ට්‍රැජඩි - පසුබිම | සිළුමිණ

ට්‍රැජඩි - පසුබිම

මෙසමයේ නාට්‍ය නිෂ්පාදනය සඳහා රජයේ අනුග්‍රහය ලැබිණි. නාට්‍ය නැරඹීම සඳහා ද එසේ ම ය. රාජ්‍යානුග්‍රහයෙන් නාට්‍ය උත්සව සංවිධානය කැරුණු අතර ප්‍රවේශ ගාස්තුව ඉතා සුළු මුදලක් විය. ඇතැම්විට එය පවා රජයෙන් ගෙවන ලද බව පැවසේ.

ප්‍රමුඛත්වය ලැබුණේ ට්‍රැජඩි නාට්‍යවලට ය. එහෙත් කිපූ 446 - 386 කාලයේ ඇතන්ස් නුවර විසු ඇරිස්ටොපනීස් සතුට දනවන නාට්‍ය නිෂ්පාදනය කළේ ය. එබඳු නාට්‍ය 40ක් පමණ ඔහු විසින් ඉදිරිපත් කරන ලද බව පැවසේ. ඒ අනුව ප්‍රථම කොමඩි නාට්‍යකරු ලෙස සැලකුම් ලබන්නේ ඇරිස්ටොපනීස් ය.

නාට්‍ය උත්සවවලදී එක් නාට්‍යකරුවකුට නාට්‍ය හතරක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර ට්‍රැජඩි තුනකට කොමඩි එකක් යන අනුපාතයට ඒවා ඉදිරිපත් කිරීමේ සීමා පනවා තිබිණි.

නාට්‍ය විචාරය බිහිවන්නේ ඉන් අනතුරුව ය. මුල් ම නාට්‍ය විචාරකයා ලෙස ද ඉතිහාසයට එක් ව සිටින්නේ ඇරිස්ටොපනීස් ම ය.

වර්තමානයේ හැඳින්වෙන පරිදි රසික ජනයාට ඒවා ගැන එක්ව හිඳ සාකච්ඡා කිරීම පිණිසම නිමැවුණු සිම්පෝසියම් ඇතැන්ස් නුවර තිබූ බවට සාධක තිබේ. ප්ලේටෝ පඬිවරයා සිය සමකාලීනයන් සමඟ මෙම සාකච්ඡා මණ්ඩපවල හිඳ කරන ලද සාකච්ඡාවල දී රැස් කරගත් කරුණුවලින් රිපබ්ලික් නමැති ග්‍රන්ථය රචනා කළේ ය. ඒ ක්‍රි. පූ 380 පමණ වසරක බැව් පැවසේ. ඔහු සිම්පෝසියමක දී සිය ගුරුවරයා වූ සොක්‍රටීස් මෙන් ම ගෝලයා වූ ඇරිස්ටොටල් ද සමග බොහෝ කරුණු සාකච්ඡා කළ බව ප්‍රකට ය.

ප්ලේටෝගේ කෘතියේ සාහිත්‍යමය කාරණා ගැන එතරම් අන්තර්ගත නොවෙතත් ඔහු ද ඉලියඩ් සහ ඔඩිසි මෙන් ම හිසියඩ්ගේ තියොගනි සහ Works and Days නමින් ඉංගිරිසියට පරිවර්තනය වී ඇති ‘එර්ගා කායි එමෙරායි’ වැනි අනෙකුත් වීර කාව්‍ය යන් කෙරෙහි ද, ඒවායින් ආභාසය ලබා නිපැයුණු නාට්‍ය කෙරෙහි ද සිය අවධානය යොමු කළ බවට සාධක තිබේ.

තෙස්පිස්ගෙන් පසු නාට්‍ය රචකයන් බොහෝ සංඛ්‍යාවක් බිහි වන්නට ඇත. එහෙත් ඉතිහාසයේ සඳහන් වනුයේ ඔවුනතුරින් කිහිප දෙනෙකුගේ නම් පමණි.

ක්‍රි.පූ.561 - 527 දක්වා ඇතැන්ස් පාලකයාව සිටි පිසිස්ට්රෙටස් විසින් ක්‍රි. පූ 556 දී පැනතිනියැක් නම් සිව් වාර්ෂික සැණකෙළියක් අරඹා ඇත. මෙහි දී දියොනියස්ට දෙන ආගමික හා සංස්කෘතික අංගවලට විශේෂ තැනක් හිමි වූ බව ස‍ඳහන් ය. නිල නාමය අර්කොන් නම් වූ රාජ්‍ය නිලධරයකු විසින් එහි පරිපාලන කටයුතු මෙහෙයවා ඇත. මෙම සැණකෙළියේ දී නාට්‍ය දර්ශන පැවැත්වීමට පහසුකම් සලසා තිබිණි.

