HOLLY WOOD | සිළුමිණ

HOLLY WOOD

 හැරී මෙගාන් මංගල්‍යය මැයි 18

එළඹෙන 2018 නව වසරේ තවත් රාජකීය මංගල්‍යයකට බකිංහැම් මාලිගය ලකලැහැස්ති වනවා. බොහෝ දෙනකු බලාපොරොත්තු සහගතව පසුවූ හැරී කුමරු සහ හොලිවුඩ් නිළි මෙගාන් මාක්ල් ගේ විවාහ මංගල උත්සවය තමයි මේ රාජකීය අවස්ථාව. මෙම මංගල උළෙල ලබන වසරේ මැයි 19 දා පැවැත්වෙන බව බ්‍රිතාන්‍ය රජ පවුලේ නිවහන වන කෙසින්ටන් මාලිගය පසුගියදා නිල වශයෙන් නිවේදනය කළා.

එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වන්නේ හැරී - මෙගාන් මංගල්‍යය වින්ඩිසර් මාලිගයේ ශාන්ත ජෝජ් දෙව් මැඳුරේදී පැවැත්වෙන බවයි. හැරී - මෙගාන් යුවළ විවාහ ගිවිස ගත්තේ පසුගිය මාසයේදීයි. ඉන් පසුව ඔවුන් දෙදෙනා ප්‍රකාශ කළේ විවාහ මංගල උත්සවය 2018 මැයි මාසයේ දිනයක පැවැත්වෙන බවයි. විවාහයෙන් පසුව යුවළ කෙසින්ටන් මාලිගයෙහි පදිංචියට යෑමටයි සැලසුම් කර ඇත්තේ. පසුගිය සතියේ මෙගාන්ට බ්‍රිතාන්‍ය මහ රෑජනගෙන් (හැරී කුමරුගේ අත්තම්මා ගෙන්) සම්ප්‍රදායික ඇරයුමක් ලැබුණා. ඒ මෙවර නත්තල් දා රාජකීය පවුලේ උදවියත් සමඟ ගත කිරීම සඳහා රජ පවුලට අයත් සැන්ඩ්‍රිහැමි වතු යායට පැමිණෙන ලෙසයි.


ටොම්-සෙන්දයා ට මවුපිය ආශීර්වාදය

‘ස්පයිඩර්මෑන්’ චරිතයට පණ දෙන යොවුන් නළුවා ටොම් හොලන්ඩ්. ඔහුගේ සැබෑ ජීවිතයේ පෙම්වතිය ජනප්‍රිය නිළි සෙන්දයා. දෙදෙනාගේ පෙම් කතාව වසන් වී තිබෙද්දී පසුගිය ජූලි මාසයේදී බ්‍රිතාන්‍ය පුවත් පතක් මුල්වරට එය හෙළි කළා.

එතැනින් පසුව ‘ටොම් - සෙන් ’ යුවළට ලොවට හොරෙන් පෙම් කරන්න හැකි වුණේ නැහැ. දෙදෙනාගේ මවුපියන්ටත් තවදුරටත් මෙය රහසක් නොවුණු නිසා දෙපාර්ශවයේම සාමාජිකයන් පසුගිය දා එකට එකතු වී සුහද කතා බහක යෙදුණා. නිව්යෝක් නුවර සුපිරි හෝටලයක පැවැත්වුණු මෙම සුහද හමුවේ අවසානය සනිටුහන් කළේ රාත්‍රි භෝජන සංග්‍රහයකින්.

“ටොම් මෑතකදී සෙන්දයා ගේ මවුපියන් හමුවුණා. ඒ අය දැන් ටොම් ට ගොඩක් ආදරෙයි. ටොම් – සෙන්දයා ප්‍රේම කතාවට මේ වෙනකොට අවුරුද්දක් විතර ගතවෙලා” සෙන්දයාගේ හිතවතියක් පැවසුවා. ටොම් ට සෙන්දයා මුලින්ම මුණගැසුණේ‘ ‘ස්පයිඩර්මෑන් : හෝම් කමින් ’ චිත්‍රපටය රූගත කරද්දීයි. චිත්‍රපටයේත් පෙම්වතුන් ලෙස රඟපෑ ඔවුන් දෙදෙනා සැබැවින්ම එකිනෙකාට ආදරය කරන බව වැඩිකල් නොගොසින්ම කාටත් තේරුම් ගියා.


