
බුදු බණේ හොරකමට කියන්නේ ‘අදත්තාදානය’ කියා ය. එතැන ‘දානය’ යනු ‘අදත්ත’ හෙවත් නොදුන් දෙයකි. ‘පන්සිල් පදවලදී එකී අදත්තාදානය, අදින්නාදානය වෙයි. ඒ කියන්නේ නොදුන් දෙයක් ගැනීම ය. නොදුන් දෙයක් ගන්නට නම්, එතැනට හොර හිත අවශ්‍ය වෙයි. හොර හිත කියන්නේ හොරකම් කිරීමේ චේතනාවය. හොරකම් ඇතුළු සියලු අපරාධවලට මුල් වන මේ අපරාධ චේතනාව, නීතියේදී හැඳින්වෙන්නේ ‘අනිමුස් ඉන්ජුරියාන්ඩි’ (Animus Injuriandi) කියා ය.
අපේ පැරණි බසෙහි ඉහතකී අදත්තාදානය හෙවත් අදින්නාදානය හැඳින්වෙන්නේ ‘අයිනාදන්’ හැටියට ය. අපේ සෝරත නායක හාමුදුරුවන් එයට අරුත් කියන්නේ “නුදුන් දෙය ගැනීම” කියා ය. නායක හාමුදුරුවෝ හොර යන පදයට තේරුම් සපයමින් හොර කාසි ගැනත් අරුත් කියති. එතැන හොර කාසි යනු “රජයට හොරෙන් සැදූ කාසි” ය.
හොරකම් කරන විට, කාසිත් හොරකම් කළ හැක. කාසි නොවන අනිත් දේවලුත් හොරකම් කළ හැක. මේ හොරකම පෑනේ පැන්සලේ තීන්ත කුප්පියේ සිට කාර් බාර් ද පසු කරගෙන ගොස්, හොර අඹුවන් දක්වා ද දික්කරගත හැක. ඒ, හොරාගේ හොර හිතේ තරමත් අවශ්‍යතාවත් අනුව ය.
මොන දේ හොරකම් කළත්, ඒ හොරකම් ලොකු ගොඩවල් දෙකකට ගොඩ ගසා ගත හැක. එනම් පුද්ගලයන්ගෙන් කරන හොරකම් සහ රාජ්‍යයෙන් හෙවත් රජයෙන් කරන හොරකම් ය.
අපේ රටත් ඇතුළු හැම රාජ්‍යයක වගේ ම මේ හොරකම් දෙවගම, චිචිකෝෆ්ගේ කාලයේ සාර් රුසියාවේද පැවැත්තේ ය.
ගොගොල්ගේ සුප්‍රකට හිමකබායේ දී සිදු වුණේ, පුද්ගලයකුගෙන් කරන ලද හොරකමකි. (බලය හෙවත් බලහත්කාරය යෙදුණු විට, හොරකම මංකොල්ලයක් බවට පත් වන වග, මෙතැන්හිදී අමුතුවෙන් පහදා දිය යුතු කාරණයක් නොවේ) හොරු දෙන්නෙක් මග රැක සිට අකාකිගේ හිමකබාය පැහැර ගත්හ. චිචිකෝෆ් හොරකම් කරන්ට යන්නේ, හොර බඩු නොව, හොර සල්ලිය. එද පුද්ගලයකුගෙන් නොව, සාර්ගේ ආණ්ඩුවෙනි.
නිකොලායි ගොගොල් අප ඉදිරියේ පණ පිහිටුවා නිර්මාණය කොට දක්වන චිචිකෝෆ් නමැති මහත්තැන් කෙනකුගේ වෙස්ගත් ආනාදි චෞරයාට, රජයෙන් හොරකම් කරනු උදෙසා, අපේ සෝරත නායක හාමුදුරුවන් කියන ‘හොර කාසි’ ගහන්ට අවශ්‍ය වන්නේ නැත. කාසි තබා, හොර නෝට්ටු ගහන්ට අවශ්‍ය වන්නේත් නැත. කරන්ට ඇත්තේ, හොර සූත්‍රයක් යොදා ගැනීම පමණි.
රජයෙන් මුදල් හොරකම් කරන මේ හොර සූත්තර දැන් අතිශයින් ම නවීන වී ඇති වග, ගමේ ගොඩේ සාපින් සිංඤෝලා ද, සේදක්කලාද, කොල්ලො කුරුට්ටෝ ද හොඳාකාර දනිති. ලොකුම ලොකු මහත්තුරු කරන මේ හොරකමට මුදල් නෝට්ටු තබා චෙක්පත්වත් අවශ්‍ය වන්නේ නැත. ඒ හොරකම විනිමය බිල්පත්වලින් ද කළ හැක. හොරකම කොතරම් නවීකරණය වෙලාද කිවහොත්, කොම්පියුටරයේ බොත්තමක් ඔබා වුණත් කළ හැක. ඔබන්නේ නිවැරදිම බොත්තම නම්.
