පරක්කු වුණේ ඉඩ­ක­ඩම් මුදල් බෙදන්න වෙලා ගියාද? | Page 2 | සිළුමිණ

පරක්කු වුණේ ඉඩ­ක­ඩම් මුදල් බෙදන්න වෙලා ගියාද?

අසාර් වේගයෙන් රිය පදවමින් සිටින්නේ කතා බහකින් තොරවය. ඇයට මහත් තනිකමක් දැනිණ. එහෙත් අසාර් හා කතා කිරීමට ඇය තුළ ඇති වී තිබුණේ එක්තරා අන්දමක බියකි. එම බිය කවර හේතුවක් මත ඇති වූ බියක්දැයි ෆියෝනා කල්පනා කළාය. සාමාන්‍යයෙන් දැඩි ලෙස කෝපයට පත් වූ කළ අසාර් ගොළුවත රකින්නට පුරුදු වී සිටියි. ඔහු යළි කතා කරන්නේ සිය කෝපය සම්පූර්ණයෙන්ම පහ වී ගිය පසුය.

දැන් මැදියම් රාත්‍රියට ද ආසන්න වී ඇතැයි මෝටර් රථයේ කවුළුවෙන් පිටත බලා සිටින ෆියෝනාට සිතිණ. පාර දෙපස වූ නිවෙස් සහ කඩ සාප්පු බොහොමයකම විදුලි පහන් නිවා දමා ඇත.

මේ වනවිට මහා මාර්ගයේ ගමන් කරමින් ඇති වාහන සංඛ්‍යාව ද බෙහෙවින් අඩු වී ඇති හෙයින් අසාර් කිසිදු බාධාවකින් තොරව වේගයෙන් මෝටර් රථය ධාවනය කළේ ෆියෝනාගේ සිත බෙහෙවින් තැති ගන්වමිනි.

ඇය කවදත් වේගයෙන් ගමන් කරන රථ වල ගමන් කරන්නට බිය වූවාය.

මේ වනවිට තම මහ ගෙදර වාතාවරණය කවර ආකාරයක් ගෙන ඇත්දැයි ඇය කල්පනා කළාය. සියල්ල සිදු වූයේ කලින් සැලසුම් කළ ආකාරයෙන් නොවේ.

“මම ගේට්ටුව කිට්ටුවෙන් ඉන්නෙ. යනවානම් එන්න.,,

අසාර් විසින් සිය ජංගම දුරකතනයට එවා තිබූ කෙටි පණිවුඩය ෆියෝනාට සිහියට නැගිණ. එම පණිවුඩය නොසළකා සිටින්නට සිත් වුව ද, එය නොසළකා හැරීම ඔහුගේත්, තමාගේත් විවාහ ජීවිතයේ අවසානය වන බව ඇය දැන සිටියාය. ෆියෝනා සෙමෙන් සෙමෙන් විසිත්ත කාමරය දෙසට පිය නැගුවද, ඒවනවිට අක්කලා දෙදෙනාද, අයියා ගජබා සහ වගීෂ අයියා ද මැද මිදුලෙහි රැස්ව පහත් හඬින් කිසිවක් සාකච්ඡා කරමින් සිටින අයුරු ඇය දුටුවාය.

කිසිවකුට නොපවසා තම ගමන් බෑගය ද රැගෙන නිවෙසින් පිට වී යාමට ෆියෝනාට සිතුණ මුත් එය තවත් ගැටළුවකට කරුණක් විය හැකියැයි ඇය සිතුවාය. මැද මිදුලට සුදු සඳරැස් පතිතව තිබිණ. මැද මිදුලෙහි ඉදි කරන ලද සිමෙන්ති බංකුවක් මත ලොකු අක්කා සහ මද්දු අක්කා වාඩි වී සිටි අතර, අයියලා සහ ස්වේතා ඔවුන් ඉදිරියෙන් සිටගෙන සිටින අයුරු ඇය දුටුවාය. වැසි දිනවල පීල්ලෙන් වෑහෙන දිය එකතු වීම සඳහා තබා තිබූ උස් මැටි බඳුන පසුපස සිටගත් ෆියෝනා මඳ වේලාවක් ඔවුන් දෙස බලා සිටියාය. ඇයට නිවසත්, සොයුරු සොයුරියනුත් හැර දමා යන්නට ලෝබ සිතිණ. එහෙත් අසාර් හා නිවෙසින් පිටවී යාම නිසා අන් දෙයක් කළ හැකි නොවූයෙන් ඇය සිතට දිරි ගෙන පියවරක් ඉදිරියට තැබුවාය. මේ වනතුරුත් කිසිවෙක් ෆියෝනා නොදුටුවේ ඔවුන් පහත් හඬින් කරන සාකච්ඡාව නිසා විය යුතුය. තවත් පියවරක් ඉදිරියට තබත්ම

