
හෙට ඉඳල අලුත් දවසක්, අලුත් අවුරුද්දක ආරම්භයක් ඉන්ද්‍රචාපගේ සමීපරූපය සටහන් කරනවා.සුබපැතුම්, අනාවැකි කියන්නට කල් වැඩිවුණත්, ඉන්ද්‍රචාපගෙ පැතුම නම්, අපේ රටට, මේ පුංචි ශ්‍රී ලංකාවට 2018 අවුරුද්දවත් මොනයම් ප්‍රමාණයක හරි අවුල් තැවුල් අඩු,ස්වභාවික හිරිහැර කරදර අඩු ජනතාවට, ජන ජීවිතයට හිංසා පීඩා නොවන අවුරුද්දක් වේවා කියලයි. 2018 අවුරුද්ද උදාවන මේ මොහොතේ ඉන්ද්‍රචාපගෙ සමීපරූප අතරට පළමුවෙන්ම එකතුවෙන්නෙ දැනටමත් පටන්ගෙන තියෙන පෙබරවාරියේ දි උණුසුම් වීමට නියමිත රටපුරා පළාත්පාලන ආයතන රාශියකට ජනතා නියෝජිතයන් තෝරාගැනීමට පවත්වනු ලබන නගර, ගම්, ප්‍රාදේශීය සභා සිය ගණනාවක පාලනයට සුදුස්සන්කවුද කියා තීන්දු කරන මැතිවරණයයි. ඉන්ද්‍රචාපගෙ සමීපරූපයෙ මේ මැතිවරණය ඇඳෙන්නෙ විශාල සමීපරූපයක් විදියටයි.2015 ජනවාරියේදී මේ රටේ සිදුවූ දේශපාලන විප්ලවයේ සමීපරූපය ඉන්ද්‍රචාපට සිහිවෙනවා.
මොනවිදියේ නොසිතූ නොපැතූ පරාජයක්ද එදා පාලනයේ සිටි, කවමදාකවත් ඔවුන් හැර වෙන කිසිම කෙනකුට මේ රට පාලනය කිරීමට ඉඩක් නැත යන ඒකාධිපති සිහින දුටු පාලකයන්ට අත්වුණේ? 2015 ජනතාවගේ අපේක්ෂා ඉටු කරන්නට ජනතාව නිවැරැදි මඟකට යොමුකරන්නට පෙරට ආ පිරිස් අතර පෙරමුණේ සිටි කලාකරුවන්, බුද්ධිමතුන්, සමාජ ක්‍රියාකාරීන්,වගේම මේ වෙනස කරන්නට පෙරදා නොවූ ප්‍රබලම සමාජ බලවේගයක් වූ අන්තර්ජාල සමාජ මාධ්‍ය, වෙබ් අඩවි, මුහුණු පොත ක්‍රියාකාරීන්ගේ දායකත්වය ඉන්ද්‍රචාපට පෙනෙනවා. 2015 ජනවාරියේ සිට 2018 ජනවාරිය තෙක් බලයේ සිටි රජය ඔවුන්ට ජයග්‍රහණය ලබාගන්නට පෙරට ආ පිරිස් අපේක්ෂා කළ, ඔවුනට රජය පොරොන්දු වූ අරමුණු කොතෙක් ඉටු කළා ද යන්න 2018 පෙබරවාරියේ දී පැවැත්වීමට නියමිත පුංචි මැතිවරණයේ ජයග්‍රහණය පිළිබඳ වැදගත් සාධකයක් වනු නොඅනුමාන බවයි ඉන්ද්‍රචාපගේ විශ්වාසය.
