දුක - සතුට - ත්‍රාසය සපි­රුණු 'පිනි' දර්ශන තල­යට ගියෙමු | සිළුමිණ

දුක - සතුට - ත්‍රාසය සපි­රුණු 'පිනි' දර්ශන තල­යට ගියෙමු

පිනි අධ්‍යක්ෂ ශාන්ත සොයිසා

නුගේගොඩින් දෙල්කඳ පාරට හැරුණු අප රැගත් වෑන් රථය 'පිනි'ටෙලිනාට්‍යයේ දර්ශන තලය සොයා පිම්මේ ඉගිල යයි.ඒ රසඳුන පාඨක ඔබ වෙනුවෙන් පිනි ටෙලි නාට්‍යය රූගත කෙරෙන අයුරු ගෙන එන්නටය. පාර අසල නවතා තිබූ 'පිනි'ටෙලි නාට්‍යයේ නාම පුවරුවක් ඇලවූ ලොරියක් නෙත ගැටුණු රියැදුරා රථය ඒ අසල නතර කළේය. මමත් ඡායාරූප ශිල්පී විමල් කරුණාතිලකත් රථයෙන් බැස අසල තිබූ තෙමහල් ගොඩනැගිල්ලක් කරා ගමන් කළෙමු. අප පුංචි ති‍රයේ දකින රංදීශ්, දීලීක, රොෂාන්, ඩැඩා මහත්තයා, සම්පත්, ස්වේතා, චන්ද්‍රා, සුද්දි චරිත වලට පණ පොවන ආදරණීය නළු නිළි පිරිස සියල්ලම අද දර්ශන තලයේ සිටිති. පිනි ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ශාන්ත සොයිසා දර්ශනයක් රූගත කිරීමට සැරසෙයි.

නිහැඬියාව අතරින් එදෙසට ගමන්කළ අප පිළිගත්තේ සහාය අධ්‍යක්ෂ ප්‍රසන්න නිරෝෂන් විජේසිංහයි. අප වෙත පැමිණි පිනි අධ්‍යක්ෂ ශාන්ත සොයිසා අපව සුහදශීලීව පිළිගෙන කතාබහ ඇරැඹීය.

'පිනි මම අධ්‍යක්ෂණය කළ නමවැනි ටෙලි නාට්‍යය. මෙයට පෙර පබා, පබළු, අමා, සඳා, රිතූ, වරාමලී, මිහිගා, නෙතූ යන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළා.පිනි ටෙලිනාට්‍යයට කලින් අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍ය සියල්ලම අතිශය ජනප්‍රියත්වයට පත් වුවා.මේ ටෙලි නාට්‍යයේ පිටපත මහේෂ් රත්සර මද්දුමආරච්චිගේ. මහේෂ් ගේ පිනි කතාවට ප්‍රේක්ෂකයන් බොහෝ කැමැතියි. මා අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍ය නමයේම පිටපත ඔහුගේ.මහේෂ් පොළොවේ පය ගහල ජීවත්වෙන මිනිහෙක් නිසා ඔහු මිනිසුන්ගේ සිතුම් පැතුම් හොඳින් හඳුනනවා. එම පිටපතුත් තාත්වික ඒ නිසයි. මේ ටෙලිනාට්‍ය නමයේම චරිත එකිනෙකට වෙනස්.මගේ පසුගිය ටෙලිනාට්‍යවල නළු නිළියන් කිසිවකු පිනි ටෙලිනාට්‍යයට සම්බන්ධකර ගන්නෙ නෑ.බොහෝ වෙලාවට නවක රංගන ශිල්පීන්ට හා ශිල්පිනියන්ට තැන දෙනවා. පබා අදත් රසිකයන් අතර ජනප්‍රිය ඒ නිසා වෙන්න ඇති. මෙයට පෙර අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය වලට වඩා වෙනස් තේමාවක් පිනි ටෙලිනාට්‍යයෙන් සමාජයට දෙනවා. ආදරයට එහා ගිය වත්මන් සමාජයේ මිනිසුන් ජීවත්වීමට ගන්නා විවිධාකාරයේ හැසිරීම් රටා පිනි තුළින් පෙන්වනවා.

වසර ගණනාවක්ම මා අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍ය සඳහා සුමති, රයිගම් සම්මාන උළෙලවලදී වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය බවට පත්වුණා. පිනි කොටස් එකසිය පනහක් පමණ රූගත කර අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ අවසන් වෙනතුරු පිනි සමග රැඳී සිටින්න. හොඳ අවසානයක් දකින්න ලැබෙයි.' ඊළඟ දර්ශනයට නළු නිළියන් සූදානමිනි. ශාන්ත සොයිසා අපෙන් සමුගත්තේ කාලය ඔවුනගේ කටයුතු වලට ඉතා වටිනා හෙයිනි.

මම දර්ශන තලයේ අනෙක් පසට ඇවිදින්නට පටන් ගතිමි. ඩැඩා මහත්තයා සුව නින්දකය.ඔහු දෙඇස් පියාගෙන මොනවාදෝ මුමුණයි.'බලන්නකො වයිෆ් රට ගියා ගියාමයි තවම ආවෙ නෑ.ළඟදි ලියුමක් නම් ආව නිව්සීලන්ඩ් ඉන්නවා කියල.'ඩැඩා මහත්තයාට ජීවය දෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සෙනෙවිරත්නයි.මම ඔහුට කතා කළෙමි‍.

