යහ­පත් පෝෂ­ණ­යට දිර­වී­මට ප්‍රමාද ආහාර | සිළුමිණ

යහ­පත් පෝෂ­ණ­යට දිර­වී­මට ප්‍රමාද ආහාර

මිනිස් ශරීරයට බෙහෝසෙයින් ගුණදායී තෙල් වර්ගයක් කියලා ඔලිව් තෙල් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ආමන් තෙල්, පොල් තෙල් ආහාර සඳහා යොදා ගැනීම ඉතාමත් ගුණදායකයී. අපි මේ තෙල් වර්ගවල තියෙන වටිනාකම අවබෝධ කරගැනීම අපේ ජීවිතයට වටිනවා. මොනවා හෝ තෙල් වර්ගයක් ආහාර පිසීමට ගන්න යොමු වෙන්න එපා. ඒ වගේම බැදපු ආහාර ගන්න කොට අද බොහෝදෙනා කැමැති දෙයක් තමයි අල විප්ස්. ඒත් වෙළෙඳ පොළේ තියෙන අල චිප්ස්වල රසකාරක දාලා තියෙනවා. ඇත්තටම මේ වෙනුවට වේළපු දෙල් ටිකක් බැදලා කන්න පුරුදු වුණොත් කෙතරම් අපූරුද?

වර්තමානයේ බොහෝ දෙනා පෝෂණ ඌනතාවලින් පෙළීම ගැටලුවකි. විවිධ ආහාර පාන තිබුණත්, ඒවා විවිධ ක්‍රමවලට සෑදුවත්, ඉන් ශරීරයට ලැබෙන පෝෂණය පිළිබඳ සැකයක් පවතී. වත්මන් සමාජයේ පවතින කාර්ය බහුලතාව නිසා බොහෝදෙනා ක්ෂණික කෑමවලට හුරුවී තිබුණත්, ඉන් ලැබෙන අනිටු ප්‍රතිඵල බොහෝ බව හෙළි වෙමින් තිබේ. මේ නිසා මේ පිළිබඳ උනන්දු වීම වැදගත් වේ. මේ වත්මන් අවශ්‍යතාව වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමට යොමුවූ වෛද්‍යවරයකු වන හම්බන්තොට මහ රෝහලේ අයස්මන්ත පීරිස් සමඟ අපි පසුගිදා කතිකා කළෙමු.

 

වර්තමානයේ බොහෝදෙනා ක්ෂණික ආහාරවලට යොමු වෙලා තියෙනවා. මේ පිළිබඳ ඔබේ අදහස?

අද සමාජය ඉතාමත් කාර්ය බහුලයි. මේ නිසා තමන්ගේ ආහාර වේලවත් පිස ගැනීමට බොහෝ දෙනකුට වෙලා නැහැ. පිසූ ආහාර මිලදී ගන්න අද බොහෝදෙනා පුරුදු වෙලා තියෙනවා. කාලය ඉතිරි කර ගැනීමට මෙය විසඳුමක් වුවත්, පෝෂණ තත්ත්වය රැක ගැනීමට නම් එය යෝග්‍ය වන්නේ නැහැ. මේ නිසා අපි හැම විටම ගෙදර පිළියෙල කරගත් ආහාරයක් ගන්න අවශ්‍යයි. නැත්නම් තමන්ට විශ්වාසවන්ත ස්ථානයකින් ආහාර මිලදී ගැනීමට අවශ්‍ය වෙනවා.

 

ඔබ කියන්නේ මිලදී ගන්නා පිසූ ආහාර අපිරිසුදුයි කියලා?

