මුරලිට හොරා කියා දශක දෙකකින් හොරකු වූ හෙයාර් | Page 13 | සිළුමිණ

මුරලිට හොරා කියා දශක දෙකකින් හොරකු වූ හෙයාර්

 අද පොඩි එකා හෙට යෝධයෙකු වන්නට ඉඩ තිබේ. දෛවය ඒ ආකාරය. එහෙයින් අද පොඩි එකාටත් ගෞරවාන්විතව සැලකීමට පුරුදු විය යුතුය. යමක් සම්බන්ධයෙන් පූර්ව නිගමනවල නොසිට එය විසඳා ගන්නට අවශ්‍ය නම් හරි පාරේ යායුතුය. ඒ ඕනෑම දෙයකට ක්‍රමයක් ඇති හෙයිනි. එකී පාරේ යනවිට ගැටලු අඩුය. ඩැරල් හෙයාර්ට නම් මීට වසර විසි දෙකකට පෙර ඒ ගැන සිතුණේ නැත. ඇතැම් විට ඔහු ඔට්ටුවක් අල්ලා සිටියාද වන්නට පිළිවන. සුද්දන්ගේ ලෝකය වසර විසි දෙකකට පෙර වීරයෙක්, මහත්මයෙක්, බිය නැති මිනිසෙක් යැයි කී හෙයාර් ඊට වසර විසි දෙකකට පසු සමාජ අපවාද ලැබූවකු බවට පත්වුණේය. ඒ අන්කිසිවක් නිසා නොවේ. සොරකමක් කළ බැවිනි. මුරලි රැවටිලි කාරයෙක්යැයි කියූ හෙයාර් රැවටිලිකාර වංචාකරුවකු වුණේ ඒ අයුරිනි. ඔහු ඇසේ දෘෂ්ටියෙන් මුරලි සොරකු යැයි කීවද? නවීන තාක්ෂණයේ පිහිටෙන් ඕස්ට්‍රේලියානු පර්යේෂණාගාරයකදී මුරලි නිදොස් විය. ඒ නිදොස් වීම ඔහුගේ ජීවිතයේ පරිසමාප්ත ගමනකට පාර කැපුවේය.

ලෝක ක්‍රිකට් පිටියේ කඳු කපා තාරදමා පාලම් බැඳ ඔහුට ලෝක වාර්තාවකට යාමට අධිවේගී මාර්ග තැනුණේ මේ හෙයාර්ගේ කඩප්පුලි ක්‍රියාවලියේ සවියත් සමඟය. ධෛර්යය මිනිසුන් සොයා එන්නේ අභාග්‍යය සමඟමය. එහි පාඩමක්, නැතහොත් අතුරු ඵලයක් වශයෙනි. ලෝකයා ඉදිරියේ එක මොහොතින් වංචාකරුවකු වූ මුරලි කෙටි කලකින් සමස්ත ශ්‍රී ලාංකිකයන් සමඟ එක්ව නැගී සිට වීරයෙක් වූයේ එසේය. එහෙත් ඔහුට ඇස් දෘෂ්ටියෙන්, එසේත් නැතහොත් පූර්ව නිගමනයන්ට අනුව වැරදිකරුවකුයැයි කියූ ඩැරල් හෙයාර් ඊට දශක දෙකකට පසු තාක්ෂණයේ පිහිටෙන් වැරදිකරුවෙක් විය. එසේ වැරදිකරුවකුවී නිකම්ම සිටියේ නැත. හෙයාර්ට එරෙහිව චෝදනා කළ පුද්ගලයා ඔහුව අධිකරණය හමුවට ගෙන ගියේය. එහි ප්‍රතිඵලය වූයේ හෙයාර්ට දඬුවම් හිමිවීමය.

ඒ සිද්ධිය නම් සැකෙවින් මෙසේය.

