ඉතා­ලිය හරහා මෙජි­ගෝ­රි­යට - 05 | Page 2 | සිළුමිණ

ඉතා­ලිය හරහා මෙජි­ගෝ­රි­යට - 05

ඉතාලියේ රෝම නගරයටත් එතැනින් ක්‍රොඒෂියාව හරහා මෙජිගෝරි රටට ගිය ගමනේ සංචාරක අත්දැකීම ඔබ සමඟ බෙදාගන්නා මෙම ලිපිපෙළේ පස්වැනි දිග හැරුමයි මේ. තවමත් අප සිටින්නේ පළමු වැනි දිනයේ වතිකානයට ගොස් එහි ස්ථාන දැක බලාගන්නට ගිය ගමනේදී ලැබූ අත්දැකීම් පිළිබඳව කතාකරමින් වුවත් පසුගිය සතියේ තිබූ විශේෂත්වය නිසා දෙවැනි දිනයේ අප ගිය මේරි මේජර් බැසිලිකාවේ තොරතුරු ඔබට ගෙන ආවා මතක ඇති.

අද අප ඔබ සමඟ මේ යන්නට සැරසෙන්නේ වතිකානයේ ඇති පාප් වහන්සේගේ බැසිලිකාව වන සාන්ත පීතර ( Papel Basilica of St. Peter ) බැසිලිකාවටයි. මෙයට සාන්ත පීතර නම ලැබී ඇත්තේ ජේසුස් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයා වූ සාන්ත පීතර ( පේදුරුතුමා ) ගේ දේහය මෙහි ප්‍රධාන අල්තාරය යට මිහිදන් කර ඇති නිසයි. සාන්ත පීතර තුමන් (පේදුරු ) ගලීලයේ මසුන් මරන්නකු බවත් ජේසු තුමන්ගේ ගෝලයන් 12 දෙනාගේ නායකයා ලෙස කටයුතු කළ බවත් දැක්වෙනවා. එසේම ජේසුතුමන් උත්ථානයෙන් පසුව පේදුරු තුමන්ට දර්ශනය වූ බවත්, කතෝලික සභාවේ නායකත්වය පේදුරු තුමන්ට පැවරූ බවත් දැක්වෙනවා. නීරෝ අධිරාජ්‍යයා රෝමය පාලනය කළ කාලයේ කතෝලිකයන් කුරිරු ලෙස මරා දැමුණු අතර, පේදුරු තුමන්ද කුරුසියේ ඇණ ගසා මරණයට පත්කර තිබෙනවා. එතුමන්ගේ ඉල්ලීම අනුව කුරුසියේ ඇණ ගසා ඇත්තේ හිස පහළට සිටින ලෙසයි. එතුමන් මරණයට පත්කර ඇත්තේ සාන්ත පීතර චතුරස්‍ර යේ ඔබිලිස්ගේ කුලුණ ඇති ස්ථානයේයි. ඉන්පසු එතුමන්ගේ දේහය වර්තමානයේ සාන්ත පීතර බැසිලිකාවේ අල්තාරය ඇති ස්ථානයේ මිහිදන් කර ඇති අතර පසුව එම ස්ථානයේ කුඩා පල්ලියක් ඉදිකර තිබෙනවා.