නැවතත් ජංගම දුරකතනයේ කෙටි පණිවුඩ හඟවන සංඥාව ඇසිණ. නොඅනුමානවම ඒ අසාර් විය යුතුයයි දුරකතනය දෙස නොබලාම ෆියෝනා තීරණය කළාය.

“මං යනවා. ,,

සිතට දිරි ගත් ඇය හඬ නගා පැවසුවාය. රැස්ව සිටි සියලු දෙනාම එකවර හැරී ඇය දෙස බැලුවේ කලින් කතා කරගෙන සිටි කලෙක මෙනි.

“මොකක්ද කිව්වෙ?,,

සිමෙන්ති බංකුව මතින් නැගී සිටි ලොකු අක්කා ලෝචනා ඇසුවේ කිසිවක් සිතා ගත නොහැකි වූවාක් මෙනි.

“මං යනවා.,,

ෆියෝනා නැවතත් පැවසුවාය.

“යනවා? කොහේද? ,,

සඳ පහන් එළිය මැද සිටගෙන සිටි කිසිවකු ඇසූ නමුත් ඒ අයියා ද නැතහොත් වගීෂ අයියා දැයි ඇයට සිතා ගත නොහැකි විය.

“මං කොළඹ යනවා.,,

“කොළඹ? මේ රෑ? පිස්සුද උඹට?,,

ඔසරි පොට ඇද ඉණෙහි ගසා ගත් ලෝචනා, ෆියෝනා සමීපයට පැමිණියාය.

“හිතුවක්කාරකම් කළා මදිවටද චූටි කුමාරි තවත් හිතුවක්කාරකම් කරන්නෙ? වැදගත් පවුලක හැදිච්චි ගෑනු ළමයෙක් මේ මහ රෑ තනිපංගලමෙ ඔච්චර දුරක් තනියෙන් යන්න?,,

“මං යන්නෙ තනියෙන් නෙමෙයි.,,

“තනියෙන් නෙමෙයි. බිස්කට් කම්පනි එකේ සහපිරිවරම ඇවිත් ඇති උඹව කැන්දන් යන්න.,,

ලොකු අක්කා පැවසුවේ ද්වේෂ සහගත සිනාවක් මුවගට නගා ගනිමිනි.

“අම්මගෙ මරණෙත් වහන් කරපු මිනිහා කවදා හරි උඹව මළත් කරන්නෙ ඒ දේම තමයි.,,

“ජීවත්ව ඉන්න කාලෙ කවුරුවත් නැත්නම් මරණෙන් පස්සෙ කාටවත් කිව්වත් එකයි. නැතත් එකයි. ,,

“උඹ නම් චූටි කුමාරි කවදාවත් හදන්න බෑ.,,

“මට හැදෙන්න ඕන කමකුත් නෑ. මං යනවා. කාටත් කියලා යන්නයි මං ආවෙ. ,,

“අම්මා මැරුණෙ උඹ නිසා. උඹ හිත රිද්දපු නිසා. නැත්නම් අම්මා තව අවුරුදු විසි පහක් තිහක් ජීවත් වෙනවා. ”

“ලොකූ ”

අයියා සැර කළේය.

“මොනවද මේ කියන කතා?”

“පිස්සු වැඩ නොකර කාමරයට ගිහින් නිදා ගන්න චූටි නංගි.”

ස්වේතා පැමිණ ෆියෝනාගේ අතෙහි වූ ගමන් බෑගය ඇද ගන්නට තැත් කළාය.

