ශීත කාල­යට පම­ණක් විවෘත වන ස්වීඩ­නයේ අයිස් හෝට­ලය | සිළුමිණ

ශීත කාල­යට පම­ණක් විවෘත වන ස්වීඩ­නයේ අයිස් හෝට­ලය

දැන් ගෙවී යන්නේ යුරෝපය හා උතුරු ඇමෙරිකාව හිමෙන් වැසී යන ශීත කාලයයි. ස්වීඩනයේ අයිස් හෝටලය (Ice Hotel) විවෘත වන්නේ මෙම කාලයටයි . ශීත කාලයට පමණක්ම විවෘතව පවතින මෙම හෝටලය ප්‍රථමයෙන් ම විවෘත කර තිබෙන්නේ 1989 වසරේදීයි. 

උතුරු අර්ධ ගෝලයේ ඉහළට වන්නට පිහිටි ස්වීඩනයේ Jukkasjarvi ග්‍රාමයේ ටෝර්න් නදියේ ඉවුර අසබඩ පිහිටි මෙම අයිස් හෝටලය පසුගිය දෙසැම්බරයේදී විවෘත කරනු ලැබුවේ 28 වැනි වරටයි. සම්පූර්ණයෙන්ම අයිස් වලින් ඉදිකෙරෙන මෙම හෝටලය ඉදිකිරීම සඳහා මෙවර හිම සහ අයිස් ඝන මීටර 30,000 ක් යොදාගෙන තිබෙන අතර තැබෑරුමෙහි වීදුරු කෝප්ප අයිස් වලින් නිර්මාණය කිරීම සඳහා සුපැහැදිලි අයිස් ටොන් 500ක් පමණ යොදාගෙන තිබේ.

මෙම හෝටලය ස්ථිර නිර්මාණයක් නොවේ. සෑම වසරකම අයිස් වලින් නිමවන මෙහි මෙම වසරේදී සුපිරි කාමර 35ක්, අයිස් උත්සව ශාලාවක් හා කුඩා දරුවන් සඳහා අයිස් මිදුණු ක්‍රීඩා පිටියක් පවා තිබේ. මෙම හෝටලයේ ප්‍රධාන ශාලාවේ අයිස් වලින් සෑදූ පොකුරු පහන් දකින්නට ලැබෙන අතර උත්සව ශාලාව තුළ ගස් වැල් වර්ග 200කට අධික ප්‍රමාණයක් අයිස් හා හිම වලින් නෙළා තිබේ.

රටවල් 17කට අයත් කලාකරුවන් 36 දෙනකු විසින් මෙම හෝටලය නිර්මාණය කර තිබෙන්නේ මෙතෙක් තිබූ හොඳම අයිස් හෝටලය බවට හෝටලය පත් කරමිනි.

මෙම හෝටලයේ එක් එක් කාමර විවිධ කලාකරුවන් අතින් නිර්මාණය වී තිබෙන නිසා මෙහි කාමරයෙන් කාමරයට තිබෙන තේමාවන් හා අලංකාරය සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් වේ. එක් කාමරයක් තුළ දැවැන්ත හිම කුමරියක් සිටින විට තවත් කාමරයක් අභ්‍යවකාශ යානයක් මෙන් නිමවා තිබීම මේ සඳහා උදාහරණයකට ගත හැකිය.

හෝටලය තුළ කාලය ගත කිරීමට අමතරව ආක්ටික් යෝග ව්‍යායාම වල යෙදීම, හිම මත ලිස්සා යාම, අයිස් මත දිවීම හුමාල ස්නානය වැනි දෑ සිදු කිරීම සඳහා පහසුකම් මෙහි තිබේ. මීට අමතරව මෙම හෝටලය තුළ තිබෙන අවන්හලේ ආහාර සියල්ලම මෙම හෝටලය අවට ප්‍රදේශයෙන් ලබාගන්නා දෑ වලින් සකස් කරන අතර ආහාර වර්ග 12ක් මෙහි මෙනුවට ඇතුළත් කර තිබේ.

පැමිණෙන කුඩා දරුවන්ට අයිස් වලින් නිර්මාණ කිරීමට හැකියාව ලැබෙන අතර කුඩා අයිස් හෝටල් වැනි නිර්මාණ කිරීමට මෙන්ම අයිස් මාළිගා නිර්මාණය කිරීමටද ඔවුනට හැකියාව ලැබේ. මෙම වසරේ මාර්තු මස වසා දැමෙන මෙම හෝටලය නැවතත් දෙසැම්බරයේදී නවතම මුහුණුවරකින් විවෘත කිරීමට නියමිතය. 

Comments