
ජේසුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගසා මරාදමන්නට පිලාත් රජු අණ දුන් පසු උන් වහන්සේට කස පහර දී කටු ඔටුන්නක් හිස මත තබා කල්වාරි කන්ද වෙත රැගෙන ගියහ. පිලාත් රජු මෙම ඓතිහාසික තීන්දුව දුන් ස්ථානය ජේසුස් වහන්සේ කුරුසිය වෙත ගෙන ගිය ගමනේ වැදගත් ස්ථානයක් ලෙස සැලකෙයි. එම ස්ථානය පිළිබඳව ශුද්ධ වූ බයිබලයේ සඳහන් වන්නේ මේ ලෙසිනි.
ඉක්බිති පිලාත් ජේසුස් වහන්සේට කසවලින් තැලෙව්වේය. හේවායෝ කටු ඔටුන්නක් ගොතා, උන්වහන්සේගේ හිසෙහි තබා, නීල රක්ත වස්ත්‍රයක් උන් වහන්සේට හඳවා, උන් වහන්සේ ළඟට පැමිණ ‘‘ ජුදෙව් රජතුමනි සැරදේ!‘‘ කියමින් උන් වහන්සේට අතුල් පහර දුන්හ.
එම ස්ථානයේ පිලාත් රජු සිටි ස්ථනයට යාමට පියගැට පෙළක් තිබී ඇති අතර ජේසුස් වහන්සේට කස පහර දීමේදී වැටුණු රුධිරය මෙම පඩිපෙළ මත වැටී ඇත. ඉතාලිය හරහා මෙජිගෝරියට ගිය ගමනේ අප දැකගත් ස්ථාන අතර මෙම ශුද්ධ වූ පියගැට පෙළ Holy Stairs ( Scala Sancta) විශේෂ ස්ථානයකි.
ජෙරුසෙලමේ තිබුණු මෙම පියගැට පෙළ ඉතාලියේදී දැකගන්නේ කෙසේද? මේ පැනයට පිළිතුර ලෙස දැක්විය හැක්කේ ශාන්ත හෙලේනා තුමිය විසින් ශුද්ධ වූ දේශයෙන් රැගෙන ආ දේ අතරට මෙම පියගැට පෙළද අයත් වූ බවය.
පසුගිය කලාපයේ අප ඔබ කැඳවාගෙන ගිය, වත්මන් සාන්ත ජෝන් ලැටරන් බැසිලිකාව දෙසට මුහුණ දී සිටගත් විට දකුණු පසට වන්නට Scala Sancta ලෙස හඳුන්වන මෙම ශුද්ධ වූ පියගැට පෙළ පිහිටා ඇත.
මෙම ස්ථානය අතීතයේ සාන්ත ජෝන් ලැටරන් මන්දිරයට ( Lateren Palace) අයත් වූ කොටසක්ව තිබී ඇති අතර, අතීත සාන්ත ජෝන් ලැටරන් මන්දිරයෙන් ඉතිරිවී ඇති එකම කොටස වන්නේ මෙම ස්ථානයයි. 1309 පාප්තුමන්ලා ප්‍රංශයේ Avignon ප්‍රදේශයට යාමට පෙර භාවිතා කළ පල්ලිය මෙහි දක්නට ඇති අතර එය Sancta Sanctorum ලෙස හඳුන්වයි.
අප දැන් මෙම ශුද්ධවූ ස්ථානයට යන්නට සූදානම් වෙමු.මේ සඳහා සාන්ත ජෝන් ලැටරන් බැසිලිකාවෙන් පිටතට පැමිණ වම්පසට හැරීගොස් හමුවන මාර්ගය හරහා ගොස් දේවස්ථානයට පිවිසෙන දොරටුව අසලට පැමිණිය යුතුය.
අප ඇතුළට යන්නට පෙර අපගේ මඟ පෙන්වන්නිය වන රොබින් විස්තර කරන මෙහි ඉතිහාසය පිළිබඳව දැනුම්වත් වෙමු. 4 වැනි ශතවර්ෂයේදී (ක්‍රි.ව.326 දී ) හෙලේනා අගබිසව සුදු පැහැති කිරිගරුඬ පාෂාණයෙන් කරන ලද මෙම පඩි ගෙනැවිත් මෙම ස්ථානයේ (Lateren Place) සවිකර ඇත. එසේම කල්වාරි කන්දෙන් පස් ගෙනැවිත් ඒ මත මෙම පියගැට පෙළ ඉදිකර ඇති බවටත් විශ්වාස කරනවා.
පඩි 28 කින් සමන්විත මෙම පියගැට පෙළ වර්තමානයේ ලීවලින් ආවරණය කර ඇති අතර, මෙහි ඉහළට ගමන් කරන්නේ දණගාමින් පමණි. අප ඉතාමත් භක්ති වන්තව දණින් වැටී යාඥා කරමින් පඩියෙන් පඩිය ඉහළට ගමන් කළෙමු.