2006 වසරේදී ටෙස්ට් ක්‍රිකට් විනිසුරුවෙකු වශයෙන් සිය ජීවිතයට නැවතීමේ තිත තබන හෙයාර් අවසානයේ නතර වන්නේ බාර් රස්සාවේය. ඔහු ඕස්ට්‍රේලියාවේ බාර් එකක අලෙවිකරුවෙකු ලෙස සේවයට බැඳුනේය. හරියටම කියන්නේ නම් අයකැමි රස්සාව ඔහුට පැවරී තිබිණි. ජීවිතයේ වරින් වර ඇතිවන මුදල් බැරි අමාරුකම් සම්බන්ධයෙන් ඔහු කළේ තමන් සේවය කරන සාප්පුවේ ලාච්චුවෙන් මුදල් ලබාගැනීමය. සල්ලි ගෙවද්දී මෙලෙස ඔහු පාරිභෝගිකයන්ගෙන්ද මුදල් ගෙන තිබිණි. දිනක් හදිස්සි අවශ්‍යතාවක් ඇතිවූ හෙයින් හෙයාර් කළේ ලාච්චුවට අතදමා ඔස්ට්‍රේලියානු පවුම් නවදහසක් පමණ ගෙන සාක්කුවට දමාගැනීමය. වැඩේ පත්තුවුණේ එතැනිනි. හිමිකරුගේ ඔත්තු බලන විද්්‍යුත් ඇස ඒ දෙස විමසුම් ඇස් හෙළමින් සිටියේය.

හිමිකරු කළේ හෙයාර්ට එරෙහිව නීතිය අතට ගැනීමය. ඔහු වහා හෙයාර් ගැන පොලීසියට කීවේය. එසැණින් හෙයාර් අත්අඩංගුවට පත්විණි. හෙයාර් ප්‍රාන්ත අධිකරණයට දැමිණි. එහි විවිධ නීතිඥ තර්ක මැද නඩුකාරයෙක් ඉදිරිපිට යුක්තිය අපේක්ෂාවෙන් හෙයාර් අසරණව සිටගෙන සිටියේය. කෝට් එකක් දමා තොප්පියක් නොදමා දෑත් විත්ති කූඩුවක හෙයාර් තම චෝදනා පත්‍රය ගැන මනස්තාපව අසා සිටියේය. අවසන ඔහුගේ නීතිඥයා නිදහසට කරුණු ඉදිරිපත් කළේ සිය සේවාදායකයා ඔට්ටු ක්‍රීඩාට ඇබ්බැහිවී ඇති බව පවසමිනි. එසේම ඔහු භින්න උන්මාදයෙන් පීඩා විඳිමින් සිටිනා බවක් ප්‍රකාශ කළේය. ඒ සියල්ල විමසා කිරා මැන බැලූ විනිසුරුවා ඩැරල් හෙයාර්ට සමාව ඉල්ලා ලිපියක් යොමුකිරීමටද, සමාජ සේවාවන්හි නිරතවීමට ද යෝජනා කළේය. යෝජනා කළා කීවාට නිසැකවම එසේ කරන්නැයි ඔහු හෙයාර්ට අණ කළේය.

2005දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මතුනොව සමස්ත ශ්‍රී ලංකාවම අසරණ කළ හෙයාර් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අධිකරණයක් අභිමුව අසරණ වුණේ ඒ අයුරිනි. කර්මය තරංගාකාරයැයි කිවහැකිය. චෝදනා කිරීම ඕනෑම කෙනෙකුට කළහැකිය. එහෙත් එම චෝදනාව අසත්‍ය නම් අප අකමැති වුවත් චෝදනාවේ ප්‍රති විපාක අත්විඳිය යුතුය. ඩැරල් හෙයාර්ට සිදුව ඇත්තේ එයය. ඔහු රස්සාවෙන් ඉවත් කෙරුණේය. ලෝකය හමුවේ පොරක් වීමට මුරලි දමාගසන්නෙක් යැයි කියූ පාකිස්තානය පන්දුව පළුදු කරන බව අත පොළොවේ ගසා ප්‍රකාශ කළ අඩි හයකට වඩා උස දැවැන්ත දේහ ධාරියා සමාජය හමුවේ වංචාකරුවකු වුණේ එලෙසිනි. වසර විසිදෙකකට පෙර බොක්සිං දිනයේදී මුරලිට කළ චෝදනා තරංගයට සම්මුඛව සිටගැනීමට ඔහුට සිදුව තිබේ. ඒ චූදිතයකු බවට පත්වෙමිනි. ටෙස්ට් ක්‍රිකට් පිටියේ වීරයාවූ හෙයාර් සාධාරණ එසේත් නැතහොත් ඉංගිරිසියෙන් ෆෙයාර් බව නැතිවුණේ ඒ අයුරිනි. 1991 දෙසැබ්මර් 14 ක්‍රිකට් විනිසුරුවරයකු වශයෙන් ජීවිතය ආරම්භ කළ හෙයාර්ගේ අවසන් ජාත්‍යන්තර තරගය 2008 අගෝස්තු 24 වැනිදාය. එදා මෙදා තුර යළි ජාත්‍යන්තර විනිසුරු පිටියේ පස් පාගන්නටවත් හෙයාර්ට ලැබුණේ නැත.

