දූ රි­ ය න් | සිළුමිණ

දූ රි­ ය න්

දූරියන් යනු අරුම පුදුම පලතුරකි. මන්ද සමහරක් පිරිස දූරියන් සඳහා ඉතා දැඩි ගිජුකමක් දක්වන අතර අනෙක් පිරිස දූරියන් ඇති ස්ථානයකින්වත් යෑමට අක­ැමැතිය. ඒ දූරියන් වෙතින් හමන එයටම ආවේණික ගන්ධය හා එහි ආවේණික රසය නිසාය.කෙසේවුවද අකමැත්තෙන් හෝ දූරියන් මදුලක් ආහාරයට ගන්නේ නම් එය තම සෞඛයට ඉතා හිතකරය. දූරියන් මදුලු ග්‍රෑම් සියයක ශක්තිජනක අගය එක කිරි වීදුරුවකින් ලැබෙන අගයට වඩා වැඩිය. සැබවින්ම දූරියන් යනු අධික පෝෂණ ගුණයකින් පූර්ණ වූ පලතුරකි.

මෙය බොම්බකාසියේ (Bombacaceae) නමැති ශාක කුලයට අයත්ය. දූරියන්හී විද්‍යාත්මක නාමය වනුයේ Duriozibethius murray යන්නයි.මෙය වාණිජ වගාවක් ලෙස තායිලන්තය ,මැලේසියාව ,ඉන්දුනීසියාව ආදී රටවල ප්‍රසිද්ධය.එහෙත් ශ්‍රී ලංකාවේ වාණිජ වගාවක් ලෙස දූරියන් එතරම් ප්‍රචලිත නොවූවද ගම්පහ , කලුතර ,මාතලේ , මාතර ආදී ප්‍රදේශයන්හී සුලබව දක්නට ඇත. දේශීය වෙ‍ෙළඳපොළ තුළ දූරියන් අලෙවි වනුයේ ඉහළ මිල ගනන් වලටය. එමනිසාම නිවැසියන්ට කිසිදු වෙහෙසක් නොවී අමතර ආදායමක් ලැබීමට ගෙවත්තක යහමින් ඵලදාවක් ඇති එක් දූරියන් ගසක් වුවත් ප්‍රමාණවත් වේ.

දූරියන් වගාවට නිර්දේශ කළ ප්‍රභේද කිහිපයක්ද පවතී. ඒ හොරණ ගෝල්ඩ් ,හොරණ ජම්බෝ, කසුන් හා ගන්නෝරුව ස්වීට් යන ඒවාය.පරිසර උෂ්ණත්වය 20-30 ̊C අගයක් හා ආර්ද්‍රතාව 75%-80% ක් පමණ වන කලාප දූරියන් වර්ධනයට හිතකරය. එමෙන්ම මිලිමීටර් 2000-5000 ත් අතර වර්ෂාපතනයක් පැවතීමත දූරියන් වගාවකට යෝග්‍ය තවත් එක් සාධකයකි. එනම් ශ්‍රී ලංකාවේ දූරියන් වගා කිරීමට වඩා උචිත වනුයේ ඉහත සාධකයන් බොහෝ සෙයින් සපුරාලන පහතරට හා මැදරට තෙත් කලාපයයි.

සාර්ථක වාණිජ වගාවකට නම් උචිත වනුයේ බීජ පැළවලට වඩා බද්ධ පැළයි.මන්ද බද්ධ පැළ සැමවිටම අනුජය ලබා ගත් මවු ශාකයේ ලක්ෂණයන්ම පෙන්වන නිසාය.පැළ සිටුවිය යුත්තේ අඩි 2 ½ ×2 ½ ×2 ½ වලවල් තුළය. එම වළවල් අතර පරතරය මීටර් 10 ×10 ක් විය යුතුය.

වල් පැළ මර්දනය , ක්‍රමවත් ජල සම්පාදනය , නිසි කප්පාදුව ආදී යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම වැඩි ඵලදාවක් ලබා ගැනීමට හේතු වෙන සරල කරුණු කාරණාය . 

 

Comments