වසන්තය එනවා සත්තකයි | Page 2 | සිළුමිණ

වසන්තය එනවා සත්තකයි

දුරුත්ත වෙනදා තරම් සීතල නැත. අඹ මල් දැඩි රස්නය දරා ගත නොහැකිව කළු වී ඇඹරී ගොස් ය. වෙනදා දහවල පුරා ගී ගයමින් නටන කුරුල්ලෝ මේ දිනවල දැඩි රස්නය දරා ගත නොහැකිව පත්‍ර අතර සැඟවී ඇත්තේ සන්තාපයෙන් යැයි සිතේ. දුරුත්තේ වෙනදා ගතට දැනෙන මඳ සීත සුළඟේ පහස හා සරසරය මෙදා සැඟවී ගොස් ය. මිහිකත තමනට දැනෙන පීඩනය දරා ගත නොහැකිව පෙරළා අප ගිනියම් කරන්නේ ද? නොතේරේ..

අපි තරුණ කලදී සෑම දෙයක් ගැනම දැන ගැනීමේ නොතිත් කුතූහලයෙන් යුක්ත වන්නෙමු. ඉර, හඳ, තරු මතු නොව කියවා ගැනීම කිසිසේත් ම කළ නොහැකි මිනිස් හදවත් පවා කියවා ගැනීමට වෙහෙසෙන්නෙමු. අපේ මේ තරුණ විය සාටෝපයෙන් බර ය. එහෙත් තරුණවිය ඉක්මවූ පසු මේ කිසිවක වටිනාකමක් දැනෙන්නේ නැත. ඉර, හඳ, තරු ඒ අවධියේදී තමන්ගේ ලෝකයෙන් ඔබ්බට යන්නට පටන් ගන්නේ ය. කුතූහලය බොහෝ දුරට මනසින් පළා යන්නේ ය.

ලොව සෑම දෙයක් ම පවතින්නේ ඇයි ද, කෙසේද යන්න අපට දැන ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා තොරතුරු සොයා ගත හැකි තැන් දැන් බහුල ය. ඒ වෙන කෙනකු සොයාගත් හේතු කාරණා ඒ අවධියේදී විමසා අපි සෑහිමකට ද පත් වන්නෙමු. ආගම සම්බන්ධයෙන් වුව ද, ජාතිය සම්බන්ධයෙන් වුව ද මේවා පොදු ය. වර්තමානයේ න්‍යායික අධ්‍යාපනය කියා අප ඉගෙන ගන්නේ ද මේවා ම ය. අපේ මනස ලබාදෙන සුළු තොරතුරකින් සෑහිමකට පත්වන්නට අපට පුරුදු පුහුණු කර ඇත.

දැනුම විසින් මේ වනවිට අප ආක්‍රමණය කර ඇත. වැඩිහිටියන් හා අන්තර්ජාලය මඟින් අපට සෑම දෙයක් පිළිබඳ ව ම වෙන වෙනම දත්ත සපයා දී ඇත. අප වයසින් වැඩෙන්නට වැඩෙන්නට මොළය මෙහෙයවීම වෙනුවට මොට වීමට පටන් ගනී.

අපේ මනස නිදහස් නොවේ නම් අපට බුද්ධිමත් විය නොහැකිය. මනස නිදහස් වන්නේ අප වයෝවෘද්ධ හා ඥානවන්ත කල යැයි කියයි. එහෙත් ළමා වියේ පටන් ම අපේ සහජාස, ප්‍රේරණ වටහා ගැනීමට අපේ මනසට නිදහස තිබිය යුතුය. එසේ වුවහොත් වයස ගැටලුවක් වන්නේ නැත.

මනස නිදහස් වන්නට නම් සරල විය යුතුය. සරල බව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අප බොහෝවිට සරල යන්නට දෙන නිර්වචනය වන්නේ දැඩි ලෙස ආගමික, තපස් දිවියක් ගෙවන, සුළු බඩු ප්‍රමාණයක් භාවිත කරන පුද්ගලයන් ය යනුවෙනි.