නාට්‍ය දර්ශන සඳහා ගායන වෘන්දයක (chorus) අවශ්‍යතාව නාට්‍යකරුවන් විසින් පෙන්වා දෙන ලද අතර ඔවුහු ඒ සඳහා අර්කොන්ගේ සහාය ඉල්ලා සිටියෝ ය. අර්කොන්ගේ කොන්දේසිය වූයේ සෑම රචකයකු ම පිටපත් තුනක් බැගින් ඉදිරිපත් කළ යුතු බවත්‚ ඒවා විනිශ්චයට භාජනය කොට රඟ දැක්වීමට සුදුසු නාට්‍යවලට ගායන වෘන්දයක් සූදානම් කොට දෙන බවත් ය. සෑම නාට්‍යකරුවකු ම නාට්‍ය හතරක් නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ යුතු බවත් තුනක් ට්‍රැජඩි විය යුතු බවටත් සිව් වැන්න ප්‍රහසනයක් (satire) විය යුතු බවටත් තවත් කොන්දේසියක් විණි.

නාට්‍යයක් අති විශාල ප්‍රේක්ෂක සමූහයක් ඉදිරියේ රඟ දක්වන ලදී. ඇතැම් විටෙක එම සංඛ්‍යාව හතළිස්දාහ පමණ වූ බව ද සඳහන් ය. සහභාගි වූවන් අතරින් තෝරා ගත් විනිශ්චය මණ්ඩලයක් විසින් හොඳ ම නාට්‍යය සහ හොඳ ම නළුවා තෝරා ගන්නා ලද අතර ඔවුන්ට ත්‍යාග ප්‍රදානය කරන ලදී. ජනතාව නාට්‍ය යනු කුමක්දැයි හඳුනා ගත් උසස් රුචිකත්වයෙන් යුත් ප්‍රේක්ෂකයන් බවට පත්වීම මෙමගින් නිතැතින් ම සිදුවිය. පාලක තෙමේ ද මේවා නැරඹී ය. මේ සියලු කටයුතු නඩත්තු කළේ රජය විසිනි. පිසිස්ට්රෙතටස් විසින් අරඹන ලද මේ ක්‍රමය කිපූ 300 පමණ තෙක් ඇතැන්ස් නුවර පැවැත් වී ඇත.

ඒ අනුව වසර දෙසිය පණහ ඉක්ම වූ ඒ කාලය තුළ නාට්‍ය උත්සව 60 ඉක්මවන සංඛ්‍යාවක් පැවැත්වෙන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. මෙයින් නාට්‍ය කලාවට ග්‍රීසියෙන් අති විශාල සේවයක් සිදු වූ බව අවිවාදිත ය.

මේ ක්‍රමය අනුව ට්‍රැජඩි නාට්‍යවලට ප්‍රමුඛත්වය ලැබුණ බව පැහැදිලි ය. සාහිත්‍යය නමැති සංකල්පය ග්‍රීසියේ ඇති වූයේ බොහෝ කලකට පසුව වන අතර දැන් සාහිත්‍යය වශයෙන් සැලකෙන නාට්‍ය ‚ වීර කාව්‍යය නමැති සාහිත්‍යාංගයෙන් බොහෝ කලකට පසු ව එරට ස්ථාපනය වූවක් බව පෙනේ. එහෙත් වීර කාව්‍ය බිහි වූයේ අල්පයකි. ට්‍රැජඩි නාට්‍ය සංඛ්‍යාත්මක ව විශාල වශයෙන් ඉහළ ගිය හෙයින් සාහිත්‍යයේ ප්‍රමුඛාංගය ලෙස එය බොහෝ කලක් යන තුරු ම සැලකිණි.

පාලකයන්ගේ ද අනුග්‍රහය ලද මේ ක්‍රියා පිළිවෙත් නිසා නාට්‍ය රුවෙන් පමණක් නොව ගුණෙන් ද වැඩුණේ ය. මුල දී වීර කාව්‍යවල එන චරිත හා සිද්ධි පදනම් කොට ගත් තේමාවලින් රචිත නාට්‍ය ඉදිරිපත් කැරිණි. මේ පැරණි කථාංග අතර පුරාතණ ග්‍රීකයන්ගේ සමාජමය ස්වභාව මෙන් ම හැසිරීම් ද ආධ්‍යාත්මය ද කැටි වැ තිබිණි. ඒ ඇසුරින් ලියැවුණු පිටපත් මනුෂ්‍යත්වයේ ගැඹුර වියමනක් සේ පැවැතිණි.

