
මෙරට සාහිත්‍යය, සිනමාව, ගීතය මෙන්ම විවිධ කලාවන් ඔස්සේ සිය දැනුම ප්‍රචලිත කරමින් තමන්ට ම වූ අනන්‍යතාවක් ගොඩනඟා ගත් මහාචාර්යවරයකු ලෙස සුනිල් ආරියරත්නයන් හඳුන්වා දිය හැකිය. මෙවර සත්මඬල විමර්ශන විශේෂ අතිරේකයට ගරු මර්සලීන් ජයකොඩි පියතුමන් ගැන සිය මතවාදය හා ගෞරවය පළ කරන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ය. සිංහල මෙන්ම ක්‍රිස්තියානි සාහිත්‍යයට, ගීතයට, ගී තනුවට මර්සලින් ජයකොඩි පියතුමන් තරම් මහඟු සේවක් කළ පියනමක් නොමැති බව සුනිල් ආරියරත්නයන් මෙහිදී අවධාරණය කරයි.
සිංහල, ක්‍රිස්තියානි සාහිත්‍යයේ පහළ වූ විශිෂ්ටතම කවියා, සාහිත්‍යධරයා ලෙසයි මා ජයකොඩි පියතුමන් ව දකින්නේ. සිංහල සාහිත්‍යය කියන්නෙ බෞද්ධ සාහිත්‍යයක්. ක්‍රිස්තු පූර්ව ව සිට ශිලා ලිපි රචිත අවදියේ ඉඳලා සිංහල භාෂාව හැඩ ගැසුණේ බුද්ධ ධර්මය ගැන, බුදු රජාණන් වහන්සේ ගැන කියන්නයි. කවියන්ට නීතියක් පවා පනවා තිබුණා පෙදෙන් බුදු සිරිත, ඒ කියන්නේ කවි ලියනව නම් බුදු චරිතය හැර වෙන දෙයක් ලියන්න තහනම් කියලා. නීතිය ඒ වුණත් ගද්‍යයෙන් පවා රචනා වුණේ බුදු සිරිත හෝ බෝසත් සිරිත මතයි. මේ තත්ත්වය වෙනස් වුණේ 17 වන සියවසේ. 1505 දී පෘතුගීසීන් ලංකාවට පැමිණීමත් සමඟ රෝමානු කතෝලික ආගම මෙරට ප්‍රචලිත වුණා. මුල් වරට බෞද්ධ කවියෙක් ක්‍රිස්තියානි ආගම වැලඳගෙන ක්‍රිස්තුන් වහන්සේට වන්දනා මාන කිරිම සඳහා කවි රචනා කළා. ඒ අලගියවන්න මුකවැටිතුමා. කිතුසමය වැලඳ ගත් ඔහු කුන්ස්තන්තීනූ හටන නැමැති හටන් කාව්‍යයේ සිංහල භාෂාවෙන් ක්‍රිස්තුන් වහන්සේ නමදිනවා.
සව් ලෙව් සක් මුඳුන්
සිය සිරි පා කමල දුන්
මෙත් ගුණ පිරි නඳුන්
වදින් ජෙසුස් ක්‍රිස්තු සුරිඳුන්
එසේ වුවත් සිංහල ක්‍රිස්තියානි සාහිත්‍යයට ප්‍රබල පදනමක් දමන්නේ ලන්දේසි සමයේ හොර රහසේ මෙරට ට පැමිණෙන රෝමානු කතෝලික පූජකවරයකු වූ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමන් විසින්. ඔහු පැමිණෙන විට මෙරට ක්‍රිස්තියානි ගීතිකා ගායනා වුණේ ලතින් භාෂාවෙන් සහ පෘතුගීසි භාෂාවෙන්. ගොන්සාල්ස්වේස් පියතුමා බෞද්ධ භික්ෂූන්ගෙන් සිංහල භාෂාවත්, දෙමළ පඬිවරුන්ගෙන් දෙමළ භාෂාවත් ඉගෙන ගෙන සිංහලෙන් සහ දෙමළෙන් ආගම් ප්‍රචාරය සඳහා පොත් රාශියක් බිහි කළා. ඒ අතුරින් විශේෂිත කෘතියක් වන්නේ වේද කාව්‍යය. ඊට හේතුව බුදු සිරිත ලියන්නට සකස් කරගත් පද්‍ය භාෂාවෙන් ඔහු මෙහිදි කිතුසිරිත කවියට නඟා තිබීමයි. ආගම් ප්‍රචාරය සඳහා රචනා කළත් ගොන්සාල්්වේස් පියනම තුළ තිබූ කවිත්වය ඔහුගේ වේ ද කාව්‍යය, දේශනා 09 පසන් පොත, ආනන්ද කලිප්පුව