බොහෝ විට එහෙම වෙනවා. ඒවගේ අපි මතක තබා ගත යුතු තවත් වැදගත් දෙයක් තමයි සෑම ආහාරයක්ම තෙලෙන් පිසූ ඒවා වීම. අද බොහෝදෙනෙක් ආහාර තෙලෙන් පිසීමට පුරුදු වෙලා. ඕනෑම දෙයක් තෙලෙන් පිස ඉක්මන්ට දෙනවා. ඒ පිසීමට ගන්නා ‍තෙලුත් දෙපාරක් තුන්පාරක් පිසීමට ගත්ත ඒවා. උදාහරණ ලෙස අද බොහෝදෙනා වඩේ කන්න ආසයි. ඒ වගේම ක්ෂණිකව අපට ආහාරයට ගන්නත් පුළුවන්. ඒත් මිලදී ගන්නා වඩේ දෙපාරක් තුන්පාරක් බැදීමට, පරිහරණය කළ තෙලෙන් බැදගත් වඩේ ද? නැද්ද කියලා අපි නිර්ණය කරන්නේ කොහොමද?

 

ආහාරයක් බැදීමට තෙල් එකවරක් පමණක් ද යොදා ගන්න ඕනේ?

ඇත්තටම එකවරක් පමණයි යොදා ගන්න ඕනේ. දෙපාරක් තුන්පාරක් ආහාරයක් බැදීමට එකම තෙල කිහිපවරක් ගැනීමේදී ඒ තෙල්වල රසායනික සංයෝගය වෙනස් වෙනවා. මේ නිසා ශරීරයට අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්. ගෙදර වුවත්, එකවරක් කෑමක් බැදගත් තෙල් නැවත ගන්නවා නම් ඔබ කරන්නේ ලොකු වරදක්. ඒ දෙය කවදාවත් කරන්න එපා. තෙල් ශරීරයට අවශ්‍යයි. ඒත් තෙල් ශරීරය ග්‍රහණය කරගන්නා ක්‍රමයක් තියෙනවා. අපි ඒ ක්‍රමයට යොදා ගත්තේ නැත්නම් ඉන් අහිතකර ප්‍රතිඵල ලැබෙනවා. තෙල් දෙපාරක් තුන්පාරක් බැදීමට යොදා ගැනීමෙන් මේදවල ඇති cic train බවට පරිවර්තනය වෙනවා. මේ නිසා ශරීරයට හොඳ නැහැ.

 

මෙහි අහිතකර ප්‍රතිඵල මොනවාද?

මේ නිසා දිරවීම අපහසු කරනවා. ඇතැම් විට මේවා ලේ නහරවල තැන්පත්වී හෘදයාබාධ ඇති වෙනත් පුළුවන්. ඒවගේම අංශභාගය වැනි රෝග ඇති වෙනවා. මේ තත්ත්වය අපටම වළක්වා ගන්න පුළුවන් වන්නේ නිවැරැදි ආහාර රටාවකින් පමණයි.

 

ශරීරයට හොඳ තෙල්වර්ග නරක තෙල් වර්ග කියලා තෙල් වර්ග දෙවර්ගයක් තියෙනවාද?

ඔව්. මිනිස් ශරීරයට බෙහෝසෙයින් ගුණදායී තෙල් වර්ගයක් කියලා ඔලිව් තෙල් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ආමන් තෙල්, පොල් තෙල් ආහාර සඳහා යොදා ගැනීම ඉතාමත් ගුණදායකයී. අපි මේ තෙල් වර්ගවල තියෙන වටිනාකම අවබෝධ කරගැනීම අපේ ජීවිතයට වටිනවා. මොනවා හෝ තෙල් වර්ගයක් ආහාර පිසීමට ගන්න යොමු වෙන්න එපා. ඒ වගේම බැදපු ආහාර ගන්න කොට අද බොහෝදෙනා කැමැති දෙයක් තමයි අල විප්ස්. ඒත් වෙළෙඳ පොළේ තියෙන අල චිප්ස්වල රසකාරක දාලා තියෙනවා. මේ නිසා කන්න කන්න ආස හිතෙනවා. ඇත්තටම මේ වෙනුවට වේළපු දෙල් ටිකක් බැදලා කන්න පුරුදු වුණොත් කෙතරම් අපූරුද? අපේ මුතුන් මිත්තන් මෙවැනි දේවල් සඳහා අපිව හුරු කළා. ඒත් අද පරම්පරාව මේවාට යොමු වෙලා නැහැ. ඒ අයට ඕනේ ක්ෂණික කෑම. මං හිතනවා අපේම දේවල් ක්ෂණිකව හදා ගන්න ක්‍රමවේදයකට හුරු වුණොත් හොඳයි කියලා. විශේෂයෙන් විටමින් ගැන කියන්න තියෙන්නෙත් මේ දේමයි. අද බොහෝදෙනා විටමින් කෘත්‍රිමව ශරීරයට ගන්න පුරුදු වෙලා.

