තාත්තා වගේ වීමේ අව­ශ්‍ය­තා­වක් මට නැහැ | සිළුමිණ

තාත්තා වගේ වීමේ අව­ශ්‍ය­තා­වක් මට නැහැ

සංගීත කේෂත්‍රයේ මේ වනවිටත් ‍ස්ථාවර ලකුණක් බවට පත්ව සිටින ඔහු පිළිබඳ කියන්නට පෙර ඔහුගේ පියා පිළිබඳ යම් සටහනක් තැබීම ද සුදුසු යැයි කියා සිතමි. දශක කිහිපයක් තිස්සේ තමන් ආ ගමන් මඟේ නොමැකෙන සටහනක් තැබූ මෙරට සුභාවිත ගීත කේෂත්‍රයට මහත් මෙහෙවරක් කළ ඔහු රෝහණ වීරසිංහයන් ය. ඔහුගේ ගී තනු නිර්මාණයන් ගෙන් හැඩ වූ ගී අපමණය. චිත්‍රපට සංගීතය මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂි චරිතයකි. රෝහණ වීරසිංහයන් නම් වූ අපූරු සංගීතවේදියා ‍කළිඳු වීරසිංහ නම් වූ නව පරපුරේ සංගීතවේදියාගේ පියාවන්නේය.

කළිඳු පිළිබඳ අපට මුලින්ම කීවේ සම්මානනීය ගේය පද රචකයකු වන කුලරත්න ආරියවංශයන්ය. ‍

ලබන 13 දා කොළඹ පදනම් ආයතනයේදී මේ තරුණ සංගීතවේදියා විසින් සංගීතවත් කළ තනු නිර්මාණය කළ ගී පද රැසක් අඩංගු ' තාරකා මල්' නම් සී.ඩී තැටිය එළිදැක්වෙන්නේය. මේ කතාබහ ඒ වෙනුවෙනි.

“මේ සිහින හරි පුදුමයි

බිඳ වැටි වැටී උපදින හැටි

සඳ තරු කියා සරසන හැටි

මේ සිහින හරි පුදුමයි...”

නිතර දෙවෙලේ ගුවන් විදුලියෙන් ඇසෙන එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ ඕනෑම වෙලාවක අැසිය හැකි කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන මේ ගීතය රචනා කර ඇත්තේ ගේය පද රචක රවි සිරිවර්ධනය. එහි සංගීත හා තනු නිර්මාණය අද අප කතානායකයා වන කළිඳු විරසිංහගෙනි. ඔහු සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ ඒ ගැන තිබූ බලවත් ආශාව හේතුවෙනි. කොළඹ අශෝක කණිෂ්ට විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ කළිඳු වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. උස්ස පෙළට වානිජ විෂය ක්ෂේත්‍රයෙන් අධ්‍යාපනය ලබන කළිඳු සංගීත ක්ෂේත්‍රයට යොමු වන්නේ ඒ පිළිබඳ තිබූ බලවත් ඇල්ම මතය. තමන් ආ මඟ පිළිබඳ කතා කරන කළිඳු.

“ අපේ ගෙදර තිබුණේ සංගීත පරිසරයක්. නිතර සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ අය එනවා යනවා. තාත්තා පද මාලාවන්ට සංගීතය නිර්මාණය කරනවා. තාත්තගෙ යාළුවෝ තාත්තා ඒවා ගායනා කරනවා. මේ දේවල් දුටුවම පුංචි කාලෙ ඉඳලම මගෙ හිතේ සංගීතය ගැන ඇල්මක් ඇති වුණා. මම සංගීතය ඉගෙන ගත්තේ ලෙස්ලි විජේරත්න හා ධම්මිකා කරුණාරත්න යන ගුරුවරුන්ගෙන්. මම හිතනවා මගේ ජාන වල සංගීතයට හැකියාව ඇල්ම තිබෙන්න ඇති කියලා. ඒනිසයි නිරායාසයෙන්ම මම ඊට යොමු වෙන්න ඇත්තේ. මම හැම විටම සංගීතය රසවින්දා . ඒ ගැන හැදෑරුවා.”

