හිතන් ඉන්නෙ අපි අහ­සින් වැටුණු මිනිස්සු කිය­ලද අශ්විනී | Page 2 | සිළුමිණ

හිතන් ඉන්නෙ අපි අහ­සින් වැටුණු මිනිස්සු කිය­ලද අශ්විනී

විසිත්ත කාමරය තුළ සත් දෙනෙක් වාඩි වී සිටියද, එතුළ වූයේ පුදුමාකාර නිශ්ශබ්දතාවයකි. ෆියෝනා හිස බිමට නැඹුරු කරගෙන සිටියේ ඇය ඉදිරියෙන්ම වාඩි වී සිටි ලොකු අක්කා ලෝචනාගේත්, මද්දු අක්කාගේත් මුහුණු දෙස බැලීමට වූ බිය නිසාය. වරින් වර කිසිවෙක් සුසුම් හෙළන හඬ ඇසුණද, ඒ කවරෙක්දැයි වටහා ගැනීමට ඇයට නොහැකි විය. විසිත්ත කාමරයේ වූ විදුලි පහන් ආවරණය අතරින් ගලා ආ මුදු ආලෝකය දෙනෙත් වලට සුවයක් වුව ද, සෝෆාවෙහි වාඩි වී සිටි කිසිවකුගේ මුහුණු වලින් පළවන හැඟීම් පැහැදිලිව දැක ගැනීමට එය බාධාවක් වූවාක් මෙනි. ෆියෝනා යන්තමින් හිස ඔසවා බැලුවාය. සුදු පැහැති කපු ඔසරියකින් සැරසී සිටි ලොකු අක්කා පෙරට වඩා මඳක් තරව සිටියාය. ඇය පසෙකින් වාඩි වී සිටි වගීෂ අයියා සිය ජංගම දුරකතනය අත පත ගාමින් සිටියේ තවත් ස්වල්ප වේලාවකින් මෙහි ඇති වන කතා බහට සම්බන්ධ වීමට ඇති අකැමැත්ත නිසා බව ෆියෝනා දැන සිටියාය.

“චූටි කුමාරි.”

සෑහෙන වේලාවකට පසු ලොකු අක්කාගේ කටහඬ ඇසිණ. ෆියෝනා ඇගේ මුහුණ දෙස සෘජුව බැලුවේ එවේලෙහිය.

“ඉස්සර චූටි කුමාරි කියලා කිව්වට දැන් අපිට එහෙම කතා කරන්න බෑ. පුරුද්දට කියවුණා මිසක්.”

ලෝචනාගේ සිනාව ද්වේශ සහගත සිනාවක්දැයි සිතන්නට ෆියෝනා උත්සාහ කළාය.

“නම වෙනස් කළා කියලා ආරංචියි. මොකක්ද දැන් නම කිව්වෙ?”

“මගේද? ”

“නැතිව මගේයැ? මේ දැන් පිහියක් ගෙනත් අනිනවා කියලා කිව්වත් අනේ මම නම් මගේ නම වෙනස් කරන්නෙ නෑ. ලෝචනා කුමාරිහාමි මීගස්තැන්න කසාද බැඳලවත් මහත්තයගෙ වාසගම ගත්ත කෙනෙක් නෙමෙයි. ”

“හරි. හරි. වැල්වටාරම් නැතිව කතා කරන දෙයක් කතා කර ගන්න. ”

වගීෂ අයියා පැවසුවේ අක්කාගේ සිත රිදවනසුලු කතා බහට ඔහුගේ ඇති අකැමැත්ත ව්‍යංගයෙන් පවසන්නාක් මෙනි.

“මේක අපේ පවුලේ ප්‍රශ්නයක් වගීෂ. අදාළ සුළු දෙයක් වුණත් දැන් කතා බහ කරගෙන ඉවරයක් කර ගන්න ඕන. අම්මගෙ මළ ගමට නාපු කෙනා ආයෙ මෙහේ ඒවිද කියලා

කවුද දන්නෙ? ”

ෆියෝනාගේ දෙනෙතට කඳුළු නැගිණ. ඇයට ලොකු අයියා දෙසත්, ස්වේතා දෙසත් බැලුණේ ඉබේටමය.

“චූටි කුමාරිට එන්න බැරි වුණු හේතුව මං ඔයගොල්ලන්ට කිව්වා. ඔයාට කතා කරන්න ඕන නම් කෙටියෙන් කතා කරලා ඉවර කරන්න. දැන් කාගෙවත් හිත් රිද්දුවා කියලා පලක් වෙන්නෙ නෑ.”