 

ශරීරයට විශේෂයෙන් විටමින් වර්ග ගත යුතුද?

රෝගී අවස්ථාවකට පසුව මිස පුරුද්දක් ලෙස එසේ විටමින් විශේෂයෙන් ගත යුතු නැහැ. අපේ ශරීරයට විශේෂයෙන් ලෙඩ රෝගයක් සෑදීමෙන් ඇති වන දුර්වලතාවක් නිසා විටමින් ගන්න කියලා නිර්දේශ කරන්න පුළුවන්. ඒවගේම ගර්භණී අම්මලාට පෝලික් ඇසිට් කියන විටමින් වර්ගය ගන්න කියලත් වෛද්‍යවරු අනුමත කරනවා. දරුවකුගේ මොළය සහ ස්නායු වැඩෙන්න පෝලික් ඇසිඩ් අවශ්‍යයි. ඒ හැරුණහම අනවශ්‍ය විදිහට විටමින් ගැනීම අනුමත කරන බැහැ. අපි එදිනෙදා ගන්න අලුත් එළවළු පලතුරු නිසා ශරීරයට විටමින් ලැබෙනවා. අනවශ්‍ය ලෙස විටමින් ශරීරයට ඇතුළත් කරන්න යෑමෙන් විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් විටමින් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කියන්නේ ජලයේ දියවෙන විටමින් සහ මේදයේ දියවෙන විටමින්. ඒ, ඩී, ඊ, කේ, විටමින් මේදයේ දියවෙනවා. ඒ වගේම සී,ඩී, විටමින් ජලයේ දියවෙනවා.

 

සාමාන්‍යෙයන් අපේ රටේ විටමින් ආසාදන පෙන්වන්නේ නැද්ද?

පෙන්වනවා. විටමින් ඒ සහ ඩී නැති වුණහම සමේ ආසාදන පෙන්වනවා. එවැනි අවස්ථාවක පරික්ෂා කිරීමෙන් කුමන තත්ත්වයක්ද කියලා හඳුනාගන්න පුළුවන් වෙනවා. මෙවැනි අවස්ථාවක නම් අලුතින් විටමින් ශරීරයට ලබා ගත්තට කමක් නැහැ.

 

මතයක් තියෙනවා පලතුරුවල විටමින් තියෙනවා කියලා. මේ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

ඒක ඇත්ත. ඒත් පලතුරු වුණත් හැමවිටම ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද තියෙන්නේ ස්වාභාවික පලතුරුම නෙවෙයි. ජාන වෙනස් කිරීම් මඟින් ලබාගන්නා අලුත් ප්‍රභේද. ඒවා පැණි රස ගතියෙන් යුක්ත වෙනවා. මේ නිසා වැඩිපුර ආහාරයට ගතහොත් දියවැඩියාව වැනි රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් පලතුරු ආහාරයට ගැනීමට යොමු වුණේ යුරෝපීය රටවල්. අධික ශිතල කාලවලදී පලතුර හැදෙන්නේ නැහැ. එවැනි අවස්ථාවල යුරෝපීය රටවල් විවිධ ප්‍රභේද නිෂ්පාදනය කරන්න යොමු වුණා. මේ නිසා මූලික මවු පරම්පරාව නැති වුණා. අද සහල්වලත් මූලික පරම්පරාව සංකීර්ණයි. ඒ කියන්නේ දිරවීමට වෙලාවක් යනවා.

