අභියෝග හමුවේ ගොවිතැනෙහි නියැළෙන අයෙක්, පවුලේ ශ්‍රමය මදි වූ විටෙක ඉන් නොනැවතී කුලී ගෙවා ශ්‍රම භාවිතා කිරීමටද යොමුවී ගොවිතැන් සාර්ථක කරගැනීමට පෙලඹීම තුළින් දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම කෙරෙහි ඔවුන් වැඩි අවධානයක් හා උද්යෝගයක් දක්වන බව අවබෝධ කරගත හැකිය. ඒ අනුව ගොවීන්ගේ ශ්‍රම භාවිත රටාව, ඔවුන් සතු වගා බිම් ප්‍රමාණය, ඒවාට ඇති අයිතිය කුමනාකාරයෙන්ද යන බව, අනෙකුත් කෘෂිකාර්මික දේපල වලට ඇති අයිතිය හා පරිහරණය කරන ක්‍රම ආදියද ඔවුන්ගේ ආර්ථික මට්ටම පිළිඹිබු කරන අනෙකුත් සාධකයන් වේ.
ආර්ථිකමය වශයෙන් වැදගත් වන තවත් ප්‍රධාන කරුණක් නම්, ගොවීන් සඳහා සහනදායී මූල්‍යමය ප්‍රභවයන් සහ ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිය සඳහා සුදුසු වෙෙළඳපොළ පහසුකම් පැවතීමේ අවශ්‍යතාවයයි. බොහෝ විට අතරමැදියන් හරහා සිදුවන ගනුදෙනු වලදී ගොවීන්ට පාඩු සිදුවීම නොවැළැක්විය හැකි ක්‍රියාවලියක් බවට පත්වී ඇත. එහිදී ප්‍රාදේශීය මට්ටමින් කෘෂිකාර්මික නිෂ්පාදන/ආහාර පරිභෝජන රටාවන්ට (Regional consumption patterns) ප්‍රජාව හුරු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම වඩාත් කාලෝචිත මෙන්ම තිරසාර ප්‍රයත්නයක් වනු ඇත. එබැවින් දේශගුණ විපර්යාසවලට අනුහුරු වීමේ සැලසුම් දියත් කිරීමේදී ගොවීන්ට සාධාරණ වෙළෙඳපොළ ප්‍රභවයන් හඳුන්වාදීම කෙරෙහිද අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.
සමාජීය සාධක (Social Determinants)
පෞද්ගලික හා ආර්ථිකමය සාධක වලට අමතරව යම් ප්‍රජාවක සමාජයීය තත්වය, එනම් ඔවුන් සමාජ සම්බන්ධතා පවත්වන ආකාරය, යම් ක්‍රියා පිළිවෙතකට අනුහුරු වීම කෙරෙහි ද නියත වශයෙන්ම බලපායි.
උදාහරණයක් වශයෙන් දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීමේ පිළියමක් ලෙස කුඩා වැව් ආශ්‍රිත පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම වැනි සාමූහික ක්‍රියා පිළිවෙතක් දියත්කිරීමේදී එම ගොවි ප්‍රජාවේ සමාජීය විෂමතා හඳුනාගැනීම ඉතා වැදගත් වේ.
අතීතයේදී පැරණි ගොවියන් තුළ තිබූ සාමූහික හැඟීම හා සබැඳියාව නිසා සාර්ථකව කරන ලද අත්තම් ක්‍රමය හා බෙත්ම වගාව ආදී ක්‍රමවලට වර්තමාන ගොවියා යොමුවීමේ ප්‍රවණතාවය සාපේක්‍ෂව අඩු වී ඇත.
ශ්‍රමය හා අනෙකුත් ස්වභාවික සම්පත් පරිහරණය ආදිය මේ වනවිට බොහෝදුරට ආයතනීකරණය වී ඇත. එබැවින් සාමූහික ප්‍රයත්නයකින් සියලු දෙනාගේ අවශ්‍යතා සපුරාලන පරිද්දෙන් ශ්‍රමය හා ස්වභාවික සම්පත් භාවිතය මේ වනවිට බොහෝ දුරට හීන වී ගොස් තිබීම සාධනීය ලකුණක් නොවේ. මන්ද යත්, තනි පුද්ගලයන් වශයෙන් පමණක් ක්‍රියාත්මක වීම මඟින් සමාජයක් තුළතිරසාර විසඳුම් සෙවීමට නොහැකි වන බැවිනි.
