ඇරිස්ටොටල්ගේ ‘කාව්‍ය ශාස්ත්‍රය’ කෘතියේ එන සාහිත්‍ය වර්ගීකරණයට අනුව tragedy නම් සාහිත්‍යාංගය එකල පැවැති මිනුම් අනුව කාව්‍යයයේ එක් ප්‍රභේදයකි. ආරියවංශ රණවීරයන් සොපොක්ලීස්ගේ ‘ඊඩිපස් රජ’ නම් නාට්‍යය පරිවර්තනය කරමින් එම කෘතියට ලියන දීර්ඝ පෙරවදනේ ඒ කාව්‍යය ප්‍රභේදයේ ආරම්භය ගැන මෙසේ සඳහන් ය.
‘තෙස්පිස් තමාගේ ඛෙදාන්ත නාට්‍ය ප්‍රථමයෙන් ඉදිරිපත් කළේ ක්‍රි.පූ 534 දී දියෝනීසියා නගරයේ බව කියැවේ. එළු සමින් කළ ඇඳුම් ඇඟලා ගෙන රඟපෑ නළු කැලක්, ප්‍රධාන නළුවකු හා අසංකීර්ණ කතා වස්තුවක් ද සහිත ව ඔහු ඉදිරිපත් කළේ ය. නාට්‍යයට සහභාගි වූ නළුවන් එළු සමින් කළ ඇඳුම් ඇඟලා ගෙන ආ නිසා ඔවුන් හඳුන්වන ලද්දේ එළු ගායකයන් වශයෙනි. tragedy යන වචනය බිඳී ආයේ මෙම වදනින් යැයි බොහෝ විද්වත්හු අදහති.’
(රණවීර, ආරියවංශ - සොපොක්ලීස්ගේ ඊඩිපස් රජ - පිට 12- ගොඩගේ - 6වන මුද්‍රණය2011)
ඔලිම්පස් කන්දට අධිගෘහිත ස්වීය සාම්ප්‍රදායික දෙවිවරුන්ට බැහැරින් එක් වූ දියොනියස් නම් දෙවියාට පුද පූජා පැවැත්වීම ක්‍රි. පූ සවන සියවසේ පමණ ඇරඹෙන්නට ඇති බව විශ්වාස කෙරේ. මේ දෙවියාට පුද පැවැත්වීමේ දී ඩිතිරම්බ් (dithyramb) නම් ස්ත්‍රෝත්‍ර විශේෂයක් ගායනා කරන ලදී. මේවා පසුව අර්ධරංගන බවට පත් විය. හෝමර් විසින් සහ ඔහුගෙන් පසුව තවත් කවීන් විසින් වීර කාව්‍ය එළි දැක්වීමෙන් කලකට පසු ඒ ආභාසයෙන් පෙළ ගස්වන ලද අවස්ථා නිරූපණ ඩිතිරම්බික් ගායනාවල විස්තාරණයක් ලෙස දෙවියන් ඉදිරියේ නොව පොදු ජනයා ඉදිරියේ ඉදිරිපත් කිරීම අපරදිග නාට්‍ය කලාවේ උපත ලෙස සැලකේ.
