BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

 ශිල්පා - සල්මන්ගෙන් මතභේද කතාවක්

2018 වසර ලබනවාත් එක්කම ජනප්‍රිය, සුපිරි නළු නිළි දෙපළකට චෝදනාවක් එල්ල වෙලා. එය සුළුපටු චෝදනාවක් නොවෙයි. මේ චෝදනාව එල්ල වී ඇත්තේ කුලභේදය ඉස්මතු කරවන අන්දමේ ප්‍රකාශයක් නිසයි. මේ ප්‍රකාශය සිදුකර ඇත්තේ සල්මන් ඛාන් සහ ශිල්පා ශෙට්ටියි.

රූපවාහිනී වැඩ සටහනකට සහභාගි වූ සල්මන් සහ ශිල්පා, ඉන්දියාවේ ජීවත්වන එක්තරා ජන කොටසකට අපහාසයක් වන අන්දමේ වචනයක් භාවිත කර ඇතැයි පැවසෙනවා. මෙයට දැඩි ලෙස විරෝධය දක්වා ඇති ඉන්දියාවේ රොජ්ගර් අඝාරි සමූහාණ්ඩු පක්ෂය මේ සුපිරි තරු දෙපළගේ වචන භාවිතයට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා.

පොලීසිය මේ පැමිණිල්ලට අනුව වැඩිදුර කටයුතු නොකළහොත් තම පක්ෂය ප්‍රසිද්ධියේ විරෝධතා පවත්වන බව රොජ්ගාර් අඝාරි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත්, තමන්ගෙන් සිදුවූ වරද පිළිගත් ශිල්පා, එයට සමාව ගෙන තිබෙනවා. ඒ, ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින්.

“ශිල්පා මේ ප්‍රකාශයෙන් සමාව ඉල්ලුව බව අපි දන්නවා. ඒ වුණාට ඇත්ත තත්ත්වය වෙනස් වුණේ නැහැ. නීතිය අනුව නම් ඔය වගේ ප්‍රකාශයක් කරපු කෙනෙක් අවුරුදු 5ක සිර දඬුවමක් විඳින්න ඕනෙ.

පොලීසිය ඒ අනුව ක්‍රියා කරන්න ඕනෙ. මේ වගේ ප්‍රකාශ කරන අයට විරුද්ධව කටයුතු කරල මේ රටේ නීතිය පවත්වාගත යුතුයි.” මෙලෙස ප්‍රකාශ කළේ ඉන්දියාවේ ඩාලිට් සමාජ්වාදී පක්ෂයේ නායකයෙක්.

ඉන්දීය දේශපාලනඥයන් කිහිප දෙනකු වෙතින් මෙවැනි විරෝධතා එල්ල වීමෙන් පසුව එරට ජාතික ව්‍යවස්ථානුකූල ආයතනයක් වන සෆායි කරම්චාරි කොමිෂන් සභාවෙන් සුපිරි තරු දෙපළට දැනුම් දීමක් කර තිබෙනවා. ඒ, කුලභේදයට තුඩු දුන් වචනය භාවිත කිරීම වෙනුවෙන් මුළු රටෙන්ම ප්‍රසිද්ධියේ සමාව අයදින ලෙසයි.

ප්‍රියංකාගේ ආචාර්ය උපාධියට කාලගුණේ හරස් වෙයි.

කාලගුණය වෙනස් වූ විට අවට පරිසරය විතරක් නොවෙයි, කාගේත් සිත් තුළ පවා හැලහැප්පීම් සිදුවෙන්න පුළුවන්. ප්‍රියංකා චොප්රාටත් එවැනි අයුරින්ම සිත සසල කරවන සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුණා. කාලගුණය චණ්ඩ වීමෙන් තමයි ඇගේ සිත කම්පා වුණේ.

ප්‍රියංකා, පසුගියදා දිල්ලි ගුවන් තොටුපළට පැමිණියේ උත්තර් ප්‍රදේශ්හි බාරීලි නගරයට යන්න හිතාගෙනයි. පෞද්ගලික ගුවන් යානයකින් බාරිලි වෙත ඇය යන්නට සූදානම් වී සිටියේ එහි විශ්ව විද්‍යාලයක පැවැත්වුණු උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වෙන්නයි. මෙහිදී ප්‍රියංකාටත් සම්මානිත ආචාර්ය උපාධියක් පිරිනැමීමට සියලු කටයුතු සූදානම් කර තිබුණා. ප්‍රියංකාට විශේෂයෙන් වැදගත් වන මේ උත්සවයට සහභාගි වෙන්න ඇය සමඟ ඇගේ මව සහ සොහොයුරා ද එක්වී සිටියා.