එහෙත් ඒ පොත් කියවා පුරුදු ජනයා නළුවේ ඊළඟ සිද්ධිය කුමක්ද කියා දත්හ. මේ නිසා ඒවා නැවුම් දේ නොවුණු අතර වීර කාව්‍යවල එන සිද්ධිවලින් ඔබ යන්නට රචකයන්ට සිදුවිය. නළුව සිද්දිදාමයක් සේ රඟ නොදක්වා චරිත විග්‍රහයක් ඉදිරිපත් කිරීමට නාට්‍යකරුවෝ ඉන් අනතුරුව පෙලඹුණෝ ය. එය වඩාත් සාර්ථක ක්‍රමයක් වූයේ ය. මන්දයත් ඉන්පසු ප්‍රේක්ෂකයන් රංගභූමියේ බලා සිටියේ අනුන්ගේ කථාවක් නොව තමන් ප්‍රධාන භූමිකාව නිරූපණය කරන කථා පුවතක් වීමයි.

මේ වනවිට ග්‍රීසියේ අක් මුල් දිව ගිය සංස්කෘතියක් නොවී ය. හෝමර් මහ කිවිඳුන් ක්‍රි.පූ 9 හෝ 8 සියවසේ ජීවත් වූවෙක් බව පිළිගැනීමයි. ඔහු විසින් රචිත ඉලියඩ් සහ ඔඩිසි ලොව පහළ වූ ප්‍රථම කාව්‍ය ග්‍රන්ථද්වය ලෙස සැලකෙන අතර බටහිර පහළ වූ විශිෂ්ටතම කාව්‍ය ග්‍රන්ථ දෙක ලෙස සැලකේ.

ග්‍රීක දර්ශනය ඇරඹෙන්නේ ෙත්ලිස් (ක්‍රි. පූ 624 - 526) ගෙනි. ඉන්පසු එන ප්‍රධාන පෙළේ දාර්ශනිකයන් කිහිප දෙනෙකු මෙසේ ය: පයිතගරස් (ක්‍රි. පූ 582 - 496)‚ සොක්‍රටීස් (ක්රි පූ 469 - 397)‚ හිපොක්‍රටීස් (ක්රි පූ 460 - 370)‚ ප්ලේටෝ (ක්‍රි. පූ 428 - 347)‚ ඇරිස්ටොටල් (ක්‍රි. පූ 384 - 322)

නාට්‍යකලාව ඇරඹෙන්නේ තේස්පිස් (ක්‍රි.පූ හයවන සියවස) ගෙනි. මෙයින් පැහැදිලි වන්නේ ග්‍රීක සම්භාව්‍ය දර්ශනය සහ නාට්‍ය කලාව සම වියේ බවත් නාට්‍ය කලාව විශේෂ දර්ශනයකින් පෝෂණය නොලැබූ බවත් ය. ඒ වෙනුවට එය පොදු ප්‍රේක්ෂකයන් වෙතින් සහ තමන් ම වෙතින් පන්නරය ලබන්නට ඇත. ට්‍රැජඩි නාට්‍ය ඉස්සර වන්ට ඇත්තේ ඒ හේතුව නිසා විය හැකි ය.

දර්ශනයක් නොතිබූ ග්‍රීසියේ මතු නොව දියුණු ශිෂ්ටාචාරයක් තිබූ අනෙක් රටවලත් ආගමික ඇදහිලිවලට ප්‍රමුඛස්ථානය ලැබී තිබිණි. ඔලිම්පස් කන්දේ වැඩ විසූ දෙවිවරුන් පිළිබඳ පුරාණෝක්ති ස්තෝත්‍ර බවට පත් විය. එහෙත් ට්‍රැජඩි නාට්‍ය බවට පත් වූයේ ඒවා නොවේ. ඉලියඩ් සහ ඔඩිසි ප්‍රමුඛ වීරකාව්‍ය වල චරිත සහ සිද්ධි ඇසුරින් ප්‍රතිනිර්මාණය කරන ලද හෙවත් අනුකරණය කරන ලද කතන්දර ය. ඒ වනාහි සාමාන්‍ය මිනිසුන්ගේ කතන්දර විය. පසුව මේ කතන්දර සමාජයේ සාමාන්‍ය සංසිද්ධි යනාදිය ද තේමා කොට ගන්නා ලදී.

දුක සහ දුකට හේතුව ගැන අධ්‍යයනය හෝ ඉගැන්වීම හෝ ඒ දෙකම හෝ ට්‍රැජඩි නාට්‍යකරුවන්ගේ අභිප්‍රාය වූ බව පෙනේ. දුක සහ දුකට හේතුව කුමක් ද? ඊට පිළියම් කවරේද? දුක ඇති කරන්නේ දෙවියන් ද? නොඑසේ ව දෛවය ද? යහපත හා අයහපත‚ බැඳීම් සහ මිදීම්‚ ඇත්ත සහ නැත්ත‚ පැවැත්ම සහ නොපැවැත්ම යන ප්‍රතිවිරෝධී අන්ත අතර මිනිසා දෝලනය වන්නේ දෛවය නිසා ද නොඑසේව තමන්ගේ ක්‍රියාකාරකම් නිසා ද? ඔවුන්ට තිබූ ප්‍රශ්න ඒවා ය.

Comments