ගණි­තය හා ගොවි­තැන | සිළුමිණ

ගණි­තය හා ගොවි­තැන

 ගණිතය යනු එකතු කිරීම, අඩුකිරීම, වැඩිකිරීම හා බෙදීම පමණක් නොවේ, එහෙත් අප බොහෝ විට දන්නේ ඒ ටික පමණි. ගණිතයේ ඒ ටිකට සිරවීම නිසා ම අපට ගණිතයේ බොහෝ දුරට යෑමට අපහසු වේ. එකතු කිරීම සමඟ අඩුවීම ද ගණිතයේ සිදුවිය හැකිය. එකතුකරන විට එකතුවීම වෙනුවට අඩුවීම ද ගණිතයේ සිදුවිය හැකිය. වැඩි කරන විට වැඩිවීම වෙනුවට බෙදීයාම ද ගණිතයේ සිදුවිය හැකිය.

එලෙසින් ම කෘෂිකර්මය යනු ද අස්වැන්න හෝ ඵලදාව ලැබීම පමණක් නොවේ. කෘෂිකර්මයෙන් ඵලදාව පමණක් බලාපොරොත්තු වීම ගණිතය වනාහී එකතු කිරීම පමණක් සේ සිතන්නා වැනිය.

ඇතැම් ගස් අප වගාකරන්නේ හා රැකබලාගන්නේ අස්වනු ගැනීමට ම නොවේ. ඇතැම් බෙහෙත් ද්‍රව්‍ය උදාහරණයකි. කැඩුබ් බිඳුම්වලදී බෙහෙතට ගන්නා බෙහෙත් ගසක් අප වත්තේ ආරක්ෂා කරගන්නේ අපේ අතපය හැමදාම කැඩෙන නිසා නොව වෙනත් අය ඒ බෙහෙත සොයාගෙන අප වෙත එන නිසාය.

ඇත්තටම වගාවේ හොඳම ටික ඵලදාව නොවේ. එයට එහා ගිය පරමාර්ථයන්ය. සැබවින්ම ගොවිතැන් පල දරන්නේ ද එවන් පරමාර්ථ ඇති විට දී ය. ඕනෑම ව්‍යාපාරයක් සේ ම ගොවිතැන ද ලෝභ කමින් කළ හැක්කක් නොවේ. ගසෙන් යමක් බලාපොරොත්තු වීමට වඩා අප කළ යුත්තේ ගස වෙනුවෙන් පරිත්‍යාගයන් කිරීමය. අපට එම පරිත්‍යාගයේ ප්‍රතිඵල ආපසු ලැබේ.

කෙසේවුව ද රසායනික පොහොර හා කෘෂි රසායන හා සබැඳි කෘෂිකර්මය හා මා මේ කියන ගොවිතැන අතර ගැටුමක් තිබේ. ගසේ ආරක්ෂාව වෙනුවෙන් ගසට හානිකරන කෘමින් පමණක් නොව තවත් බොහෝ සතුන් විනාශ කර දැමීම කෘෂිරසායන මගින් සිදුවේ. ලොව පුරා කෘෂි රසායන භාවිතය මීමැස්සන් ගහණය අඩුවීමට හේතුවී ඇති බව කියැවේ. ගස්වල ඵල හටගැන්වීම උදෙසා මීමැස්සන් විසින් සිදුකරන පරාග පෝෂණය ඉතා වැදගත් අතර පොදුවේ මේ හේතුවෙන් මේ අනාගතය සම්බන්ධයෙන් දරුණු අභියෝගයකට මුහුණ පෑමට සිදුව තිබේ.

ගණිතය මෙන් ම කෘෂිකර්මය ද පරතෙරට යා යුතු විෂයයකි. අප හැදෑරීම කියන විට බොහෝ විට කතා කරන්නේ විද්‍යාත්මක විෂයයන් හා ශාස්ත්‍රීය විෂයයන් පිළිබඳවය. එහෙත් ගොවිතැන ද එයට කිසිසේත් දෙවෙනි නොවේ. එහෙත් දොස්තරගේ විශේෂඥ ඥානයට ලැබෙන සැලකිල්ල ගොවියාගේ විශේෂඥ ඥානයට ලැබෙන සැලකිල්ලට වඩා වැඩිය. එය රෝගීන් අඩුවීමට නොව වැඩිවීමට හේතුවී ඇති බව ද කිව හැකිය. එනම් අද බොහෝ රෝග ආහාර හා සම්බන්ධව ඇති බැවිනි. ශරීරයේ නිරෝගීතාවයට වඩා රෝගීභාවයට හේතුවන ආහාර සුලබ බැවිනි.

මඩ සෝදාගත් කළ රජ වූ ගොවියන් අඩුවුවත් උසාවියෙන් රෝහලෙන් රජ පුටුව කෙසේ වුවත් මන්ත්‍රී ඇමති පුටුවලට ගිය අය බොහෝය. ගොවිතැනට ලැබිය යුතු නිසි ගරුත්වය හා නිසි තැන ලැබෙන තුරු නීරෝගී සුවයට හේතුවන ආහාර ලැබීම තහවුරු කළ නොහැකිය.

උදයසිරි

Comments