නමුත් ඇය ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළට නියමිත වේලාවට ළඟා වූවත් ඒ වන විට පැවැති අයහපත් කාලගුණය ඇගේ ගමනට හරස් වුණා. උදෑසන 10 පමණ වෙද්දී ප්‍රියංකා ගුවන් ගමනට ලෑස්ති වී සිටියත් අධික මීදුම නිසා කිසිවකුටවත් කිසිවක් කර කියා ගත හැකිවුණේ නැහැ. කාල වේලාව ටිකෙන් ටික ඉක්මවා යද්දී ප්‍රියංකාට තේරුම් ගියා, උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීමට නොහැකි වන බව. ගුවන් තොටුපළේ රැඳී සිටිද්දීම ඇය එම විශ්ව විද්‍යාලයට ට්විටර් පණිවිඩයක් යවමින් කනගාටුවෙන් දන්වා සිටියේ තමන්ට උපාධි ප්‍රදානෝත්සවයට සහභාගිවීමට නොහැකි බවයි.

මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුණේ උත්තර් ප්‍රදේශ්හි විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය හාර්ෂ් වර්ධන්. “මගේ දීර්ඝ දේශනය පවත්වන අතරතුරදී ප්‍රියංකා ඒවි කියල හිතුවා.” ප්‍රියංකාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි අමාත්‍යවරයා එලෙස පැවසුවා. ප්‍රියංකාගේ ළමාවිය ගතවුණේ බාරිලි ප්‍රදේශයේයි. බාල කාලයේ සුන්දර මතකයන් ජීවිතයට එකතු කළ බාරිලි ප්‍රදේශයේදී ආචාර්ය උපාධියකින් පිදුම් ලැබීමේ මොහොතට සහභාගි වීමට නොහැකි වීමෙන් තම හදවත කඩා වැටුණු බව මේ සුපිරි සුරූපිනිය ප්‍රකාශ කළා.

‘හිච්කි’ කොපියක්ලු

චිත්‍රපට කතා කොපි කිරීම, තිර රචකයාගේ අනුදැනුමෙන් තොරව චිත්‍රපට නිර්මාණය කිරීම වැනි සිදුවීම් බොලිවුඩ් තිරය පිටුපස ඇතැම් විට සිදු වෙනවා. මෙවැනි දේ සිදුවූ විට එකිනෙකාට දොස් පවරා ගැනීම්, ඒවාට එරෙහිව නඩු මගට බැසීම් වැනි කටයුතු ද සිදු වෙනවා.

සුපිරි නිළි රාණි මුඛර්ජි මෑතකදී රඟපෑ ‘හිච්කි’ නම්වූ අලුත්ම චිත්‍රපටයේ තිර රචනය ද ඒ අයුරින් සොරකම් කළ එකක් බවයි බොලිවුඩ්පුරයෙන් ලැබෙන ආරංචියක සටහන් වන්නෙ. ‘ටොරෙට්ස් සින්ඩ්‍රම්’ නම්වූ වචන උච්චාරණය නිවැරැදිව කළ නොහැකි රෝගී තත්ත්වයකින් පෙළෙන ගුරුවරියක පිළිබඳ හද සසල කරවන කතාවක් තමයි, ‘හිච්කි’ චිත්‍රපටයට පාදක වී ඇත්තේ.

මේ චිත්‍රපට කතාවේ රචකයා නිශාන්ට් කෞෂික්. ඔහු ලියූ ‘මයි ෆාදර් ඉස් අ හීරෝ’ නම් වූ කතා පුවත කොපිකර ‘හිච්කි’ චිත්‍රපටය නිර්මාණය කර තිබෙන බවයි රචකයා පවසන්නේ. ඔහු තවදුරටත් කියා සිටින්නේ ‘හිච්කි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සිද්ධාර්ත් පී. මල්හොත්‍රා තමන් හමුවට පැමිණ එක්තරා චරිතයක් කේන්ද්‍ර කරගෙන චිත්‍රපට තිරනාටකයක් ලියා දෙන්නැයි තමන්ගෙන් ඉල්ලා සිටි බවයි. “ඒ අනුව මම තිර නාටකයක් ලියා සිද්ධාර්ත්ට භාර දුන්නා. මාස කීපයක්ම ගතවුණත්, එයාගෙන් මට උත්තරයක් ලැබුණේ නැහැ. තිර රචනය තෝරා ගත්ත ද, එහෙම නැතිනම් ඒක අහක දැම්ම ද කියලවත් දැන්නුවෙ නැහැ. මෑතකදී මම දැක්කා, ‘හිච්කි’ කියන චිත්‍රපටයක ට්‍රේලරයක්. එතකොට මට තේරුණා මම ලියපු කතාවට මේ චිත්‍රපට කතාව ගොඩක් සමානයි කියලා.” නිශාන්ට් කෞෂික් එලෙස පවසමින් තමන් විසින් ලියන ලදුව සිද්ධාර්ත් මල්හෝත්‍රාට භාර දුන් තිර රචනයේ පිටපතක් සිය ට්විටර් පිටුවට ද ඇතුළත් කර තිබෙනවා. 

 

Comments