මෙහි තැනින් තැන පඩි දෙකක් අතර ඇති සිරස් ස්ථානවල දිගු අතට ලීය ඉවත් කර කවුළු සාදා ඇති අතර ඒ තුළින් කිරිගරුඬ පඩි හොඳින් දැකගත හැකිය. එසේම ජේසුස් වහන්සේගේ රුධිරය තැවරී ඇතැයි විශ්වාස කරන ස්ථාන හතරක් දැක ගත හැකිලෙස ලී පඩියේ රවුම් සිදුරු සාදා එය රන් ආලේපිත තහඩු රාමුවකට වීදුරු යොදා සකස් කර ඇත.
දණින් වැටී යාඥාකරමින් ඉහළට පැමිණි පසු විශාල යකඩ රාමුවකින් ආවරණය කර ඇති අතීතයේ පාප්තුමන්ලා පෞද්ගලිකව යාඥාකළ Sancta Sanctorum නමින් හැඳින්වූ පල්ලිය දැකගත හැකිය. මෙම කුඩා පල්ලිය හඳුන්වන්නේ ශුද්ධ වූ දේ ඇති ශුද්ධ වූ ස්ථානය (Holy of Holies) නමිනි. එසේ හැඳින්වීමට හේතුව වන්නේ මෙහි ඉතා වටිනා අතිශයින් දුලබ ශුද්ධ වූ වස්තු (පුරාවස්තු)කිහිපයක්ම ඇති නිසාවෙනි. මින් ප්‍රධාන වන්නේ (Icon) ජේසු තුමන්ගේ සැබෑ රූපයක්ලෙස සැලකෙන යුරෝනිකා (Uronica) නමින් හඳුන්වන චිත්‍රයයි. මෙය ශුද්ධ වූ ලූක්තුමන් විසින් සිතුවම් කිරීම ආරම්භ කර දේව දූතයන් විසින් අවසන් කරන්නට ඇතැයි විශ්වාස කරනවා. මේ නිසා මෙම සිතුවම Santissimi Salvatore Acheiropoieton නමින් හඳුන්වන අතර එහි අර්ථය වන්නේ මනුෂ්‍ය අත්වලින් නොකළ (not made by human hands) යන්නයි.
එසේම මෙම කුඩා පල්ලියේ අල්තාරය පහළ තුන්වැනි ලියෝ පාප්තුමන් විසින් ක්‍රි.ව. 816 දී කරවන ලද ලීවලින් තනන ලද පෙට්ටියක් ඇති අතර මෙහි ශාන්තුවරයින් 13 දෙනකුගේ පමණ ඇට සැකිලි ඇතැයි විශ්වාස කරනවා.මෙම ස්ථානයට ශුද්ධ වූ දේ ඇති ශුද්ධ වූ ස්ථානය යන නම ලැබී ඇත්තේ මේ නිසාවෙන් බව කියැවෙනවා.
මෙම කුඩා පල්ලිය තුළට පිවිසිය නොහැකි නමුත් එහි ඇතුළත දැකගත හැකිය. ලෙස යකඩ රාමු සහිත ෙදාරකින් මෙහි එන බැතිමතුන්ට යාඥාකිරීමට පල්ලියක් ඇති අතර, මෙයින් පිටවීමට වෙනම පඩිපෙළක් ඉදිකර තිබෙනවා.
මෙම ස්ථානය වර්තමානයේ පවතින තත්වයට වැඩිදියුණු කිරීම 5 වැනි සික්ස්ටස් පාප්තුමන් 1589 දී ආරම්භ කර ඇති අතර සෙසරේ නෙබියා සහ ගියොවන්නි ගුවේරා යන නිර්මාණ ශිල්පීන් දෙදෙනාගේ මූලිකත්වයෙන් චිත්‍රශිල්පීන් කණ්ඩායමක් විසින් මෙහි සිතුවම් නිර්මාණය කර ඇත. මෙම ශුද්ධවු පඩිපෙළ දෙපස සිතුවම් නිර්මාණය කර ඇත්තේ ෆෙරාවු ඉයන්සොනි නම් චිත්‍ර ශිල්පියා විසිනි.
අප මෙම සංචාරයේ පළමු දිනයේ අවසානයට දැකබලාගත්තේ මෙම ශුද්ධවු පියගැට පෙළයි. වෙහෙසකර දවසක අවසානයේ අප පළමු දිනයේ නවාතැන් ගත් නොවාටෙල් හෝටලය හෝටලය වෙත ගමන්කළෙමු.
ලබන සතියේ තව කොටසක්