කවු­රුත් කතා කරන දැන්වී­මක්. | සිළුමිණ

කවු­රුත් කතා කරන දැන්වී­මක්.

ඔබගේ වටිනා මෝටර් රථය නවතා ගිය තැන නොමැති විට ඔබට කුමක් සිතේවි ද? ඔබේ දුවා දරුවන් කවුරුන් හෝ පැහැරගෙන ගිය විට ඔබට කුමක් සිතේවි ද? ඔබ පණමෙන් ආදරය කරන පෙම්වතා පෙම්වතිය බොරුවක් කියූ විට ඔබට කුමක් සිතේ ද? තමන්ගේ සේවකයන් බොරු කරනා විට ඔබට කුමක් සිතේවි ද? ජීවිතයේ සිදුවන මෙවැනි අනාරක්ෂිත සිදුවීම් වලකා සුරක්ෂා කර ගන්නට හැකි නම් එය ඔබට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානයි. මෙවැනි අවස්ථාවක පිහිටට එන ජංගම දුරකතන තාක්ෂණය පිළිබඳ අපූරු දැන්වීම් පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙන්ම රූපවාහිනී නාළිකාවලත් දැකිය හැකිය.

කවුරුත් කතා කරන දැන්වීම් පෙළක එක් දැන්වීමක් ලෙස අප නෙතු ගැටෙන්නේ නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණ එය නවතා යම් කාර්යයක් සඳහා පිටව යන කඩවසම් තරුණයෙකි. ඔහු තම කාර්යය ඉටු කර නැවත පැමිණෙන විට ඔහුට දකින්නට ලැබෙන්නේ හීනෙන්වත් නොසිතුව දෙයකි. 'අයියෝ මගෙ කාර් එක' ඔලුවේ අත් ගසා ගනිමින් පොළොවේ පස් කමින් ඔහු වැළැපෙන්නට පටන් ගනියි. මොහොතකින් ඔහුට වට පිටාවෙන් හඬක් ඇසෙයි.

'ඔබගේ රථවාහන හා සමීපතමයන් තවමත් අනාරක්ෂිතද? විසඳුම අපෙන්' ඒත් සමඟම තරුණයා ඒ හඬ ගැන විමසිලිමත් වෙයි. දුරකතන සමාගමක් හඳුන්වාදෙන නවතම තාක්ෂණික උපාංගයක් පිළිබඳ විස්තර පැවසෙන අතර අදාළ දුරකතන සමාගම හඳුන්වා දෙන තාක්ෂණය ඔස්සේ යමින් තරුණයාගේ මෝටර් රථය ‍සොයාගන්නට පොලීසියට හැකිවේ. තම මෝටර් රථය නිරුපද්‍රිතව දැකීමෙන් තරුණයා උද්දාමයට පත්වේ. මේ එක් දැන්වීමකි.

මාතුපාල කාර්යාල සේවකයෙකි. ප්‍රධානියා ඔහුව යම් කාර්යයක් සඳහා පිටත් කර යවයි. මේ අතර කාර්යාලයේ කාර්ය සහායකයා පැමිණ ප්‍රධානියාට පවසන්නේ, මාතුපාල වැඩ කරනවා දැයි සැක සහිත බවයි. මෙයින් කෝප වන ප්‍රධානියා 'මට ඔක්කොම හොයන්න පුළුවන්දැයි' පොළොවේ අඩි හප්පයි. මෙවිටම 'ඔබගේ රථවාහන හා සමීපතමයන් තවමත් අනාරක්ෂිතද? විසඳුම අපෙන්' යන හඬ ඇසෙයි. පසුව කැමරා කෝණයට හසු වනනේ මාතුපාල දහඩිය පෙරමින් වැඩ කරන හැටි තම ජංගම දුරකතන තාක්ෂණයෙන් නරඹමින් සතුටින් නටන ආයතන ප්‍රධානියායි.

මෙවැනි නිර්මාණාත්මක දැන්වීම් පෙළක නිර්මාණාත්මක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ නව පරපුරේ අධ්‍යක්ෂවරයකු වන හර්ෂ උඩකන්දයි. ඔහු මෙම දැන්වීම් පෙළෙහි නිර්මාණාත්මක පසුබිම ගැන කතාබහ කළේ මෙලෙසයි.

