
අලුත් වසරක් උදාවෙලා හරියටම අදට සතියයි. පරණ වසරේ අන්තිම දවසෙ ඉඳලා අලුත් වසර උදාවුණු මැදියම් රෑ වනතුරුත් , තවමත්, ජංගම දුරකථන ඔස්සේ, අන්තර්ජාලයේ, මුහුණුපොත ඔස්සේ හුවමාරුවන නව අවුරුදු සුබපැතුම් කන්දරාව ඉන්ද්‍රචාපගේ සමීපරූපයට හසුවෙනවා. නොයෙක් වර්ගයේ සුබපැතුම් ඒ අතර තිබුණු බව ඉන්ද්‍රචාප සමීපරූප තුළින් දකිනවා.ඇතැම් වෙලාවක නොවේ, බොහෝ වෙලාවක මේ සුබපැතුම් මහා විසාල කරදරයක් වුණු බව තමයි බොහෝ දෙනාගෙ අත්දැකීම.
ඉන්ද්‍රචාපගෙ අත්දැකීම වුණත් එහෙමයි. මෙදා සැරේ අලුත්ම සුබපැතුම සමීපරූපයට එකතුවුණේ ඔර්ලෝසුවක් විදියට. වදයක් වුණු තරමට ඔරලෝසු හුවමාරු වුණා සුබපැතුම් එක්ක. ඉන්ද්‍රචාපට අද ඒ එකම සුබපැතුමක්වත් ඔර්ලෝසුවක්වත් මතක නෑ. ඒකෙන්ම පේන්නෙ මේ සුබපැතුම් තරමක ව්‍යාජ හිත රවටගන්න හුවමාරු වන දේවල් දේ බවයි. සුබපැතුම් කන්දරාව සමීප රූප අතරෙ ඔහේ තියෙන්න ඉඩ ඇරල ඉන්ද්‍රචාප කල්පනා කරන්නෙ අලුතින් උදාවුණා කියල කියන 2018 අවුරුද්දෙ මොනවද වෙන්න ඕන, මොනවද අපි කරන්න ඕන කියල ටිකක් හිතන්න ඕන කියන එකයි.
දේශපාලනය වගේ බරපතල, මතභේදකාරී විෂයයක් ගැන සමීප රූප අතරින් දකිනවට වඩා 2018 අලුත් අවුරුද්දෙ සාහිත්‍යය, කලාව, සිනමාව,වේදිකාව, සංගීතය, රූපවාහිනී නිර්මාණ, ජනමාධ්‍යය, සමාජ මාධ්‍ය ජාලා හැසිරීම වගේ අපට සමීප විෂය ගැන දකින එකේ තේරුමක් ඉන්ද්‍රචාප දකිනවා. මේ ක්ෂේත්‍ර බොහොමයක අලුත් අවුරුද්දෙ අලුත් නිර්මාණ ප්‍රවේශ දකින්න ලැබේවා කියල තමයි ඉන්ද්‍රචාප පතන්නෙ.ඉන්ද්‍රචාප ඇයි එහෙම හිතන්නෙ?ඇයි එහෙම පතන්නෙ? එක වැදගත් හේතුවක් විදියට ඉන්ද්‍රචාප දකින්නෙ අපේ නිර්මාණකරුවන් බහුතරයකගෙ වාර්ෂික ඉලක්කය වෙන්නෙ මොකක් හෝ සම්මානයක් දිනාගැනීම බව පෙනෙන නිසා. ඒ වගේ අරමුණු ඔලුවෙ තියාගෙන නිර්මාණකරණයට එන කෙනකුගෙන් සැබෑ නිර්මාණශීලී ගුණයෙන් යුත් නිර්මාණයක් බිහිවේය කියා හිතන එක තරමක් අසීරු කල්පනාවක්.
වේදිකා නාට්‍යය වේවා සිනමාව, රූපවාහිනී නාට්‍යය වේවා මේ කුමන ක්ෂේත්‍රයක නිර්මාණ කාර්යයක දී හෝ වේවා නිර්මාණකරුවාගේ ආධ්‍යාශය විය යුත්තේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟ,අවංක කලාත්මක නිර්මාණයක් විනා දහසින් බැඳි පියලි නොව ලක්ෂයෙන් හෝ දස ලක්ෂයෙන් බැඳි පියලි සිත්හි දරාගෙන නිර්මාණ කිරීම නොවේ. නිර්මාණයම මුල් කොට ගෙන ඊට අවංකව ප්‍රවේශවෙමින් නිර්මාණකරණයෙහි නිරත සැබෑ කලාකරුවන් ඉන්ද්‍රචාප පෙර සඳහන් කළ සෑම ක්ෂේත්‍රයකම සිටින බවත් සමීපරූප අතරේ දකින්නට ලැබෙනවා.
අත්හදා බැලීම් ස්වරූපයේ නිර්මාණ ආකෘතී තෝරාගැනීමට නිර්භීතවීම, යල් පැනගිය සාම්ප්‍රදායික නිර්මාණුභූතීන් වෙනුවට ජීවිතයට වඩාත් සමීප, ජීවිතය පිළිබිඹු කෙරෙන හෘද සංවේදී අත්දැකීම් තම නිර්මාණ සඳහා පාදක කරගැනීමෙන් මේ සඳහා පිවිසෙන්නට හැකි බවයි ඉන්ද්‍රචාපගේ විශ්වාසය.අලුත් අවුරුද්දේ අලුත් නිර්මාණ අතර, සම්මාන පොරය සිත්හි දරා නොගෙන බිහි කරනු ලබන නිර්මාණ බෝ වේවායි යන්න ඉන්ද්‍රචාපගේ 2018 සුබ පැතුමයි. මතකයෙන් ඈත්වී යන ව්‍යාජ සුබපැතුමක් හෝ ඔරලෝසුවකට වඩා එවැන්නක් අර්ථවත් ය කියා ඉන්ද්‍රචාප සිතනවා.