 

ඔබ කියන්නේ පහසුවෙන් ජීරණය වෙනවා නම් හොඳයි කියලාද?

නැහැ. අපේ ආහාර පද්ධතිය හැදිලා තියෙන්නේ සංකීර්ණ ක්‍රියාදාමයකින් සරල වෙන්න. එවැනි අවස්ථාවක ආහාරයේ පෝෂණය ශරීරයට උරාගන්නේ ඉතාමත් සෙමෙන්. මේ නිසා ශරීරයට අවශ්‍ය ධාරිතාව වැඩිවෙන්නේ නැහැ. එහෙත් අපි ඉක්මනින් දිරවීමට පහසු දෙයක් ශරීරයට ලබාදුන්නොත් ශරීරය තුළ එහි ධාරිතාව වැඩි වෙනවා. මෙය අයපත් තත්ත්වයක්. උදාහරණ ලෙස දක්වනාවානම්, අපි පරිභෝජනය කරන අලුත් සහල් ප්‍රභේද ඉක්මනින් දිරවනවා. ඒවායේ පිෂ්ටය වැඩියි. මේ නිසා දියවැඩියාව වැනි ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. මේ නිසා හැමවිට සංකීරණ ආහාරයක් ගැනීම හොඳ සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට යහපත් වෙනවා.

මේ පිළිබඳව තවත් විස්තර කළහොත්?

අද බොහෝදෙනා පුරුදු වෙලා තියෙනවා පලතුරු යුෂ බොන්න. ඒක දිගට කරන්න හොඳ නැහැ. පලතුරු යුෂ ඉක්මනින් ශරීරයට අවශෝනය කර ගැනීමෙන් ශරීරයේ එහි අඩංගු ද්‍රව්‍යවල ධාරිතාව වැඩි වෙනවා. ඒ නිසා විවිධ ලෙඩ ඇති වෙන්න පුළුවන්. ඇතැම් විට දියවැඩියාව වුවත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පලතුරු යුෂ බොනවාට වඩා ඒ පලතුරු ගෙඩිය කපලා කන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි. අපි හැම විටම දිරවීම වැඩි කාලයක් ගත වෙන ආහාර ගත යුතුයි. එතකොට තමයි ශරීර සෞඛ්‍ය සමබර වෙන්නේ.

සාම්ප්‍රදායික ආහාර වේලකට ජනතාව හුරු කිරීමේ වැඩ පිළිවෙලක් අවශ්‍යයි නේද?

එහෙම තියෙනවා නම් හොඳයි. හැබැයි ජනාකීර්ණ වුණත් කාර්යය බහුල වුණත්, අපේ සම්ප්‍රධායික අාහාරවලට යොමු වෙනවා නම් ඉතාමත් හොඳයි. උදාහරණ ලෙස සුවඳැල්, කළු හීනැටි, මඩතවාළු වැනි සහල් පරිභෝජනය කිරීමෙන් අපේ ජීරණ පද්ධතියේ කාර්යය සංකීර්ණ වෙනවා. එතකොට පෝෂ්‍යපදාර්ථ සමබරතාවකින් යුක්තව ටිකෙන් ටික තමයි ශරීරයට උරාගන්නේ. ඒ නිසා හැමවිට ශරීරය සමබරතාවකින් යුක්ත වෙනවා.

අද තියෙන සරල ආහාර ඉක්මනින් ශරීරයට අවශෝෂණය කරගන්නවා. එයින් පෝෂණයේ සමබරතාව අහි‍මි වෙනවා.

මේ නිසා අපි සාම්ප්‍රදායික ආහාර දිගින් දිගට ගත්තේ නැතත් දින දෙකකට වරක්වරත් ගන්නවා අපේ ශරීරය හොඳ පෝෂණ තත්ත්වයෙන් තබා ගන්න පුළුවන්.

 

 

රූපාන්ති බුලත්සිංහල 

Comments