එහෙත් අවබෝධිත සරලබව යනු මනසේ, හදවතේ සරල බවය. අප බොහෝ දෙනකුගේ මනස ඉතා සංකීර්ණ ය. අපට බොහෝ අවශ්‍යතා හා ආශා තිබේ. සරල උදාහරණ ගතහොත් අපට විභාග සමත්වීමට ආශා ය. හොඳ රැකියාවක්, යාන වාහන, හොඳ විවාහයක් ලබා ගැනීමට ආශා ය. එවිට අප සරල යැයි කිව හැක්කේ ද?

සංකීර්ණ මනසකට, දැඩි ආශාභරිත මනසකට සත්‍ය අවබෝධ නොවේ. එයට හේතුව ළමා කල සිට ම අනුගාමිකයන්, අනුකරණවාදීන් වීමට සමාජයෙන් ලැබෙන ඉඩ ප්‍රස්තාවය. ඒ නිසා සංකීර්ණතාව, සරල කර ගන්නේ කෙසේදැයි අපි නොදනිමු. ඉතා සරල හා සෘජු මනස සැබෑ දේ වටහා ගැනීමේ ශක්තිය ඇති මනසයි. එබැවින් සරල මනස නිර්මාණශීලී ය.

මඳක් සිතන්න, ඔබ මිනිස් රුවක චිත්‍රයක් අඳින්නේ නම් ඔබ, ඔබට පෙනෙන ඉරියව් සහ බාහිර පැවැත්ම සහිතව ඒ මිනිස් රුව නිර්මාණය කරන්නේ ය. එහෙත් ඒ මිනිස් රුවට අයිති මනසේ ස්වභාවය, සිතිවිලිවල වර්ණත්වය ඔබට හසුවන්නේ නම් ඔබට ඒ රුව වඩාත් සමීප ව ඇඳිය හැකි නොවේද? අභ්‍යන්තර අනුභූතීන් වටහාගත් විට බාහිරය එයින් අලංකාරවත් කළ හැකිය. එසේ වන්නට ඔබේ මනස සරල ව තිබිය යුතුය.

අප බොහෝවිට මනසින් අපේ ආරක්ෂාව සම්පාදනය කර ගන්නෙමු. අපි කොතරම් ආශ්චර්යවත් පුද්ගලයන් ද, අප කෙතරම් රූමත් ද, කෙතරම් විස්මිත බුද්ධියකින් සමන්විත ද කියා වෙන අය කියනවාට කැමැත්තෙමු. එසේ නොවේ නම් අප, අපේ නම් ඉදිරියෙන් මෙතරම් උපාධි නාම, විශේෂණ නාම එල්ලා ගන්නේ නැත. ඒ සියලු දේම අපට ආත්ම විශ්වාසය, අප වැදගත් ය යන හැඟීම ලබා දෙයි. අප සියලු දෙනාට ම කීර්තිමත් වීමට අවශ්‍යයය. ඒ නිසා ම අපි සංකීර්ණ මනෝභාව ඇත්තන් වෙමු. සරලත්වය අපෙන් ගිලිහී ගොස් ය.

මඳක් නැවතිල්ලේ කල්පනා කර බලන්න. මේ උදා වී ඇත්තේ නව වසරකි. මෙතෙක් ඔබගේ පැවැත්මේ වන සංකීර්ණ බව මේ වසරේ සරල කර ගතහැකි නම් ඔබට බොහෝ දේ මඟ හැර, නොදැනුණා සේ යා හැකිය. එය ජීවිතයට එක් කරන අස්වැසිල්ල වෙන කිසිවකින් ගත නොහැකිය. මේ වසර පුරාත් ඔබට හොඳ - නරක, යස - අයස, නින්දා- ප්‍රශංසා, පැමිණේවි. ඒත් ඒවා නොදැනුණා සේ, නොදුටුවා සේ යන්න. හැකි තරම් මනස නිදහස් කර ගන්නට වෑයම් කරන්න. සරලවන්නට උත්සාහ කරන්න. එතරම් සැනසීමක් මේ ලොව නොවන බැව් ඔබට ම වැටහේවි.

චිංගීස් අයිත්මාතව්, ජීවිතට ගැන තැබූ අපූරු සටහනකින් මේ ලිපිය අවසාන කරන්නට කැමැත්තෙමි.

ශීත කාලය පැමිණේවි

තද ශීත කුණාටු හමාවි

හිම කැට සහිත මහ නපුරු සුළං හමාවි

ඒත්...

වසන්තය එනවා සත්තකයි...

[email protected]

Comments