අයියා ගජබා පැවසුවේ නොරුස්නා ලෙසිනි.

“ඔයගොල්ලන්ට මං කතා කරන එක අහන් ඉන්න බැරිව ඇති. ඒත් මං ලොකු අක්කා. මේ ගෙදර ප්‍රශ්නයක් වෙනවනම් මං ඒවා කතා බහ කරලා විසඳන්න. ”

“හරි. හරි. අපි නෑ කිව්වයැ? ඉතින් කතා කරන්න.”

ලොකු අක්කාගේ දෙනෙත් අයියා දෙසට නොව ස්වේතා දෙසට යොමු වන අයුරු ෆියෝනා බලා සිටියාය. අයියා මෙහෙයවන්නේ ස්වේතා යයි අම්මා සමග අක්කා නගන

චෝදනා ඇයට සිහිපත් විය.

“ඔය ගජබාගෙ අදහස් නෙමෙයි අම්මා. කටහඬ, වචන ගජබාගෙ වුණාට ඔය කතා කරන්නෙ වෙන කවුරුවත් නෙමෙයි ස්වේතා. ”

ඇය අම්මා සමග ස්වේතාට ගතු කියන ආකාරයත්, එයට අම්මා දක්වන උදාසීන පිළිවෙතත් ෆියෝනාට සිහිපත් විය.

“ඉස්සර වෙලාම කියනවා චූටි කුමාරි. මොකක්ද දැන් නම කිව්වෙ?”

ලෝචනාගේ කටහඬින් ඇය පියවි ලොවට පිවිසියාය.

“ෆියෝනා. ෆියෝනා ජැෆර්ජි. ”

ෆියෝනා පැවසුවේ ඇසෙන නෑසෙන තරම් සෙමෙනි.

“මොකක්?”

ලෝචනා ඉදිරියට නැමුණාය.

“ෆියෝනා ජැෆර්ජි.”

ෆියෝනා හඬ නගා පැවසුවාය. මද්දු අක්කාගේ දෙනෙත් පිටතට පනින්නට මෙන් විශාලව ඇති අයුරු දුටු ඇයට හඬ නගා සිනාසෙන්නට සිතුණද, අනපේක්ෂිත ලෙස

ඇසුණු ලොකු අක්කාගේ හැඬුම් හඬ ඇය මොහොතක් ගොළු කරන්නට සමත් විය. හැඬුම් හඬ අතරින්ම ඇය කිසිවක් පවසන හඬ ඇසුණද, මීගස්තැන්න පරම්පරාවේ

ගරුත්වය යන වදන් මිසක අන් කිසිවක් පැහැදිලිව නෑසිණ.

“කියපු ලස්සන විතරක්.”

මද්දු අක්කා කෑගැසුවාය.

“උඹ හිතන් ඉන්නෙ අපි අහසින් වැටුණු මිනිස්සු කියලද අශ්විනී? ඔව්වා ගමේ මිනිස්සු දන්නනවනම් ඇවිත් අපේ මූණට කෙළ ගහලා යාවි.”

“ඒ විතරක්යැ? අපි දැක්කම දෙකට නැමෙන මිනිස්සු මෙව්වා දන්නවනම් අපිට පස්ස හරවාවි.”

කඳුළු පිසගත් ලොකු අක්කාගේ කටහඬ එවර වේගවත්ව ඇසිණ.

“දැන් මට මොනවද කියන්න තියෙනවා කිව්වෙ? ̃

ෆියෝනා තමා සමීපයට පැමිණි බළලාගේ හිස අත ගෑවාය. උගේ පුරු පුරු හඬ පෙරට වඩා ඇසිණ.

“කරන්න තියෙන්නෙ මේකයි අශ්විනී. ”

ලොකු අක්කා ඇය හිඳගෙන සිටි පුටුවෙන් නැගිට පැමිණ ෆියෝනා සමීපයෙන් හිඳ ගත්තාය. එවර ඇගේ කටහඬ පෙරට වඩා මුදු විය.

“අපි මෙහෙම හිතමුකො. සිද්ද වෙච්චි දේවල් දැන් ඉතින් ඉවරයි. නරක කාල වලදි සමහර දේවල් සිද්ද වෙනවා තමයි. අවනම්බුව, අපකීර්තිය වගේ දේවල් සමහර

ග්‍රහයො නිසා සිද්ද වෙනවා. ඒක අපට වළක්වන්න බෑ. එව්වා පෙර කළ පව් පින් අනුව සිද්ද වෙන දේවල් තමයි.”