“බෑ. පරක්කු වෙනවා. ඔන්න මං කිව්වා හැමෝටම. මං යනවා. ”

ෆියෝනා පහත් වී දෑත් එකතු කළාය. කිසිවකු පවසන කිසිවකට සවන් නොදීම ඇය බෑගය ද රැගෙන නිවසෙන් පිටව පාර දෙසට දිව ආවාය. ඒවනවිටත් අසාර් සිය මෝටර් රථය නතර කරගෙන සිටියේය. ගමන් බෑගය පසුපස අසුනට දැමූ ෆියෝනා ඉදිරි දොර හැරගෙන අසාර් පසෙකින් හිඳ ගත්තාය.

“ඇයි මෙච්චර වෙලා ගියේ?”

අසාර් ඇසුවේ පිළිතුරක් බලාපොරොත්තු නොවූ ලෙසිනි.

“ටිකක් වෙලා ගියා.”

ඈතින් පෙනෙන විදුලි පහන් ආලෝකයෙන් බබළන නිවස දෙස අවසන් වරට හැරී බැලූ ෆියෝනා පැවසුවේ හැඬුම් හඬිනි. කිසිදිනෙක නොවූ අයුරින් අයියා, සහ අක්කලා පිළිබඳව ඇගේ සිත උපන් ශෝකය දරා සිටීමට නොහැකි වුවද, ඇය ආයාසයෙන් එය අසාර් කෙරෙන් වසන් කරගෙන සිටියාය.

“ඇයි? සල්ලි මුදල් බෙදන්න වෙලා ගියාද? නැත්නම් ඉඩකඩම් බෙදන්න වෙලා ගියාද?”

“අසාර්...”

ෆියෝනාට කෑගැසිණ.

“හිතුවක්කාර නොවුණා නම් මටත් ඔය කියන දේවල් ඔක්කොම අරගෙන එන්න තිබුණා.”

“මට කිසිම කෙනෙක්ගෙ දේවල් උවමනාවට කිව්වා නෙමෙයි. දන්නවද? මට හැම දෙයක්ම තියෙනවා? හෙට අනිද්දට චොක්ලට් ෆැක්ටරි එක පටන් ගත්තම මට වතුර ගලන්න වගේ සල්ලි ගලාගෙන ඒවි.”

“සතුටුයි.”

ෆියෝනා පැවසුවේ අප්‍රසාදයෙනි.

“සතුටු වෙන්න ඕන තමයි. කවුද තමුන්ගෙ පවුලෙ කෙනෙක් මං වගේ දැවැන්ත ව්‍යාපාරිකයෙක් බැඳලා ඉන්නෙ? අපේ ව්‍යාපාර ලංකාවෙ විතරක් නෙමෙයි. පිටරට වලත් හරිම ජනප්‍රියයි.”

“හ්ම්... ”

ඉන්පසු අසාර් කිසිවක් පැවසුවේ නැත. ෆියෝනා සුදු සඳ එළියත්, විදුලි පහන් එළියත් මිශ්‍ර වූ නගරබද දසුන් දෙස බලා සිටියේ එවන් දසුනක් කිසිකලෙක නොදුටු කලෙක මෙනි.

“ෆියෝනා...”

බොහෝ වේලාවකට පසු අසාර් කටහඬ අවදි කළේය. එවර ඔහුගේ කටහඬ මුදු විය. අසාර්ගේ කෝපය නිවී යන්නට ඇතැයි ඇයට සිතිණ.

“ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ?”

“ඒ කිව්වෙ?”

“මං කිව්වෙ ඔයාලගෙ ගෙදර ඔය මැරුණයි කියන කෙනා ගැන.”

“මැරුණයි කියන කෙනා මං අඳුනන්නෙ නැති කෙනෙක් නෙමෙයි. ඒ මගේ අම්මා. අවුරුදු විසිගාණක් මාව හදපු වඩපු අම්මා අසාර්. ඔය විදියට කතා කරන්න එපා.”

අසාර් හඬ නගා සිනාසුණේය. ෆියෝනා නොඉවසිල්ලෙන් එම සිනා හඬ අසා සිටියාය.

ලබන සතියට

Comments