'මගේ ක්ලයන්ට් ගේ අවශ්‍යතාවය මත මේ දැන්විම් පෙළ විවිධ ලෙස නිර්මාණය කරන්නට මට හැකිවෙනවා. ඒ වාහනයක් සොරා ගැනීම, ඉන්පසු බොරු කියන පෙම්වතා හසු කර ගැනීම, දරුවෙකු පැහැරගෙන ගිය විට දරුවා සොයා ගැනීම, තම සේවකයා වැඩ කරනවාදැයි සොයා ගැනීම ලෙස විවිධ සිදුවීම් යටතේ 'ඔබගේ රථවාහන හා සමීපතමයන් තවමත් අනාරක්ෂිතද? විසඳුම අපෙන්' යන තේමාව මුල් කරගෙනයි මේ දැන්වීම් පෙළ නිර්මාණය වුණේ. මේ දැන්වීම් පෙළ නිර්මාණය වෙන්නේ මට කරන ලද ආරාධනාවකට අනුවයි. තමන්ගේ ව්‍යාපාරයේ වේවා, සමීපතමයන්ගේ වේවා , මෝටර් රථයේ වේවා මේ සියල්ල තමන්ගේ ජංගම දුරකතන තාක්ෂණය ඔස්සේ ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක පාරිභෝගිකයන්ට පෙන්වා දෙන එක තමයි මගේ ක්ලයන්ට් ගේ අරමුණ වුණේ. තමන්ගේ සමීපතමයන් , සේවකයන් ලංකාවේ කොහේ හිටියත් ඒ ඉන්න තැන කොතැනද කියලා SMS මඟින් දැන ගන්න පුළුවන්. ස්මාර්ට් දුරකතනයක් නම් මැප් එක ඔස්සේ එය සොයා ගන්නට පුළුවන්. මේ දැන්වීම් ඔස්සේ මට ක්ලයන්ට් ගේ අවශ්‍යතාවය ඉටු කරන්නට හැකි වුණා. අද වන විට මේ දැන්වීම්වලට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. දැනටමත් ෆේස්බුක් ඔස්සේ ලක්ෂ හැටකට වැඩි පිරිසක් මේ දැන්වීම් පෙළ නරඹලා තිබෙනවා. ඒ වගේම මේ දැන්වීම් පෙළෙහි විශේෂත්වයක් තිබෙනවා. ඒ තමයි හුඟක් දැන්වීම් රූපවාහිනිය මුල් කරගෙන නිර්මාණය කරනවිට මේ දැන්වීම් පෙළ social media මුල් කරගෙන නිර්මාණය වීම. රූපවාහිනයට වගේම social mediaවලටත් ගැලපෙන අයුරින් තමයි මෙය නිර්මාණය වුණේ. මෙයට ලක්මිණී ඒජන්සීස් ප්‍රධානී සඳුන් දෙළෙමුල්ල නිෂ්පාදනයෙන් දායක වුණා.

මේ දැන්වීම් සියල්ලෙහිම පිටපත් රචනා වුණේ මගේ අතින්. ඒ වගේම මෙහි චරිත සඳහා පිටපතේ චරිතවලට ගැලපෙන අයුරින් චරිත තෝරා ගන්නට මගේ ක්ලයන්ට් ගෙන් උපරිම නිදහසක් වගේම සහයෝගයක් මට ලැබුණා. ලංකාවේ විවිධ ප්‍රදේශ මේ දැන්වීම් රූගත කිරීමට අපි යොදා ගත්තා. කුමාර වඳුරැස්ස, නිපුන් සංජීව, රුක්ෂානා දිසානායක, ගයාන් කාංචන, ලිලිත් කල්දේරා, ජගත් ඇපලදෙණිය, ඉමාෂා ලියනගේ දායක වුණා. කැමරාකරණයෙන් මහේෂ් කරුණාරත්න, සංගීතයෙන් නිරෝෂන් ඩ්‍රීම්ස්, වේෂ නිරූපණයෙන් ධනුෂ්ක හුලංගමුව දායක වුණා. 

 

Comments