අපේ රට ගම්වලින් සැදුණු රටකි. ‘ගම්’ යන පදය අපට ලැබුණේ සංස්කෘතයෙහි එන ‘ග්‍රාම’ යන පදයත් පාළියෙහි එන ‘ගාම’ යන පදයත් මූලාශ්‍රය කොට ගෙන ය. සංස්කෘත හා පාළි භාෂාවල ආභාසය අපට ලැබුණේ විජයාවතරණයෙන් පසුව ය. එහෙත් අපේ ගම් හැඳින්විමට අප දුන් නම් විජයාවතරණයට පෙරාතුව අපේ රටේ භාවිත වුණු භාෂාවලින් ගත් නම් ය.
ගම් නම් අයත් වන්නේ ‘නාම පද’ අතරට ය. සිදත් සඟරාකරුවා සිංහල නාම පද පස් වැදෑරුම් කොට දක්වයි.
“දෑ දැවි ගුණ කිරිය සන් වී සදන් පස් ෙබ්” (1.27)
මේ නාම පද අද හැඳින්වෙන්නේ පහත දැක්වෙන නම්වලිනි.
1. ජාති නාම (දෑ)
2. ද්‍රව්‍ය නාම (දැවි)
3. ගුණ නාම (ගුණ)
4. ක්‍රියා නාම (කිරිය)
5. සංඥා නාම (සන්)
මේ අතුරින් ‘ගම් නම්’ අයත් වන්නේ ‘සංඥා නාම පද’ අතරට ය.
සිංහලයෙහි ‘සංඥා නාම පද’ දෙ වර්ගයකි.
1. පුද්ගල සංඥා නාම
2. ස්ථාන සංඥා නාම
‘පුද්ගල සංඥා නාම පද’ යනු කිසියම් පුද්ගලයකු වෙනත් සියලු පුද්ගලයන්ගෙන් වෙසෙසා හැඳින්වීමට යෙදෙන නාම පදය යි. ‘ස්ථාන නාම පද’ යනු කිසියම් ස්ථානයක් වෙනත් සියලු ස්ථානවලින් වෙන් කොට හඳුනා ගැනීමට උපකාරී වන නාම පදය යි. සිංහල ‘ගම් නම්’ අයත් වන්නේ ‘ස්ථාන සංඥා නාම පද’ අතරට ය.
සිංහලයෙහි එන ගම් නම් ද දෙ වර්ගයකි.
1. සරල සංඥා නාම
2. සමාස සංඥා නාම
‘සරල සංඥා නාම’ යනු එක් තනි පදයකින් සැදුණු ගම් නම් ය. ‘යාල’ ‘මහව’ ‘කොට්ටල’ ‘මොට්ටුන්න’ ‘තම්මැන්නාව’ හා ‘මුරුත්තෙට්ටුව’ මෙනි. ‘සමාස සංඥා නාම’ යනු ‘කොල්ලු පිටිය’ ‘කිරි බත් ගොඩ’ ‘පොල් ගහ වෙල’ ‘සඳ සිරි දුනු විල’ මෙනි. මේ ලිපි පෙළ සිංහල ගම් නම් ගැන යි.