
හර්ෂණ දිසානායක නමැති ගායන ශිල්පියා අපට වඩාත් සමීප වූයේ ‘සූරිය අරණ‘ සිනමා පටයෙහි ‘ඉරෙන් හඳෙන්‘ ගීතය හරහායි. එදා දක්ෂ ළමා ගායන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට පිවිස වර්තමානයේ ප්‍රතිභාපූර්ණ ගායකයකු ලෙස නමක් දිනා ඇති ඔහු මේ වන විට සංගීත විශාරද වරයෙකි.
ප්‍රතිභාපූර්ණ කලා පවුලකට උරුමකම් කියන මේ ගායන ශිල්පියා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායකගෙන් පසුව සිය කලා උරුමය ඉදිරියට ගෙනයන තවත් එක් පුරුකක් ලෙසද හර්ෂණ දිසානායක සහ ගීත රචක සෝමතිලක දිසානායක දෙදෙනාගේ අඩිපාරේ යමින් එම කලා උරුමය ඉදිරියට ගෙනයන මීළඟ පරපුරේ කෙනකු ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. කලක නිහැඬියාවෙන් පසුව අප ඔහු ගැන කතා කරන්නට නිමිත්තක් තියෙනවා. ඒ පසුගියදා පැවැත්වූ ඔහුගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය නිසයි. මේ පිළිබදව දැන ගන්නටත් ඔහුගේ අලුත්ම තොරතුරු පිළිබඳ ඔබට කියන්නටත් අප ඔහුට කතා කළා.
• පසුගියදා පැවැත්වූ ඔබේ ප්‍රසංගයෙන් අපේ කතා බහ අරඹමු?
ඇත්තටම මෙය මගේ සංගීත ජීවිතයට විශේෂ වුණු ප්‍රසංගයක් කියන්නට පුළුවන්. ඊට හේතුව තමයි පුංචි අවධියේ ඉඳලා මගේ කියලා ප්‍රසංග කිහිපයක් පවත්වා තිබුණත් මම අතින්ම සංවිධානය වුණු ඒක පුද්ගල පළමු ප්‍රසංගය තමයි පසුගියදා පැවැත්වූ ‘ඉරෙන් හඳෙන්‘ ප්‍රසංගය.ඉතින් ඒ මගේ වෑයම ඉතා සාර්ථකව කරගැනීමට මට හැකියාව ලැබුණා.
• කලක නිහැඬියාවෙන් පසුව ඇයි මෙවැනි ප්‍රසංගයක් කරන්නට හිතුවේ?
ඔබ කීවා වාගේ අවුරුදු කිහිපයක නිහැඩියාවකින් පසුව මා කරන්නට හිතපු පළමුවැනි කාර්යය තමයි ‘ඉරෙන් හඳෙන්‘ ප්‍රසංගය. විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු නිසා මගේ රසිකයන්ට යමක් කරන්නට නොහැකි වුණා. ඔවුන්ට නැවතත් නව වෙනසක් එක්ක මෙම ප්‍රසංගය හරහා යළි මගේ හඬ අවදි කරන්නට හිතුවා.
අනෙත් කාරණය තමයි අද අපේ දරුවන්ට මාධ්‍ය තුළ වගේම මඟ තොටදී අසන්නට දකින්නට ලැබෙන දේවල උසස් රස වින්දනය කියන දේ ලැබෙන්නේ නෑ. ඒ තුළ ඔවුන් අතරමංවෙලා. ඒ නිසා අපි ගතකළ ඒ සොඳුරු ළමා අවධිය නැවතත් සිහිපත් කරලා අපේ ළමා පරපුර ට උසස් රස වින්දනයක් ලබා දීම ඉරෙන් හඳෙන් ප්‍රසංගය පැවැත්වීමේ තවත් එක් අරමුණක්. මෙය ලංකාව පුරා රැගෙන යාමට මම අදහස් කරෙගෙන සිටිනවා.
• ‘ඉරෙන් හඳෙන්‘ යනුවෙන් ප්‍රසංගය නම් කිරීමට විශේෂ හේතුවක් තියෙනවද?
අනිවාර්යයෙන්ම . මම ගායන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට එන්නේ, හර්ෂණ දිසානායක කියන ඒ නාමය රටක් හඳුනා ගත්තේ ඉරෙන් හඳෙන් ගීතය හරහායි. ඒ වගේම මගේ ළමා කාලයේ ස්වර්ණමය යුගය උදාවන්නේද මේ ගීතය නිසයි. ඒ නිසා රටක් මා හඳුනන, හැමෝම දන්න, හැමෝටම මතක ඉරෙන් හඳෙන් ලෙස ප්‍රසංගය නම් කරන්නට හිතුවා.