සාර්ගේ රුසියාවට ද, රජයෙන් හොරකම් කරන සූත්තර කොතෙකුත් තිෙයන්ට ඇත. ඒ සූත්තරවලින් එකක් හොයාගත් මිනිහා චිචිකෝෆ් ය. ඒ අපූරු ‘හොර සූත්‍රය’ කෙසේ වීද?
එකල රුසියාවේ රදළයන්ගේ ඉඩම්වල සේවය කළ ගොවීහු ප්‍රවේණි දාසයෝ වූහ. ඔවුන් විසින් නිපදවන ලද හැම දෙයකින් ම කොටසක් ඉඩම් හිමියාට හෙවත් තම ස්වාමියාට දිය යුතු විය. එකල ඉඩම් හිමියකුගේ වත් පොහොසත්කම් මනින ලද්දේ ඔහු සතු ඉඩම් ප්‍රමාණයෙන් හා දාසයන්ගේ ගණනි. හැම ඉඩම් හිමියකු විසින් ම තමා සතු දාසයන්ගේ නාමලේඛනයක් අවුරුදු දහයකට වරක් රජයේ ලියාපදිංචි කළ යුතු විය. එම කාලය තුළ දී හැම දාසයකු වෙනුවෙන්ම ඔහු රජයට බද්දක් ගෙවිය යුතු ය. දාසයන් මළත් බද්ද ගෙවිය යුතු විය. දස වසකට පසු අනෙක් ලේඛනය ලියාපදිංචි කරන තෙක් හැම දාසයෙක්ම ජීවතුන් අතර සිටින්නකු මෙන් පිළිගන්නා ලදහ. මළදාසයන්ගේ නම් කපා දැමිය හැක්කේ අනෙක් ලේඛනය ලියාපදිංචි කරන විට පමණි. එහෙයින් බොහෝ විට ඉඩම් හිමියෝ මළ දාසයන් වෙනුවෙන් නිකරුණේ රජයට බදු ගෙවා වෙහෙසුණහ. ඉඩම් විකුණන විට ඉඩම් සමඟ දාසයන්ද විකිණිය හැකි ය. ඉඩම් නැතිව දාසයන් පමණක් වුව ද විකිණිය හැකි ය. එහෙත් පදිංචි කරවීමට ඉඩම් නැතිව දාසයන් පමණක් ගැනීම නීතියට පටහැනි විය.
දාසයන් රජයට උගස් තැබිය හැකි විය. එක් වරක් නොව දෙවරක් වුවද උගස් තැබිය හැකි විය. ඉඩම් උගස් තැබීමේදී ඔප්පුව පමණක් ඉදිරිපත් කොට මුදල් ගන්නාක් මෙන් දාසයන්ගේ නම් ගම් ඇතුළත් ඔප්පුව පමණක් උගස් තබා මුදල් ගත හැකි ය. ඔප්පුවට ඇතුළත් දාසයන් ජීවතුන් අතර සිටිත්ද නැද්ද? ඔවුන් තවමත් ස්වාමියා යටතේ මෙහෙකරත්ද නැතිනම් පැන ගොස් ද? යන ප්‍රශ්න මතු නොවීය. මේ ‘මළ මිනිස්සු’ සැබැවින්ම මළ දාසයෝ වෙති.
මළ මිනිසුන් විකුණා වංචාවෙන් මුදල් හම්බ කළ අය ගැන ගොගොල් දැන සිටියේ ය. එවැන්නෙක් ඔහුගේ ගමෙහිද විය. ගොගොල්ගේ කථානායකයා වන චිචිකෝව් එවන් සොරෙකි. ඉතා වැදගත් නම්බුකාර සොරෙකි. ඔහුගේ අදහස් අනුව ඔහු දියුණු වීමට වෑයම් කරන්නෙකි. මුදල් හම්බ කරගෙන දාසයන් සමඟ ඉඩමක් ගෙන, දායාදයක් සමඟ හොඳ පෙළවාසියක් කරගෙන රටට ජාතියට ප්‍රයෝජනවත් දූ පුතුන් හදා වඩා අන්තිමේදී රජයෙන් නම්බුනාම ලබා සැපවත් ජීවිතයක් ගත කිරීම, ඔහුගේ එකම අරමුණ විය. ඒ සඳහා ඔහු රාජ්‍ය සේවයට බැඳුණේ ය. එහෙත් රජයට උගත් අවංක සේවකයන්ගෙන් වැඩක් නැති හෙයින් ඔහු රාජ්‍ය සේවයෙහි පිළිවෙත ආදර්ශයට ගනිමින් අල්ලස් ගන්නට විය. සොරකම් කරන්නට විය. අන්තිමේදී ඔහු රජයට අසු විය. රජය ඔහු සතු දේපොළ රාජසන්තක කොට පන්නා දැම්මේය. ඔහු හිෙර් නොගොස් බේරුණේ යන්තමිනි. එහෙත් පසුබට නොවූ හෙතෙම මෙසේ තර්ක කරයි.