ස්වේතාත්, අයියාත් සිනාව සඟවා ගන්නට දරන උත්සාහය ෆියෝනා දුටුවද ලොකු අක්කාට එය නොපෙනෙන්නට ඇත. ඇය ද තම මුවග නැගි සිනාව සඟවා ගන්නට උත්සාහ කළාය.

“තවත් අපට අවනම්බු කරන්නෙ නැතිව දැන්වත් ගෙදර එනවා. සිද්ධ වුණු අනිත් හැමදේටම වඩා ඒක හොඳයි. නේද මද්දු? ”

මද්දු අක්කා ද එකඟතාවය පළ කරමින් හිස සැ ̈වාය.

“ගෙදර ඇවිත්?”

“ආවට පස්සෙ මොකක් හරි කරන්න බැරුවයැ? මොකද දේපල නැතිවද? ලස්සන නැතිවද? උගත්කම නැතිවද? ඊටපස්සෙ හොඳ තැනකින් කටයුත්තක් කතා කරන්න බැරිවයැ? නේද වගීෂ? ̃

ෆියෝනාට වගීෂගේ මුහුණ දෙස බැලිණ. ඔහු ලෝචනාගේ වදන් නොඇසුනාක් මෙන් තවමත් සිය ජංගම දුරකතනය අත පත ගාමින් සිටින අයුරු ඇය දුටුවාය.

“ඔයාට මහ ලොකු රාජකුමාරයෙක් වුණාට බිස්කට් කම්පනි එකේ කොල්ලො හොඳ එවුන් නෙමෙයි. මං දන්නවනෙ. අම්මා වුණත් ගෙදරටම හිර කරගෙනයි ඉන්නෙ.

අනිත් එවුන් බැඳපු ගෑනුන්ටත් වෙලා තියෙන්නෙ ඒකමයි. කවදා හරි අනිත් එක්කෙනාටත් වෙන්නෙ හිරකාරියක් වගේ ගෙදරටම වෙලා ඉන්න. නැත්නම්... ”

අක්කා ලෝචනා වචන ගිල ගත්තේ වගීෂ අයියාගෙන් හෝ මද්දු අක්කාගෙන් ලද රහස් තරවටුවක් නිසාදැයි ෆියෝනා සිතුවාය. ඇගේ මුවග සිනාවක් නැගිණ.

“අශ්විනී... චූටි කුමාරි... අම්මා මැරුණෙ ඔයා ගැන හිතේ අමාරුවෙන් බව සමහරවිට ඔයා දන්නෙ නැතිව ඇති. අම්මට ආදරයක් ඇත්නම් අම්මා වෙනුවෙන්වත් ඔය

කසාදෙ අත් ඇරලා දාලා ගෙදර එන්න. අපි වුණත්, අභීත වුණත් ඔය මනුස්සයව අත ඇරලා දාලා එනවා නම් ඔයාව භාර ගන්න කැමැතියි. ”

මේ සියල්ලම සියලු දෙනා කළ සැලසුම්දැයි ෆියෝනා කල්පනා කළාය. ඇතැම් විට බොරු හේතුවක් මවා පෙන්වමින් අභීත නිවසින් පිටව යන්නට ඇත්තේද, ස්වේතා විසින් දුරකතන ඇමතුමක් දෙන්නට ඇත්තේ ද එම සැලසුම අනුව වන්නට ඇතැයි ඇයට සිතිණ.

“කල්පනා කරලා කියන්න. මං හිතන්නෙ... ඉඩකඩම් දේපළ කිසිම දෙයක් අම්මා ඔයා නමට ලියලා නෑ. නේද මද්දු? ”

මද්දු අක්කා හිස සැලුවාය.

“අම්මා ඔයාට ආදරේ ඇති. ඒත් පිට කෙනකුට ඉඩ කඩම් අයිති වුණොත් ඊළඟට සිද්ද වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ.”

පියවතී කෝපි සහිත බන්දේසියක් ගෙන ආවාය. උණු කෝපි කෝප්ප වලින් නැගෙන දුමෙන් හා කෝපි සුවඳින් අවට වාතලය පිරී ගියේය.

“බොනවා. බීලා කල්පනා කරනවා. ඊටපස්සෙවත් මොළේ පෑදේවිද කියලා බලන්න.”

සිය කෝපි කෝප්පය අතට ගත් ෆියෝනා නැගිට ආලින්දය දෙසට පැමිණියාය. සඳ එළියෙන් නැහැවුණු මිදුල දෙසට ඇවිද යා යුතුයයි ඇයට සිතුණද, දුරකතනයට පැමිණි කෙටි පණිවුඩය ඇගේ ගමන වළක්වන්නට සමත් විය. 

 

Comments