තරු වැස්සක් පෑයූ ඩය­ලොග් රිදී රැයක් ප්‍රසං­ග­යෙන් | සිළුමිණ

තරු වැස්සක් පෑයූ ඩය­ලොග් රිදී රැයක් ප්‍රසං­ග­යෙන්

පසුගිය 17 වැනි ඉරුදින සන්ධ්‍යා භාගයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට තරු වැස්සක් ඇද හැලුණා. තරුවල දීප්තියෙන් හාත්පස ඒකාලෝක වුණා. මේ අහසින් බිමට වැටුණු තාරකාවන් නම් නොවෙයි. වේදිකාව හා රිදීතිරය ජය ගත් ජනප්‍රිය කලාකරුවන්ගෙන් තමයි මේ සන්ධ්‍යායාමය ඒකාලෝක වුණේ. මේ තරු වැස්ස ඇද හැලුණේ 15 වැනි වරටත් පැවැත්වුණු Dialog රිදී රැයක් ප්‍රසංගය වෙනුවෙනුයි. ඩයලොග් ආයතනය අනුග්‍රහය දැක් වූ එය සිනෙස්ටාර් පදනමේ සංවිධානයකි.

කලාව වෙනුවෙන් ඇප කැප වුණු වයෝවෘද්ධ කලාකරුවන් වෙනුවෙන් වෛද්‍ය හා ජීවිත රක්ෂණාවරයක් පිරිනැමෙන අතර වෛද්‍ය ආධාර අවශ්‍ය කලාකරුවන්ට අමතරව මාසික දීමනාවක් ලබාදීම මෙකී අරමුදලින් සිදු කෙරෙන මහඟු කර්තව්‍යයයි. මේ ගමනේ යෝධ ශක්තියක් ලෙස සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස සහ ප්‍රධානතම මෙහෙයුම්කරුවා වන ප්‍රවීණ සිනමා රංගනවේදී රවීන්ද්‍ර රන්දෙණිය මහත්වරුන් හැඳින්විය හැකිය.

මෙවර රිදී රැයක් වෙතින් සිනමාවට විශිෂ්ට සේවයක් කළ මාධ්‍යවේදීන් 05 දෙනකුට උත්තමාචාර සම්මාන පිරිනැමුණා. ඒ අතරට ආතර් යූ. අමරසේන, ඒ. ඩී. රංජිත් කුමාර, බන්දුල පද්මකුමාර, සිරි කහවල හා අර්නස්ට් වඩුගේ ඇතුළත්.

කලාවේ උන්නතියට කළ මෙහෙවර වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පිනී සෝනියා දිසාට උත්තමාචාර සම්මානයක් හිමි විය.

චන්න - උපුලි නර්තන කණ්ඩායමේ නිර්මාණශීලී නර්තනයන්ගෙන් ප්‍රසංගය තව තවත් ඒකාලෝක වුණා. ශ්‍රී ලාංකේය සිනමාවට වසර 70 ක් පිරීම ද, චන්න විජේවර්ධනයන්ගේ 60 වැනි ජන්ම දිනය මෙදිනට සපිරීම හේතුවෙන් බෙර 60 ක සංධ්වනියකින් ප්‍රසංගය තව තවත් හැඩ වුණා. මෙම ප්‍රසංගය අද (31) රාත්‍රී දෙරණ ටී වී නාළිකාවෙන් විකාශය වීමට නියමිතයි. 

Comments