මතින් ගැලවෙන්න තැත් දරන බෙන්

කෙතරම් ප්‍රවීණ නළුවකු වුණත් මත්පැනට ඇබ්බැහි වුණොත් ඔහුගේ රංගන සහ පෞද්ගලික ජීවිතය විනාශ වී යනවාට කිසිම සැකයක් නැහැ. එවැනි ඛේදනීය තත්ත්වයකට ගමන් කරමින් සිට එයින් මිදෙන්න දැඩි උත්සාහයක යෙදී සිටින නළවකු තමයි බෙන් ඇෆ්ලෙක්. ඔහු මත්පැන් වලට කෙතරම් වහල් වී සිටියාදැයි කිවහොත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට අද පුනරුත්ථාපන මධ්‍යස්ථාන වල පිහිට පතන්න සිදුවෙලා. මේ වනවිට 45 වැනි වියෙහි පසුවන බෙන් ට තවත් කාලයක් ගතවනතුරු පුනරුත්ථාපනයට මුහුණ දෙමින් සිටින්නට සිදුවනු ඇතැයි ඔහුගේ හිතවතුන් පවසනවා.

බෙන් මුලින්ම මෙලෙස ප්‍රතිකාර වලට යොමුවී ඇත්තේ 2001 දීයි. ඉන් පසුව මෙම වසර මුල් භාගයේදී ත් ඔහු ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. හොලිවුඩ් පුරයෙන් ලැබෙන වෙනත් ආරංචි වල සටහන් වන්නේ බෙන් පසුගිය සති කිහිපය තුළ ලොස් ඇන්ජලීස් නුවර විවිධ වෛද්‍ය මධ්‍යස්ථාන වලින් ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි “මට අවශ්‍ය වෙලා තියෙන්නේ මගේ දරුවන්ට හොඳ තාත්තා කෙනෙක් වෙන්නයි” බෙන් සිය ට්විටර් පිටුවෙහි එලෙස සටහන් කළා.


 ගාල් ගැඩොට් අසැබි දසුන්වල ගොදුරු වෙලා

ජනප්‍රිය නළු නිළියන්ගේ මුහුණු අසභ්‍ය චිත්‍රපට වලට යොදා ගැනීම ඇරැඹුණේ මීට දශක දෙකකට පමණ කලින්. පරිගණක තාක්‍ෂණය අද තරම් දියුණු නොවී තිබුණ ඒ කාලයේ ත් මෙම අශීලාචාර කාර්යය වරින් වර සිදුවුණා. මෑතකදී තවත් ජනප්‍රිය හොලිවුඩි නිළියකගේ මුහුණ අසභ්‍ය වීඩියෝ දර්ශනයකට යොදා ගෙන තිබෙන පුවතක් හොලිවුඩ් පුරයෙන් වාර්තා වනවා.

මෙම වීඩියෝවට යොදා ගෙන ඇත්තේ සුපිරි නිළි ගාල් ගැඩොටි ගේ මුහුණයි. එම වීඩියෝ දර්ශනයෙහි අසභ්‍ය චිත්‍රපට වල රඟන නිළියක් පෙනී සිට ඇති අතර ගාල් ගැඩොටි ගේ මුහුණ යොදා ඇත්තේ ඇගේ මුහුණ වෙනුවටයි. මෙය ව්‍යාජ වීඩියෝ දර්ශනයක් බව හොඳින්ම වැටහෙන බවයි එය දුටු අය පවසන්නේ

මීට කලින් මෑතකදී මෙවැනි අසභ්‍ය වීඩියෝ දර්ශන වල ගොදුරු බවට පත්වූයේ ස්කාලටි ජොන්සන් සහ ටේලර් ස්විෆ්ට් යන සුපිරි තරු දෙපළයි. 

 

Comments