'මොකද ප්‍රියන්ත අයියේ හීනෙන් කියවනවද ?'

එකවරම දෑස් ඇර මා‍ දෙස බැලූ ඔහු පිළිතුරු දුන්නේ සිනහ පිරි මුවිනි. 'නෑ නංගී දෙබස් මතක්කර ගන්නවා.'

'කොහොමද ඩැඩා මහත්තයාට ලැබෙන ප්‍රතිචාර ?'

'ප්‍රතිචාර හොඳටම හොඳයි.පෙර වැදගත් විදිහට ජීවත් වු බර්ගර් ජාතිකයෙක් බීමත්කම නිසා පවුලම විනාශයට පත්වන අයුරු තමයි මේ චරිතයෙන් පෙන්වන්නේ.මම කලින් නොකළ ‍චරිතයක් නිසා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි.වයිෆ් රට ගිහින් කිසිම තොරතුරක් නැතුව කාලයක් ගෙවුණා. මේ දවස්වල නම් එහෙන් මෙහෙන් පොඩි පොඩි ආරංචි එනවා.හොඳ රටක ඉන්නව කියල. ඒ ආරංචියත් විකුණගෙන සල්ලි ණයට අරගෙන බොන එක තමයි කරන්නේ.ලොකු ළමයි ඉන්න පියෙක්ගෙ චරිතයක් කරන පළමු වතාව මෙය. මුල් කාලයේ ටිකක් අසීරු වුණත් දැන් චරිතයට හුරුවෙලා නිසා හොඳින් කරගෙන යනවා. ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නෙ ඉස්සරහට බලාගෙන ඉන්නකෝ ඩැඩා මහත්තය තව හොඳ හොඳ වැඩ කරයි.'

ප්‍රියන්ත අයියා ඉන්නා තැන සිනා සාගරයකි.ඔහු රුපියල් සියයේ කොළයක් ගෙන එය විමල් අයියා අත තබන්නේ අනෙක් අයට පෙනෙන්නටය.විමල් අන්ද මන්දව බලන්නේ කිසිවක් සිතාගන්නට නොහැකිවය.

'ඔයාගෙනුත් ෆොටෝ ගහනවට සල්ලි ගත්තද.මගෙනුත් ඊයෙ කලින් ගෙදර යවන්නම් කියා සල්ලි ගත්තනේ. අනේ මෙහෙමත් ඒ. ඩී කෙනෙක්. මේවා පත්තරේටනම් ලියන්න එපා නංගී. හරි නෑනේ ' ප්‍රියන්තගේ විහිළු වලට හැමෝටම සිනහ යයි. ඇත්තටම පිනි දර්ශන තලයේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියනුත් නිෂ්පාදන මඩුල්ලත් එකාමෙන්ය. ශාන්ත සොයිසාගේ ටෙලිනාට්‍ය මේ තරමට සාර්ථක වීමට හේතුව මේ එකමුතුකමදෝ කියා මට සිතිණි.

රංදීශ්(සුරාජ් මාපා)රූ ගැන්වීම් හමාර වී පැත්තකට වී දහවල් ආහාරය ගනියි. ආහාර ගන්නා ගමන්ම රංදීශ් මා සමග දොඩමළුවුවේ තව ටික වේලාවකින් ඔහු ගේ කොටස් කීපයක්ම එක දිගට රූගතකිරීමට ඇති නිසාවෙනි.

'රංදීශ් කියන්නේ ගැටලු රැසකට මුහුණ දෙන චරිතයක්. මහේෂ්ගේ පිටපත හරිම ලස්සනයි. ඔහුත් මාත් කලාවට සම්බන්ධ වුණේ එකම කාලයේ.ඉස්සරහට රංදීශ් චරිතය තවත් ලස්සන වෙයි. මහේෂ් හා සාන්ත සුසංයෝගයෙන් නිර්මාණයවන පිනි ටෙලි නාට්‍යයට සම්බන්ධවීමට ලැබීම ගැන සතුටුයි. විශේෂයෙන් අධ්‍යක්ෂවරයා අපිට පූර්ණ නිදහසේ රඟපෑමට අවස්ථාව දෙනවා. පිනි කියන්නේ දුක, සතුට, ත්‍රාසය සියල්ල ඇතුළත් තාර්කිකව නැරඹිය හැකි ටෙලිනාට්‍යයක්.'

කැමරා ශිල්පී රොෂාන්, සහාය අධ්‍යක්ෂණය-නිරෝෂන් විජේසිංහ, වේෂ නිරූපණය-අනුර ජයසේකර, වේෂ නිරූපණ සහාය-මධුසංක දිසානායක, නිෂ්පාදන සහායක-සැම්සන් දෙව්නුවර, කැමරා සහායක-නදීශාන් මීතිරිගල, කලා අධ්‍යක්ෂණය-බන්ධුල වීරසේකර,සහාය කලා අධ්‍යක්ෂණය-ඩොනල් මාපලගම, ආලෝකකරණය-නිර්මල ගුණවර්ධන, නදීශාන්,අකිල තාරක, රන්දික ජයශාන්ත, දෙවන සහාය අධ්‍යක්ෂණය-ලක්මාල් බණ්ඩාර, නිෂ්පාදන කළමනාකරු-වික්ටර් කුරේ යන සියලුම ශිල්පීන්ගේ වෙහෙස මහන්සිය නොවන්නට පිනි මෙතරම් සාර්ථක ටෙලිනාට්‍යයක් ලෙසින් විකාශය නොවනු ඇත. 

Comments