වැනි පොත්වල දැකිය හැකියි. මා කල්පනා කරන්නේ ජයකොඩි පියතුමාගේ රචනා කලාවට සෘජුව ම බලපෑ පුද්ගයා ගොන්සාල්්වේස් පියතුමා බවයි. ගොන්සාල්්වේස් පියනමගේ ඇවෑමෙන් ඔහු ක්‍රිස්තියානි ශාසනයේ ඇති කළ ක්‍රිස්තියානි සම්ප්‍රදාය අභාවයට ගියා. කීප දෙනකුම සිංහල, ක්‍රිස්තියානි ගීතිකා රචනා කළත් ක්‍රිස්තියානි සාසනයේ ප්‍රබල වෙනසක් කරන්නට ශක්තියක් ඒ ක්‍රිස්තියානි ලේඛකයන් තුළ නොතිබුණ බවයි මගේ පෞද්ගලික හැගීම. මේ අභාවයට යන සිංහල සම්ප්‍රදාය දැක මහත් වේදනාවට පත් ජයකොඩි පියනම ගීතිකා රචනයට පොලඹවන්න ඇතැයි මා සිතනවා. ඔහු මුල්ම ගීතිකාව රචනා කරන්නේ 1934 දී. ඔහු ලියූ
"සපිරි සෑම අසිරි සෝම
මව් මරියේ මපණ වැනි"
මෙයින් ආරම්භ කළ ඔහුගේ ගීත කලාව දේවස්ථාන තුළ ගැයෙන කන්තාරු, නත්තල් සමයේ ගැයෙන කැරොල්, පාස්කු සමයේ ගැයෙන පසම් ආදී විවිධ සාහිත්‍ය කරා විහිදි ගියා. ඔහුට ක්‍රිස්තියානි සාහිත්‍යයේ විශිෂ්ටයකු වීමට හැකි වූයේ ඔහු කොළඹ යුගයේ කැපී පෙනෙන කවියකු වූ නිසයි. ඔහුගේ ඒ කවිත්වය මුතු පොට වැනි කවි පොත්වලින් දැකිය හැකියි. ඔහුගේ පද මාලා සරලයි, සුගමයි, අභිනව කාව්‍යවත්වලින් ගහනයි. ඒ සියල්ලට ම වඩා වැදගත් වන්නේ ඔහු ක්‍රිස්තුන්වහන්සේ, මරිය මව්තුමිය මෙන්ම ක්‍රිස්තියානු ධර්මය දේශානුගත කිරීමට ගත් වෑයමයි. ඒවා කතෝලිකත්වය සමතුලිතකරණය කරමින් පොදු සංගීත රසිකයාට විඳගන්ට හැකි පද මාලා සහ ගී තනු නිර්මාණ වීම විශේෂයි. මේ ගීතය ඊට කදිම නිදසුනක්
රොනට වඩින බිඟු ඔබයි
කැකුළු මල මමයි
මලට සුවඳ ටික ඔබයි
සිඟිති මල මමයි ජේසූ දෙවියනේ....
දේව මෑණියන් ගැන ඔහු මෙසේ ලියනවා.
නෙළුම් පිපීලා පෙති විසිරිලා
ජලය සුවඳ වෙන්නා
මමත් මලක් නම් පිපී සුවඳ දී
ඔබ ළග පරවෙන්නා
ඔහු ක්‍රිස්තුන් වහන්සේ, මරිය මවුන් දෙස මුනිවරුන් දෙස බැලුවේ ලාංකික ඇසකින්.
මැණික් ගගේ අපි මැණික් ගරාලා
වලවේ කළු ගංගා
ඔටුණු සදාළා හිස පළදාලා
සමනළ ගිරි ඔබේ රුව නංවා
හෙළ දිව රැජිනය ඔබව කරාලා
ලක තැනැ තැන ඔබේ ධජ නංවලා
මරිය කුමාරිය සිරිපිරි නාරිය
පුදමු අපේ රැජිනිය තුංගා.
මරිය මව් තුමියව දකින්නේ හෙළදිව රැජිනිය ලෙසයි. ඔහු ඇය සමනළ ගිරි සේ සිට කැටුව යනවා. ඇයට පළඳින කිරුළ තනන්නේ මැණික්, වලවේ, කළු ගංගා ආශ්‍රිත ඇති මැණික් වලින්. සෑම නත්තල් කාලයක් පැමිණෙන විට ජයකොඩි පියතුමාගේ රූ තරු බැබළෙනවා ගීතය දසතින් ඇහෙන්න ගන්නවා. මේ ගීතය අවුරුදු 83 ක් පැරණි නමුත් හැම මාසයක ම ඇහෙන්නේ අලුත් ගීතයක් ලෙසයි. නත්තල් සමයේ දී මේ ගීතය සිංහල බෞද්ධයනුත් ගායනා කරනවා. ඒ අනුව ඔහු නත්තලට දේශියත්වය ආරෝපණය කරන හැටි හරි අපූරුයි.