“හැම දෙනාටම හොරකමින් පොහොසත් විය හැකි නම් මා පමණක් අසුවිය යුත්තේ මන්ද?”
රාජ්‍ය සේවය අත්හැර දැමූ චිචිකෝව් කදිම වැඩපිළිවෙළක් සකස් කරගත්තේ ය. ඉඩම් හිමියන් වෙත ගොස් ඔවුන්ගේ ඉඩම්වල මිය ගිය දාසයන් මිලයට ගෙන රජයට උගස් තබා ලබාගත් මුදලින් පණ ඇති දාසයන් සමඟ ඉඩම් ගෙන ඉඩම් හිමියකු වීම ඔහුගේ අරමුණ විය.
අපේ වීරයා චිචිකෝෆ් දැන් අපි හරිහැටි හඳුනාගෙන සිටිමු. මුදල් හම්බ කරන පොහොසත් වන සමාජයේ තැනක් ලබන හොරකමේ අලුත්ම සූත්‍රය දන්නා ඔහු, ඒ අනුව ක්‍රියාත්මක වෙයි.
ඔහු සාර් රුසියාවේ ප්‍රත්‍යන්තයේ පිහිටි ප්‍රාදේශික නගරයකට යන්නේ දුනු සහිත අශ්ව කරත්තයකිනි. එහි තානායමේ ලැගුම් ගන්නා ඔහු නගරයේ ඉහළ සමාජය වෙසෙසින් ම නිලධර සමාජය සහ ධනවත් සමාජය සමඟ සබඳතා ඇති කරගනිති. මේ මිනිස්සු ම චිචිකෝෆ්ට සලකන්නේ වැදගත් අමුත්තකුට මෙනි.
තමාගේ ‘මළ දාස’ ගනුදෙනුවේ මුල්ම ගනුදෙනුකාරයා හෙවත් කස්ටමර් හැටියට ඔහු මුණ ගැහෙන්නේ මනිලෝෆ්ය. ඒ සඳහා ඔහුට දිග වෙහෙසකර දුර ගමනක් යන්ට සිදු විය.
“මහත්මයා මැරිච්ච දාසයන් ගන්න හදන්නේ ඉඩම් එක්කද, නැතිනම් ඉඩම් නැතිව දාසයන් විතරක් ද කියා මට කරුණාකර කියන්න පුළුවන්ද?”
මනිලෝෆ් විමසයි.
“නැහැ, නැහැ. මට ඉඩම් එක්ක දාසයන් අවශ්‍ය නැහැ. මට අවශ්‍ය මැරිච්ච දාසයන් විතරයි.”
“මහත්මයා, මට සමාවෙන්න... මගේ කන ඇහෙනවා මදි. මහත්මයා මොකක්දෝ මහ පුදුම දෙයක් කියනවා වගේ මට ඇහුණා.”
“මගේ බලාපොරොත්තුව පසු ගිය ජනලේඛනයට ජීවතුන් හැටියට ඇතුළත් වී සිටින මළ දාසයන් ගන්නයි.”
මනිලෝව් ගේ කට ඇරුණේ ය. කෙට් තිබුණු පයිප්පය බිම වැටුණේ ය. මිත්‍රධර්මයෙහි ඇති පරම සුන්දර සැපත ගැන මෙ පමණ වේලා කතා කරමින් සිටි මේ මිනිස්සු දෙදෙනා පුදුමයෙන් එකිනෙකා දෙස බැලූහ. අන්තිමේ දී පයිප්පය අහුලාගත් මනිලෝව්, චිචිකෝව් දෙස බැලුවේ ඔහු තමාට විහිළුවක් කෙළේය යන අදහසිනි. එහෙත් විහිළුවක් කළ බව හඟවන ලකුණක් වත් චිචිකෝව්ගේ මුහුණින් ප්‍රකාශ නොවී ය.
තමා ගේ නිෙවසට පැමිණ තමා විසින් ආදරයෙන් පිළිගෙන පිළිගන්වන ලද සංග්‍රහය භුක්ති වින්ද මේ අමුත්තා හිටි හැටියේ ම උමතු වූයේ ය යන අදහසින් භීතියට පත් මනිලෝව්, චිචිකෝව් දෙස තියුණු බැල්මක් හෙළුවේ ය. එහෙත් චිචිකෝව් ගේ නෙත් පැහැපත් විය. පිස්සන්ගේ නෙත් තුළ දක්නට ලැබෙන බියකරු බැල්ම ඔහුගේ නෙත් තුළ නො වී ය. එමෙන් ම ඔහු ඉතා සන්සුන් විය. කුමක් කළ යුතුද, කුමක් කිව යුතු දැයි නො දත් ගෙහිමියා අන්තිමේදී පයිප්පය උරා දුම් ගුළියක් පිට කෙළේ ය. ඊට වඩා ඔහුට කළ හැකි දෙයක් නොවී ය.
ලබන සතියට