
ඔය ඇස් අස්සේ හැංගිච්චි ආදරය මෙච්චර ඉක්මන්ට හීනයක් වේවි කියලා මං හිතුවේ නැහැ රත්තරං
ඔය ඇස් ළඟ කතා කරපු
ආදරේ ළඟ නැවතී
රැවටුන හැටි හීන අරන්
නොදැනීම දුර යද්දී
වෙන්වුණු තැන මම ඉන්නම්
අපි යළි හමුවුණොතින්
ඔය ඇස් ළඟ නතර වේවී
ආදරේ යළි අලුතෙන්
අහසම ඉල්ලා ආදරේ ගිනි තියලා
කතාවක් වගේ මතකය දිගේ ඔබ දුර ඇදුණා තනිකම තියලා
මට දුක හිතුණා ඔබ නැති හන්දා.....
අපි අපේ නොවුණත් අපේ ආදරය මේ ඉර හඳ යට එහෙම්මම තියේවී.
කතා කරන ඇස් වලින් ආදරේ කියනවා
කඳුළු අතරින් තාමත් දුක හිතෙනවා
අහසම ඉල්ලා ආදරේ ගිනි තියලා
කතාවක් වගේ මතකය දිගේ ඔබ දුර ඇදුණා තනිකම තියලා
මට දුක හිතුණා ඔබ නැති හන්දා.....
ආදරේදි උරුම කඳුළුනම් මමත්
ඒ කඳුලට ආදරෙයි
තනිවුණු හිතේ තාමත් ආදරේ තියෙනවා
ඔබ නොඑන බැව් සත්තයි හිත කියනවා
කතාවක් වගේ මතකය දිගේ
ඔබ දුර ඇදුණා තනිකම තියලා
මට දුක හිතුණා ඔබ නැති හන්දා.....
ගායනය - කසුන් ඝන්ධාර
පදවැල් - නවීන් පෙරේරා
සංගීතය - ලිඕන් විජේසිංහ
‘‘මම නුඹව අහම්බෙන් දැක්කේ. හැබැයි නුඹ කියපු සිංදුවලට නෙවෙයි මගේ හිත නුඹ ළඟ නැවතුනේ. ඔය ඇස් දෙකෙන් පුදුමාකාර ආදරයක් දැක්ක නිසයි මම ඒ තරම් ඉක්මනට මගේ දුරකතන අංකය ලියලා නුඹේ අතේ ගුලි කරේ. මම දන්නේ නැහැ ඒ වෙලාවේ කවුරු බලන් හිටිය ද කියලා. මට ඒ කිසි දේකට වඩා නුඹේ ආදරය වටිනව රත්තරං. ඒත් මම හිතුවේ නැහැ මේ ආදරේ නුඹේ ජීවිතේත් අරන් යාවි කියලා. ‘‘
මෙහෙම කියන්නේ මම නෙවෙයි. කසුන් ඝන්ධාර. තාරුණ්‍යයට එබිකම් කරන කසුන්, නවීන් පෙරේරාගේ අතින් ලියැවුණ පදවැල් ටිකට, ලිඕන් විජේසිංහගේ සංගීතයෙන් ලෝකය ඉදිරියේ ආදරණීය ගීතයක් බවට පත්කළා.
කසුන් ඉතින් කොහොම ද ජීවිතේ ?
වරදක් නැහැ.
තාම පාසල් යනව ද ?
මම පාසල් ගියේ දළුගම ශාන්ත ෆ්‍රැන්සිස් විද්‍යාලයට. දැන් මම සෝෆ්ට්වේයා ඉංජිනේරුවෙක් වෙන්න පාඨමාලාවක් හදාරනවා.
මේ මුල්ම සිංදුව ද ?
නැහැ. මීට අමතරව ‘දැනෙනවා ද මගේ, හිතට මගේ‘ කියලා සිංදු දෙකක් කරලා තියෙනවා.හැබැයි මේ ගීතය යු ටියුබ් වල පළමු තැනට පත් වුණා.
සංගීතය හදාරා තියෙනව ද?
මම සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ සංගීතය හැදෑරුවා. මම හිතන්නේ ඊටත් වඩා මට මෙය සහජයෙන් ලැබුණු දෙයක් කියලා.
මේ ගමනට කවුද අත හිත දුන්නේ ?
මගේ අම්මා තාත්තා. පළමු සිංදුවෙන් පස්සේ නවීන් පෙරේරා, ලිඕන් විජේසිංහ අයියලත් මට සහය ලබා දුන්නා.
අනාගත බලාපොරොත්තු මොනවද ?
මියුසික් වීඩියෝ වලින් ඉදිරියට ගිහින් ඒ මගින් ජනප්‍රිය තලය දක්වා යෑමයි මගේ අරමුණ.