
හෙට උදාවන්නේ 2018 වසරයි. ජාති ආගම් භේදයකින් තොරව අපේ රටේ බොහෝදෙනා අද රාත්‍රියේ අලුත් අවුරුදු උදාව සමරනවා. මෙවැනි විශේෂ සැමරුම් උත්සවයක් තිබෙන විට අපේ රටට සැතපුම් දහස් ගණනකට ඈතින් ඇති රටක සමරනු ලබන අමුතුම ආකාරයේ උත්සවයක තොරතුරු ඔබ වෙත ගෙන එන්නටයි මේ සූදානම.
‘අර්ගුන්ගු‘ මසුන් ඇල්ලීමේ උත්සවය ලෙසින් හැඳින්වෙන මෙම උත්සවය වෙනුවෙන් අද රසඳුන 15 වැනි පිටුව වෙන්වනවා. උතුරු නයිජීරියාවේ වඩාත්ම ප්‍රසිද්ධ උත්සවය ලෙසින් මෙය හඳුන්වනු ලබන අර්ගුන්ගු සාමාන්‍යයෙන් සංචාරක ආකර්ෂණයක් නොමැති ප්‍රදේශයක උත්සවය පැවැත්වූවත් දහස්ගණන් සංචාරකයින් මෙම උත්සවය නැරැඹීමට පමණක් නැරඹීමට පැමිණීම විශේෂත්වයක්.
ඈත අතීතයේදී ආගමික උත්සවයක් ලෙසින් පැවතුනද පසුකාලීනව එකමුතුකම විදහා දැක්වීමට මෙම උත්සවය යොදාගැනුණා. කෙබ්බි ප්‍රදේශය, සොකොටෝ ප්‍රදේශයේ පාලකයින් විසින් යටත් කරගැනීම නිසා සිදුවූ ගැටුම් නිමාකරමින් වර්ෂ 1934දී මෙම මසුන් මැරීමේ තරගය ආරම්භ කර තිබෙන්නේ කෙබ්බි හා සොකොටෝ මිනිසුන්ගේ එකමුතුකම පෙන්වීමටයි .
දින හතරක් පුරා ස්ථාන හතරක පැවැත්වෙන මෙම උත්සවයේ ප්‍රධාන වතාවත් හතරක් තිබෙනවා. නමුත් මුස්ලිම් ආක්‍රමණ නිසා ඉස්ලාම් දහම වැළඳගෙන තිබෙන මෙම ගොවියන් වර්තමානයේදී ප්‍රධාන ලෙසින් සිදු කරන්නේ මසුන් ඇල්ලීමේ චාරිත්‍රය පමණයි.
ගංගා කිහිපයකින්ම පොහොසත් වී තිබෙන අර්ගුන්ගු ප්‍රදේශයේ තමයි මෙම උත්සවය පැවත්වෙන්නේ. ගැහැනු හා පිරිමි ධීවරයන් පන්දහසකට අධික ප්‍රමාණයක් ගං ඉවුරට වී බලා සිටින්නේ ආරම්භක සංඥාව (වෙඩි හඬ) ඇසෙන තුරුයි.
මීට අමතරව බෙරකරුවන් රැගත් බෝට්ටු වතුරේ ඔබ මොබ සැරිසරන අතර තවත් පිරිසක් මසුන් වෙත කෑම දමමින් එම මසුන්ව නොගැඹුරු ජලය වෙත ගෙන ඒමට උත්සාහ කරනවා. සාම්ප්‍රදායික දැල් හා කූඩ පමණක් යොදාගනිමින් මසුන් ඇල්ලිය යුතු අතර බොහෝදෙනා කිසිදු ධීවර ආම්පන්නයකින් තොරව දෑතින් මසුන් අල්ලන අයුරුද දකින්නට ලැබෙනවා.
පැයක් ඇතුළත විශාලතම මත්ස්‍යයා අල්ලනු ලබන පුද්ගලයා ජයග්‍රහණය කරන අතර ඔහුට හෝ ඇයට ඇමෙරිකානු ඩොලර් 7000-8000 අතර මුදලක් එනම් තරමක් විශාල ජයමල්ලක් හිමිවෙනවා. 2005 වසරේ ජයග්‍රාහකයා ඇල්ලූ මත්ස්‍යයාගේ බරකිලෝ 75ක් වන අතර එම සතාගේ බර මැනීමට පුද්ගලයින් හතර දෙනකු අවශ්‍ය වී තිබෙනවා.
මසුන් ඇල්ලීමට අමතරව ඔරු පැදීම, තාරාවන් දඩයම් කිරීම, කිමිදීම හා පිහිනීම වැනි තරගද පැවැත්වෙන අතර අවසානයේ සියලුදෙනාම කා බී ගීත ගායනා කරමින් හා නටමින් විනෝදයෙන් උත්සවය නිමා කරනවා.
මෙම උත්සවය සඳහා ම අර්ගුන්ගු ගඟෙහි සැතපුමක ප්‍රදේශයක් මුළු වසර පුරාම මසුන් ඇල්ලීමෙන් ආරක්ෂා කරනු ලබනවා. බලධාරීන් තීරණය කර තිබෙන්නේ 2018 වසර සඳහා මෙම උත්සවය මාර්තු මාසයේදී පැවැත්වීමටයි .