වරෙන් වරෙන් නත්තලේ
වරෙන් නත්තලේ
බුලත් හුරුල්ලකුත් අරන්
වැඳ පුදන්න දෙමාපියන්
වරෙන් නත්තලේ
ජයෙකාඩි පියතුමා වාමාංශික අදහස් දැරූ පියනමක්. ඒ නිසා ඔහුගේ ප්‍රගතිශීලි දෘෂ්ටිය ඔහුගේ රචනාවලිනුත් අනාවරණය වුණා. මේ එක් අවස්ථාවක්
මඩබිම මල් බිම කරවන ගොවියට
මල් පූජා වේවා
දිනට වරක්වත් ළිප මොළවන්නට
පැළට කලක් ඒවා
නත්තල ගැන කියවෙන මේ කවියත් ඔහුගේ ප්‍රගතිශීලි චින්තනයට ගැන අවබෝධ කර ගත හැකියි.
මගෙ නත්තල දුගියා බත් කනදාය
මගෙ නත්තල වැරහැලි නැති වූ දාය
මගෙ නත්තල ඔබෙ දුක සැනසෙනදාය
මගෙ නත්තල පව පල්ලියේ යන දාය
ජයකොඩි පියතුමන් ලියු එවැනි අදහස් ක්‍රිස්තියානු ආගමට බොහෝ බලපෑමක් කළ බවයි මගේ අදහස. අද කිතුනු බැතිමතුන් තුළ දක්නට ලැබෙන්නේ සාටෝපවත්, සාඩම්බර, ආත්මාර්ථකාමී නත්තලක් නොවේ. අද නත්තල දුගියා බත්කන දවසක් බවටත් පෙරළී තියෙනවා.
කවිත්වය අතින් ජයකොඩි පියනම ගොන්සල්්වේස් පියනමට යම් සමානත්වයක් පෙන්නුවත් ආගමික අදහස් අතින් ගොන්සාල්්වේස් පියනමට වඩා හාත්පසින් වෙනස් පියනමක්, ගොන්සාල්්වේස් පියනම උග්‍ර බෞද්ධ වීරෝධියෙක්. ඔහු බෞද්ධ විරෝධි පොත් පත් කිහිපයක් ම ලියලා තියෙනවා. ජයකොඩි පියතුමා ලක් වැසියන්ගේ සාමහික සහජීවනය හදවතින්ම ප්‍රාර්ථනා කරපු පියනමක්. මේ කවිය ඊට හොඳ නිදසුනක්
ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්
වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්
ඉන් එන පණිවුඩය නුවනට දැනීයන්
දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්
කොයි කොයි හංවඩු ඇති වූව ආගමේ තියා
කොයි පණිවුඩය තිබුණත් බයිබලයේ ලියා
ආදරයයි ආගම යනු සිතේ තියා
මල් ගෙන පුදමු ඒ ආගම ලොවේ සොයා...
ඇත්තෙන් ම ඔහු මේ රටේ හැදින්වූයේ පන්සලේ පියතුමා ලෙසයි.
බොහෝ ක්‍රිස්තියානි පියවරුන් සහ ක්‍රිස්තියානි ලේඛකයන් ජයකොඩි පියතුමාගේ ඇවෑමෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයට පිවිසුණා. කවි නිර්මාණය කළා, තනු නිර්මාණය කළා. එහෙත් ඒ කිසිවකුට ජයකොඩි පියතුමා සමතික්‍රමණය කරන්න නොහැකි වුණේ ඔහු තුළ තිබූ කවිත්වය ඔහුගේ අනුප්‍රාත්තිකයන් තුළ නොතිබුණ නිසා යැයි මා සිතනවා. ඔහු තුළ තිබූ මිහිරි කවි නිර්මාණය කිරීමේ හැකියාව ඒ කවිත්වය ඔප් නැංවුණා. ඇතැම් විට ඔහුගේ මිහිරි තනු නිර්මාණ නොවෙන්නට රෑ තරු බබළනවා, නෙළුම් පිපීලා පෙති විසිරීලා, ජීවිතයට ජීවිතය ම ජිවිතයම වී, රොනට වඩින බිඟු ඔබයි වැනි ගීත මේ තරම් ජනප්‍රිය නොවන්නට ඉඩ තිබුණා. ජයකොඩි පියනම ක්‍රිස්තියානි සාහිත්‍යයට කළ සේවයට අමතරව පොදුවේ ගීත කලාවට කළ මෙහෙය වෙනම ම සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. 1956 රේඛාව චිත්‍රපටය, චිත්‍රපටයෙන් වෙනස් වුණේ සිනමාව පමණක් නෙවෙයි සිංහල ගීත රචනා කලාවත් වෙනස් වුණා. රේඛාවේ සුදු සඳ එළියේ මනනල මත පොපියන, ඔලු නෙළුම් නෙරිය රඟාලා, සීගිරි ළඳකගේ මල් වට්ටිය ලා පොඩි පුතු නළවන්නම්, වෙසක් කැකුළු ආදී ගීත ආදිය 1947 සිට මේ දක්වා රචනා වූ සිංහල ගීත කලාව උඩුයටිකුරු කිරීමක් ලෙස දැකිය හැකියි. ජයකොඩි පියතුමාට රැමොන් මැග්සේසෙ සම්මානය හිමිවීම ඔහු විසින් සිදුකරන ලද්දා වූ විශිෂ්ට සාහිත්‍ය මෙහෙවරට පිදූ අගනා තිළිණයක් ලෙසයි මා දකින්නේ.