එබැවින් ගොවීන් සාමූහික වශයෙන් අනුහුරු වීම් වලට යොමු කිරීමේදී එම ක්‍රියාමාර්ග වඩාත් ඵලදායී වීමට නම් වර්තමානයේ ගොවි ප්‍රජාව තුල තිබෙන සාමූහික හැගීම, අන්‍යොන්‍ය සම්බන්ධතාවය, ප්‍රජා මූලික සංවිධානාත්මක බව හා මනා සහජීවනයක් ගොඩනැංවීම අරමුණු කරගැනීමද අත්‍යාවශ්‍ය කරුණකි.
ආයතනික සාධක (Institutional Determinants)
ඉහත සියලු කරුණු ගෙනහැර දැක්වුවේ ගොවීන්ගේ පාර්ශ්වයෙන් බලපාන පෞද්ගලික, ආර්ථික-සමාජයීය සාධක ඇසුරෙනි. කෙසේ නමුත් දැනට කෘෂිකර්මය ආශ්‍රිතව දේශගුණික විපර්යාසයන්ට අනුහුරු වීම ව්‍යාප්ති කිරීම සඳහා පවතින සේවාවන් ප්‍රමාණවත් නොමැති බව පැහැදිළි ලෙසම පෙනීයන කරුණකි. ඇතැම් ක්‍රියා පිළිවෙත් කෙරෙහි අවධානය යොමු වී ඇතත් දේශගුණික අභියෝග වලට ගොවි ප්‍රජාව අනුහුරු කිරීමේ අරමුණින් එම ව්‍යාප්ති සේවාවන් ක්‍රියාත්මක වීමේ ඌනතාවයක් පවතී. ඒ අනුව කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාප්ති සේවා සැපයීමෙහිලා වගකිවයුතු රාජ්‍ය, පුද්ගලික හා රාජ්‍ය - නොවන යන සියලු අංශවල ආයතන අතර මනා සමායෝජනයක් හා සම්බන්ධීකරණයක් පැවතීම අනුහුරු වීමේ ක්‍රියාවලිය දැනට පවතින තත්වයට වඩා කාර්යක්‍ෂම හා ඵලදායී වීමට ඉවහල් වනු ඇති බව ගොවි ප්‍රජාවේද අදහසයි.
එබැවින් අනුහුරු වීමේ විෂමතාවයන් කෙරෙහි බලපාන වඩාත් වැදගත් වන තවත් එක සංඝටකයක් වශයෙන් ආයතනික සම්බන්ධතාවන් හා බැඳුණු සාධක සැලකිය හැකිය.
මේ අනුව වැදගත් නිගමනයක් වන්නේ, දේශගුණ විපර්යාසයවලට අනුහුරු වීමේ ජාතික මට්ටමේ ක්‍රියාදාමයන්, සැලසුම් හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී සහ ඒ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේදී ඉහත සඳහන් තීරණාත්මක සාධක පිළිබඳ මෙන්ම අනුහුරු වීමේ ක්‍රියාවලිය තුළ ගොවීන්ට මුහුණදීමට සිදුවන අභියෝග හා බාධක වලට ආයතනික මට්ටමින් ලබාදිය හැකි විසඳුම් ලබාදීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය බවයි.
තොරතුරු : එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යටතේ මහා-නාන්නේරිය එල්ලංගා පද්ධතිය කේන්ද්‍රීයව දියත් කළ දේශගුණික විපර්යාසවලට අනුහුරු වීමේ ව්‍යාපෘතිය (Climate-Change Adaptation Project) හා පේරාදෙණිය විශ්ව ද්‍යාලයීය කෘෂිකර්ම පීඨයේ කෘෂි ව්‍යාප්ති අංශය අනුබද්ධව මේ වසර (2017) තුළ කරන ලද සමීක්‍ෂණයක් ඇසුරෙනි.
කෘෂි ව්‍යාප්ති අංශය,
කෘෂිකර්ම පීඨය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
කුමුදු ආරියවංශ