අාදිවාසීන්ගේ දිව පින­වන අහර | සිළුමිණ

අාදිවාසීන්ගේ දිව පින­වන අහර

ලංකාවේ අාදි වාසීන්ට ද ආවේණික ආහාර රැසක් තිබේ. ඔවුහු තමන්ට රිසි පරිදි ආහාර සාදාගෙන කෑමට හුරුවී සිටිති. පසුගිය සතියේ මෙන්ම ඔවුන්ගේ රසවත් අහර ගැන අපි හඳුනාගනිමු. මන්ද ඔවුන්ගේ දිව පිනවන අහර ගැන ඔබ ද අවබෝධයක් ලැබිය යුතු නිසාය.

ඉරුං පොරි

ඉරුං පිටිවලින් හැඳි කැවුම්, අතිරහ ආදියත් පිට්ටුත්, රොටිත් හදා ගන්නා බින්තැන්නේ ඇත්තෝ ඉරුං බත ද, ඉරුං ඇට තැම්බුම ද, කිරි ඉරුං කරල් තම්බා කෑම ද, ගිනි අඟුරේ ලා පුලුුස්සා කෑම ද, කරන අතර වියළි ඉරුං ඇට අස්තටුවේ ලා පොරි බැද ගෙන කෑමට ගන්නා අතර ඇතැම් විටක එම ඉරුං පොරිවලට මී පැණි මුසු කොට රස අහරක් ලෙස ද කෑමට ගනිති. ඒවා ඉරුං ගුළි ය.

කුරහන් පිටිකර ගැනීම

ඉරුංවලට වඩා පොහොනේ වන කුරහන් ද බින්තැන්නේ වැසියන්ගේ සුදහ ගින්න නිවාලන ආහාරයකි‍. එහෙත් විවෘත ආර්ථිකයේ රස්නය විසින් කුරහන් වගාව බින්තැන්නට අපෝකර ඇති බවක් පෙනෙයි. අපෝ වීම යනු එපා වීම ය‍. අපුල වීම ය. කුරහන් පිටි කරගැනීම සඳහා භාවිතා කෙරෙන කුරහන් ගල බින්තැන්නේ ගෙවල තවමත් දක්නට ඇත. උය‍නගේ හෙවත් මුළුතැන් ගේ උපකරණයක් වූ මෙය කොටස් දෙකකින් යුක්ත ගල් මෝලකි.

රවුම් පියන් පතක ආකාරයට සකස් වූ කුරහන් ගලේ යට කොටස බිම සවි කර ඇත. මෙය අඟල් හතරක් පමණ ඝනකමින් යුතු ගල් වඩුවාගේ තටුවෙන් මනාව ඔප මට්ටම් වූවකි. මෙම යට ගල බිමට තබා එය වටේට ගොම මැටි ගා පිටි එකතු වීමට කානුුවක් තනා ඇත. මෙය පිටි ඇලයි. මෙම යටි ගල හරි මැදින් සිදුරක් විද අරටු ලීයක් තදට සවි කර ඇත්තේ කුරහන් ගලේ උඩ පියන් පත හෙවත් උඩ ගල සවි කිරීම සඳහා ය. උඩ ගලේ හරි මැදින් ද යටි ගලේ සිදුරට වඩා යාන්තම් මහත්වූ සිදුරක් විද ඇත. යට ගලේ හරි මැදින් තදට සවිකර ඇති රවුම් ලී මිටට උඩ ගලේ හරි මැදින් විද ඇති සිදුර සැස‍ඳේ. එබැවින් යට ගල මත්තේ උඩ ගල තැබූ විට ලී මිටේ ආධාරයෙන් කුරහන් ගලේ උඩ කොටසත් යට කොටසත් එකට ගැටෙන ආකාරෙට පිහිටයි. මෙම උඩ ගලේ නෙරා ගිය කෙන්ඩියක් වැනි කොටසේ සිදුරක් විද අරටු ලීයක් සවි කර ඇත. මේ අරටු ලී මිට උඩ ගල කැරකවීමට තිබෙන හැඬලය යි‍.

උඩ ගලේ ව‍ූ සිදුරක් තුළින් කුරහන් අහුරක් දැම‍ු විට ඒවා පහළ ගලට පතිත වෙයි.

කුරහන් ගල ළඟ වාඩි වූ ගැහැනියක් උඩ ගලේ ඇති ලී මිටෙන් අල්ලා වැර යොදමින් හෙමින් සීරුවේ කැරකවීමේ දී ගල් පියන් පත් දෙක අතර රැඳවුණ කුරහන් ඇට ඇඹරී පිටි බවට පත්ව සිටි ඇලට හෙවත් පිටැලට එක්වෙයි‍. වරක් ඇඹරූ මේ ආකාරෙට දෑලක් අඹරා ගැනීමෙන් ඉතා සුමුදු කුරහන් පිටි ලබා ගත හැකිවේ.

කුරහන් හා ඉරුන් ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවන්ගෙන් 90% ක් පමණ සපයන අතර ඉතිරි අඩුව පිරිමහින්නේ සහල්වලිනි. මේ හැම ආහාරයකටම දඩ මස ප්‍රධාන අංගයකි.

 

සඳරුවන් ලොකුගේ 

Comments