පසුගිය දශකය හෝ ඊට වඩා වැඩි කාලයක් තුළ පැවැත්වුණු ජනාධිපතිවරණ,මහා මැතිවරණ,පළාත්සභා,පළාත්පාලන මැතිවරණ ව්‍යාපාර සඳහා මෙරට කලාකරුවන් කෙතරම් සක්‍රීයව සහභාගී වූවා ද යන්න ඉන්ද්‍රචාපගේ පැරැණි සමීපරූප අතරට යන කල පෙනෙනවා. 94,ජනාධිපතිවරණයේ සිට පැවැත්වුණු සියලුම වර්ගයේ මැතිවරණ සඳහා එක් එක් පක්ෂ සඳහා ආධාර කළ විවිධාකාර කලා සංවිධාන, සංධාන, පිළිබඳ සමීපරූප ඉන්ද්‍රචාපගේ පැරැණි සමීපරූප අතර. නිදහස් කලා සංධානය,මෙරට ප්‍රථම ජනාධිපතිවරිය පත්කිරීමේ ඓතිහාසික අවස්ථාවේ සිට, ජනාධිපතිවරියක්, ජනාධිපතිවරයෙක් පත්කිරීමේ හා මැතිවරණ රැසක පෙරමුණෙහි සිටි කලා සංවිධානය වූ බව ඉන්ද්‍රචාපට මතකය. 2010, 2015, ජනාධිපතිවරණ සමය වන විට, නිදහස් කලා සංධානයේ පුරෝගාමී කලාකරුවන් සංධානය අත්හැර පුරවැසි බලය, සමාජ සාධාරණත්වය සඳහා ජාතික ව්‍යාපාරය වැනි ප්‍රබල, ක්‍රියාකාරී සංවිධාන සමග එක් වී පවුල් සමාගමක් සතුව පැවැති රාජ්‍ය පාලනය ඉන් මුදවාගෙන ලේඛනයේ, භාෂණයේ නිදහස සුරැකෙන, යම් යම් සාධනීය ජනතා තීන්දු තීරණ ගනු ලැබේ යැයි විශ්වාසය තැබූ පාලක පිරිසකට බලය ලබා දුන් අයුරු ඉන්ද්‍රචාප දකී.
ඒ සඳහා උරදුන් බොහෝ කලාකරුවන් කලකිරීමෙන්, උදාසීනව සිටිනා'තරෙහි නිදහස් කලා සංධානය 94දී පිහිටුවාගැනීමට පෙරමුණ ගත් ඇතැම් කලාකරුවන් එම සංධානයේ නමින්ම රජයට විරුද්ධ බලවේග බලයට ගෙන ඒමේ වෑයමක නිරතව සිටින බව ද පෙනේ. දෙපාර්ශවය වෙනුවෙන් පෙනී සිටිනා කලාකරුවන් අතර කලහකරුවන් ද හමුවන බව ඉන්ද්‍රචාප දකී.පසුගිය ජනාධිපතිවරණ සටනින් පරාජය වූ කලාකරුවන් කලාකාරියන්, පරාජය දරා ගනු නොහී කුමන ආකාරයකින් හෝ යළි බලය ලබා ගන්නට නොහැකිද යන්න වැනි ආවේගශීලී ප්‍රකාශ කළ බව ද ඉන්ද්‍රචාපගේ සමීපරූප සාක්ෂි දරයි.
තමන්ගේ දේශාපාලන අරමුණු කුමක් වූවත්,ඒවා ඉටු නොවූ කල්හි තමන් කලාකරුවන් බව අමතකකොට,ගමේ ගොඩේ නූගත් ගැහැනු මිනිසුන් සේ හැසිරෙමින්,බැන අඬ ගැසීම් කිරීම නම් කලාකරුවකුගේ ලක්ෂණය නොව කලහකරුවකුගේ ගති ස්වභාවය බවයි ඉන්ද්‍රචාප දකින්නේ. කලාකරුවන් යනු ජනතා කැමැත්ත ලබාගෙන තම උදර පෝෂණය මුල්තන්හි ලා සලකන දේශපාලනඥයන්ට වඩා උදාර පිරිසක්ය යන්න සිත තබාගෙන දේශපාලනය
කරන්නේ නම් ඔවුන් අතර කලහකරුවන් සිටිනු දක්නට නොලැබෙනු නොඅනුමානය. ඉදිරි මැතිවරණයේ දී හෝ කලහකරුවන් වෙනුවට ජනතා හිතවාදී කලාකරුවන්ගේ හඬ පමණක් ඇසෙනු ඇතැයි ඉන්ද්‍රචාප ප්‍රාර්ථනා කරයි.