සිංහල ව්‍යවහාරයේ දි ඇතැම්විට මේ නාට්‍ය විශේෂය ශෝකාන්ත ලෙස ද හැඳින්වේ. වචනයේ අර්ථයෙන් ගත් කල tragedy යනු ෙඛ්දයකින් අවසන් විය යුත්තක් බව ඇරිස්ටොටල්ගේ මතය යැයි පෙන්වා දෙන මහාචාර්ය කමනී ජයසේකර සිය ග්‍රීක සම්භාව්‍ය සාහිත්‍ය විචාර’ නම් කෘතියෙහි ඒවාට දෙන නම දුඃඛ ජනිත නාට්‍ය යනුයි. ශෝකය යනු ෙඛ්දය නිසා ජනිත විය හැකි මනෝභාවයක් වන අතර ඒ නිසා මේවා ශෝකාන්ත ලෙස හැඳින්වීමේ දොසක් පවතියි. ‘ඇරිස්ටොටල්ගේ කාව්‍ය ශාස්ත්‍රය’ නමින් Poetics කෘතිය සිංහලට පරිවර්තනය කරන මහැදුරු ඒ.වී.සුරවීර එහි දීර්ඝ සංඥාපනයේ Tragedy යන්නෙහි සමස්ත අර්ථය ම මෙසේ හකුළුවයි:
‘තවද මෙහි යෙදෙන Tragedy සහ Comedy යන සාහිත්‍යමග සඳහා නිශ්චිත අර්ථ සහිත සිංහල යෙදුම් තෝරා ගැනීම ද ගැටලුවක් වූයේ ය. අපේ බොහෝ සාහිත්‍යධරයන් පුරුදු ව සිටිනුයේ Tragedy යන්න ශෝකාන්තය හෝ දුක්ඛාන්තය යනුවෙන් සිංහලට නැඟීමට ය. Comedy යනු ඒ ආකාරයෙන් ම සුඛාන්තය යනුවෙන් සිංහලට පරිවර්තනය කෙරිණි. ඒ අනුව යමින් මෙහි 1984 වසරේ පිට වූ පළමු මුද්ණයේ දී “ශෝකාන්තය”,“සුඛාන්තය” යන යෙදුම් භාවිත කළෙමු.
Tragedy යන්නට ඇරිස්ටෝටල් කළ විවරණය අනුව එය හුදෙක් ශෝකයකින් හෝ මරණයකින් හෝ කෙළවර වන නිර්මාණයක්දැයි ම සිත්හි පැවැති සැකය නම් දිගට ම පැවැතිණි. ඒ අතර මට කියවන්නට ලැබුණු ආර්.එල්. සිංගල් සම්පාදනය කළ Aristotle and Bharatha නම් පර්යෙෂණ ග්‍රන්ථය මගින් මේ ගැටලුව නිරාකරණය කර තිබිණ. Tragedy යන නාට්‍ය විශේෂය අවශ්‍යයෙන් ම මරණයකින් අවසන් වීම තහවුරු වී ඇත්තේ ශේක්ස්පියර්ගේ නාට්‍යවලින් බව පෙනේ.
කථා නායකයාගේ හෝ නායිකාවගේ මරණයෙන් කෙළවර වීම මෙහි අනිවාර්ය ලක්ෂණයක් නොවේ. එහි විශේෂ ලක්ෂණයක් වන්නේ කාර්යසාධනයේ ගම්භීරත්වය, නාට්‍ය වාතාවරණයේ භීෂණත්වය, මානසික ඝට්ටන, කුමකින් කුමක් සිද්ධවේ ද යන දෙගිඩියාව, අවිනිශ්චිත තත්ත්වය, පාඨකයා හෝ පර්යේෂකයා වික්ෂෝභ කිරීමේ ශක්තිය යනාදී කරුණු Tragedy වර්ගයේ නාට්‍යවල විශේෂත්වයයි.
ඒ අනුව ඇරිස්ටොටල් විසින් Tragoidia යන යෙදුම “ශෝකෝත්පාදකය” යනුවෙන් සිංහලට නැගීම යෝග්‍ය බව පැහැදිලි වන බැවින් අපගේ කාව්‍ය ශාස්ත්‍රය තෘතීය මුද්‍රණයේ (2008) පටන් “ශෝකෝත්පාදකය” සහ “හාස්‍යෝත්පාදකය” යන වදන් සැකයෙන් තොරව භාවිත කෙරිණ.’
(සුරවීර, මහාචාර්ය ඒවී - ඇරිස්ටෝටල් කාව්‍ය ශාස්ත්‍රය, සරසවි, කොළඹ- 2008 - 57, 58 පිටු)
ඉහත සඳහන් පරිදි තෙස්පිස් විසින් ප්‍රථම නාට්‍ය එළි දැක්වූවාට පසු විවිධ රචකයන් විසින් රචනා කරන ලදුව සිය ගණන් නාට්‍ය ජනයා හමුවේ රඟ දක්වන්නට ඇතැයි උපකල්පනය කළ හැකි ය. ඒ සඳහා උපයෝගී කැර ගැනීමට විශාල රංග භූමි ග්‍රීසියේ නගරවල විශේෂයෙන් ඇතැන්ස් නුවර තිබූ බවට සාක්ෂි තිබේ.