• එදින ඔබ ගායනා කළ ගීත මොනවද?
කුඩා අවධියේදී මා ගායනා කළ ගීත ගොන්න අතරින් කිහිපයක් සහ චිත්‍රපට පසුබිම් සඳහා මා ගැයූ ගීත සියල්ලක්ම වගේ මගේ ආදරණීය රසිකයන්ට සජීවී ලෙස අසන්නට ඉඩ ප්‍රස්ථාව එදින ලැබුණා. සංගීත දායකත්වය සැපයුවේ ආචාර්ය රෝහණ වීරසිංහයන්. ශානිකා වනිගසේකර, නෙලූ අධිකාරි, ශෂිකා නිසංසලා වැනි ගායන ශිල්පීනියන් යුග ගීත ගැයීමට මට සහය වුණා.
• මේ වන විට ඔබ ගැයූ ගී ප්‍රමාණය.
මෙහෙමයි. මගේම කියා ගායනා කළ දේශාභිමානි සහ ළමා ගී තැටි 3ක් පමණ මේ වන විට එළිදක්වලා තිබෙනවා. ඊට අමතරව මගේ මතකයේ හැටියට ලැබුණු ආරාධිත ගීත එක්ව බැලූකල 300කට අධික ප්‍රමාණයකට මගේ හඬ මුසු කරලා තියෙනවා.
• ‘ඉරෙන් හඳෙන්‘කියන්නේ ඔබේ අන්‍යතාව පෙන්වූ ගීතය වුවත් ඔබේ හඬින් ගැයුණු මුල්ම ගීතය මෙය නොවෙයි..
ඔබ හරි. ගුවන් විදුලියේ පටිගත වුණු මගේ මුල්ම ගීතය අත්තම්මා නිවන් ගිහින් ගීතයයි. දෙවැන්න මලක් නෙළා ගෙනවිත් බුදු සාදුට පිදුවා කියන ගීතය. මේ ගීත අදටත් ලොකු කුඩා කා අතරත් බෙහෙවින් ජනප්‍රියයි.
• වික්‍රමශිලාව කියන්නේ හර්ෂණ දිසානායක කියන ගායන ශිල්පියාගේ උපන් ගෙය කීවොත්?
ඔව්. අද මගේ රසිකයින්ට හර්ෂණ දිසානායක කියන එදා ඔබ හඳුනාගත් ඒ ළමා ගායන ශිල්පියා ඔපමට්ටම් කර රටට තිළිණ කළ තැන තමයි වික්‍රමශිලාව කියන්නේ. බහ තෝරන වයසේ ඉඳලා ගී පදවැල් මිමිනුවත් ක්ෂේත්‍රය තුළ ස්ථාවර ගමනක් යාමට මූලික අඩිතාලම වැටුණේ වික්‍රමශිලාවයි. සුනිල් දයානන්ද කෝනාර කියන උත්තම මිනිසා තමයි මගේ ගුරුවරයා. මේ වනවිට ඔහු ජීවතුන් අතර නැති වුවත්මේ මොහොතේ ඔහුව ගෞරවයෙන් සිහිපත් කරනවා.
• කුඩා අවධියේ සිටම ඔබ සම්මාන කිහිපයකට පාත්‍ර වුණා?
ඇත්තටම එය මගේ පෙර කුසලයක් මෙන්ම වාසනාවක් කියලයි මට හිතෙන්නේ. රාජ්‍ය සම්මාන, ජනාධිපති සම්මාන, සරසවි වගේම තවත් සම්මාන ගණනාවකින්ම පුංචි අවධියේදී ඇගයීමට පාත්‍රවීමට මට හැකියාව ලැබුණා.
• මොනවද ඔබේ සංගීත ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු?
සංගීතය කියන්නේ මගේ ආත්මය. පාසල් යන අවධියේදිම උත්තර භාරතීය සංගීත විභාගය අවසන් කිරීමට මට හැකියාව ලැබුණා. ඒත් මට තව බොහෝ දෑ ඉගෙන ගන්නට තිබෙනවා. ඒ වගේම සංගීතයේ මගේ පරිමාව තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා ලබන වසරේ පශ්චාත් උපාධිය හැදෑරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.