කළිඳු සංගීතය හැදෑරුවද ඔහු තම අධ්‍යාපන කටයුතු අඩාල කර නොගත්තේය. ඔහු ඔස්ට්‍රේලියාවේදී වැඩිදුර අධ්‍යාපනය ලද්දේය. අවසානයේ එහිම රැකියාව කරන්නට වුයේය. නමුදු සංගීතයට තිබු ඇල්ම කිසිසේත්ම යටපත් නොවූයේය. ඒ ආසාව නිසාම ඔහු ගීත රැසකට සංගීත නිර්මාණය කරන්නේය. ඒ ගී රසිකයෝ ආදරයෙන් වැළඳ ගත්හ. ඒ ගී අතරින් රසික ප්‍රතිචාර ලබන තවත් ගීතයකි මේ. ගී පද රචකයා වන්නේ රවි සිරිවර්ධනය. ගයන්නේ සුනිල් එදිරිසිංහයන් ය.

“මගෙන් වෙන්වී යන්න පළමුව

වරද මට පවසන්න සොඳුරිය

ලොවම වැට ළඟ ඉඳී විමසිල්ලෙන්

වැරදිකරු වෙමි මං

ඔබ යන්න සැනසිල්ලේ..”

ඔහුගේ තනු නිර්මාණ හරි අපූරුය. මේ තනු නිර්මාණ සිය පියාගේම අඩිපාරේ යන්නට ගමන් අරඹන්නක්ද? එසේ ඇසු විට කළිඳු දුන්නේ මෙවැනි පිළිතුරක්.

“ම‍‍ට කොයිම වෙලාවකවත් තාත්තා වගේ වීමේ අවශ්‍යතාවක් තිබුණේ නැහැ. මට ඕන වුණේ මගේම විදියේ ගමනක් යන්න. මට ඕන වුණේ වෙනස්ම විදියේ දෙයක් කරන්නට. මම රාගධාරී සංගීතය වගේම බයිලා කපිරිඤ්ඤා.... ආදි හැම සංගීතයක්ම අහනවා. ඒවා රස විඳිනවා. ජන සංගීතය පිළිබඳ සොයනවා. දැන් සමහරු බනිනවානේ රැල්ලට ගිය සංගීතයක් අද තියෙනවා කියලා. මම ඒවත් අහනවා. මේ හැම දේම අහලා බලලා මම අවසානයට කරන්නේ මට කැමැති මට හොඳයි කියලා හිතෙන දේ. අපි නරකයි කියන දේ අතර හොඳ දේ තිබෙනවා. දක්ෂ ළමයි අද ඉන්නවා. මේ අයව හොඳ පැත්තකට යොමු කිරීමයි අවශ්‍ය වෙන්නේ.”

කළිඳු පවසන්නේ ඔහු අද සමාජය දෙස බලා තීරණය කර ඇති දේය. ඔහු හොඳ නිර්මාණකරුවන් අගය කරන්නේය. එමෙන්ම ඔහුද හොඳ නිර්මාණ කිරීමට උත්සාහ දරන්නේය. ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිමින් එහිම රැකියාවක් කරමින් සිටින ඔහු තම සංගීත දිවිය ඔපවත් කර ගැනීමට ද කාලය මිඩංගු කරන්නේ. කළිඳුගේ මේ කැපවීමේ ප්‍රතිඵලය වන්නේ ‘තාරකා මල්, සී.ඩී තැටියයි. තාරකා මල් එළිදැක්වීමේ දා ඒ ගීත ඇසීමට ද රසිකයන්ට ඉඩ ලැබෙන්නේය.

“දැන් නම් හැමෝම කියන්නේ සී ඩී තැටි කිරීම තේරුමක් නැති බවයි. ඕනෑම ගීතයක් අහන්න රස විඳින්න පුළුවන්. නමුත් මම මේ දේ කරන්නේ මගේ තෘප්තිය සඳහා. මම ආදරයෙන් කරපු ගීත තමයි ‍තාරකා මල් වල ඇතුළත් වන්නේ.මේ සී.ඩී. තැටිය සඳහා ගීත දාසයක් ඇතුළත් වෙනවා. ” කළිඳු පවසන්නේය.

කළිඳුගේ බිරිය චලනි වීරසිංහ වෛද්‍යවරියකි . ඔහුට දියණියක හා පුතකු සිටී. පවුලෙන් ඔහුට ලැබෙන නිදහස මේ නිර්මාණ එළිදැක්වීමට ‍මෙන්ම නිර්මාණකරණයේ යෙදීමට හොඳ වට පිටාවක් සකස්කර දෙන බව ඔහු පවසන්නේ සතුටෙනි.

Comments