ජීවිතයේ අනවශ්‍ය වගකීම් විරහිත භාවය ගෙන ආවේ දුර්වලතා වැඩි වර්ධනය කිරීම්ය. ඒ වෙනුවෙන් බීමත්කමට, ඇබ්බැහිවී, ඔට්ටු ඇල්ලීම වැනි දේ ඔහු සොයා ආවේ සුළඟ හමා ගිය පසු රොඩු, කුණු තරගයට හිස්වන අවකාශය ලුහුබඳන්නා සේය. අවසන හෙයාර්ගේ අතිධාවනකාරී ජීවිත ඇබ්බැහිය මනෝවිද්‍යාත්මක උපදෙස් හා ප්‍රජා සේවාවලින් අවසන් කරන්නට සිදුවිය. එහෙත් ඔහු තැබූ අවලස්සන කළු පැල්ලම් නම් තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නොමැකී ඇත්තේය. ඔහු චෝදනා කළ මුරලි අද ලෝක වාර්තාලාභියෙකි. ලොව පිළිගන්නා අසහාය ක්‍රීඩකයෙකි. සාර්ථක මිනිසෙකි. එහෙත් හෙයාර් අසාර්ථක මිනිසෙකි. චූදිතයෙකි. වංචාකාරයෙකි. සමාජයේ අනුකම්පාවට පත්ව ජීවිතය හැඩගසා ගන්නට හැකිදැයි නොදන්නා මිනිසෙකි. ඕස්ට්‍රේලියාව බිහිකළ අතිවිශිෂ්ට කීඬකයකුවන ස්ටීව් වෝද මේ සම්බන්ධයෙන් පසුගියදා අදහස් දක්වා තිබුණේය. ඔහු කීවේ ප්‍රශ්න විසඳාගත යුතු ක්‍රමයට නොගොස් පූර්ව නිගමනවල සිට හෙයාර් කටයුතු කර ඇති බවය. එය අසාධාරණ තීරණයක් ලෙසින් තමන් දකිනවා කියාය.

ලෝකයේ විශිෂ්ටයකුට ගල් ගසද්දී ශ්‍රී ලංකාව මතුනොව දකුණු ආසියාවම එම අවස්ථාවේ මුරලිදරන් සමඟ සිටියේය. හෙයාර්ට වරදින විට ඔහු ළඟකවුරුවත් නැතිවීම සතුටක් නොවුණද පුදුමාකාරය. එක අතකින් කර්මය කියන්නේ එවැන්නකි. එනම් ක්‍රියාවේ අවසන් ප්‍රතිඵලයය. හේතුව සමඟ වක්‍රාකාරව උපදින ප්‍රතිඵලය. මේ හෙයාර් අත්දකින්නේ එයය. කූ ප්‍රකට බොක්සිං දිනයේ අපට මතක් වන්නේ එය පමණි. ක්‍රිකට් පිටියේ කොතෙක් දේ සිදුවුණද අපට මතක හෙයාර්ගේ අලුගුත්තේරු වැඩේම පමණය. සතුටු නොවුණත් හෙයාර් ගැන ලියන්න හිතුවේ ඒ නිසාය. හෙයාර් ප්ලීස් ෆෙයාර් යැයි ලෝකයම නිහඬව කියන්නේ එහෙයිනි.

සටහන - කසුන් ඉරුගල්බණ්ඩාර

Comments

Hello Kasun, Don't write misleading and false information. First of all this theft happened in United Kingdom not in Australia. Secondly, Australia's currency is Australian Dollars not pounds. Get your facts right.

පිටු