4 වැනි ශත වර්ෂයේ ක්‍රි.ව. 319 සිට 333 දක්වා රෝමය පාලනය කළ කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා පේදුරුතුමාගේ දේහය මිහිදන් කළ ස්ථානයේ ඉදිකර තිබූ කුඩා පල්ලිය වඩාත් විශාල කොට නව පල්ලියක් තනවා තිබෙනවා. ඉන්පසු මෙම ස්ථානයේ 15 වැනි ශතවර්ෂය තෙක් ජීවත්වී ස්වර්ගස්ථවූ පාප් වහන්සේලාගේ සහ තවත් ප්‍රභූවරුන්ගේ දේහයන් තැන්පත් කිරීමට භාවිතා කොට තිබෙනවා. 15 වැනි ශතවර්ෂය වනවිට මෙම ස්ථානය ගරා වැටුණු ස්ථානයක් බවට පත්ව තිබූ අතර,එය ප්‍රතිසංස්කරණය කිරීමට මුල පුරන ලද්දේ 5 වැනි නිකලස් පාප් වහන්සේයි. 2 වැනි ජුලියස් පාප්තුමා විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු වඩාත් විශාලව කිරීමට සැලසුම් කර තිබේ.උන් වහන්සේ මෙහි නිර්මාණ කටයුතු Donato Bramante හට පවරා ඇති අතර, බ්‍රැමෙන්ටේ ගේ සැලසුමට අනුව 1506 වසරේදී මෙහි මුල්ගල තබා තිබෙනවා. 1513 දී 2 වැනි ජුලියස් පාප්තුමා ස්වර්ගස්ථ වන අතර, බ්‍රැමෙන්ටේ සමග මෙහි ඉදිකිරීම් කටයුතු කිරීමට Giuliano da Sangolo, Fra Giocondo සහ Raphael යන නිර්මාණ ශිල්පීන්ට පැවරෙනවා.එහෙත් මෙහි ඉදිකිරීම් නියමාකාරයෙන් සිදු නොකෙරෙන්නේ සැන්ගලෝ සහ ගියෝකොන්ඩෝ 1515 දීත්, රෆායල් 1520 දීත් මියයාම නිසාවෙනි. පසුව 3 වැනි පෝල් පාප්තුමා විසින්1546 දී පුනරුද යුගයේ ( 16 වැනි ශත වර්ෂයේ ) විශිෂ්ට ඉංජිනේරු තාක්ෂණය සහ ගෘහ නිර්මාණ තාක්ෂණ ඥානයෙන් අගතැන්පත් අසහාය නිර්මාණ ශිල්පියා ලෙස සැලකෙන මයිකල් ආන්ජලෝට මෙම බැසිලිකාව නිර්මාණය කිරීමේ කටයුතු පවරා තිබෙනවා. මයිකල් ආන්ජලෝ යනු චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පයෙහි ඉතා පුදුම හැකියාවන් ගණනාවකින් යුතු අග්‍රගණ්‍ය නිර්මාණ ශිල්පියෙකි. ඔහු සිස්ටීන් චැපල් හි සිවිලිමේ චිත්‍ර, සාන්ත ජෝන් ලැටරන් හි ප්‍රථිමා ඇතුළු විශිෂ්ට නිර්මාණ ගණනාවක් ඒ වනවිටත් නිමකර තිබී ඇත. ඒ අනුව මයිකල් ආන්ජලෝ මෙම බැසිලිකාව ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, ඔහුට පෙර මෙය නිර්මාණය කිරීමට සැලසුම් කළ Bramante ගේ සැලසුම වැඩිදියුණු කොට මෙය ඉදිකිරීමට අවශ්‍ය සැලසුම් ඇඳ තිබෙනවා.එසේම පැරැණි නිර්මාණ ශිල්පීන්ගේ අදහස් රැගෙන විශාල දැක්මකින් වැඩ කර ඇති බවත් සඳහන්. මෙහි සමහර ස්ථාන වල ඇති පැරැණි ඉදිකිරීම් ඉවත් නොකර ගොඩනැගීමේ කටයුතු කර තිබීමෙන් ඒ බව සනාථවන බව ඉතිහාසඥයින් සඳහන් කරනවා. මෙම සාන්ත පීතර බැසිලිකාවේ අනන්‍යතාව වන ගෝලාකාර (බුබ්බුලාකාර) පියස්ස ( Dome) නිර්මාණය කිරීම ආරම්භ කර ඇත්තේ 1547 ජනවාරි පළමුවැනිදා වන අතර මයිකල් ආන්ජලෝ මියයන තෙක්ම එහි ගොඩනැගීමේ කටයුතු වල නියැලී තිබෙනවා.ඒ අනුව 1564 දී මයිකල් මියයන අතර ( වයස අවුරුදු 88 ) ඒ වනවිටත් එහි ඉදිකිරීම් සියල්ලම පාහේ අවසන් කර තිබී ඇති නමුත් සම්පූර්ණයෙන් නිමා කිරීමට නොහැකිවී තිබෙනවා.පසුව 5 වැනි පියුස් පාප්තුමා විසින් මයිකල් යටතේ සිටි බැරෝසි ඩා විග්නලා සහ ජෝජියෝ වසාරි යන නිර්මාණ ශිල්පීන් දෙදෙනාට මයිකල්ගේ සැලසුමටම අනුව කටයුතු නිමා කිරීමට පවරා තිබෙනවා. මෙම බැසිලිකාව ගොඩනැගීමේ කටයුතු මේ ලෙස නිමා කර තිබූ නමුත් වර්තමානයේ අප දකින අභ්‍යන්තර අලංකරණ කටයුතු සිදුකර ඇත්තේ 1585 දී සික්ස්ටස් පාප් වහන්සේගේ පත්වීමෙන් පසුවයි. උන්වහන්සේ මෙහි කටයුතු Giacomo Della Porta ට පවරන අතර, ගියාකොමෝ පාප්තුමාගේ කාලය අවසන් වනවිට (1590 ) මෙහි වැඩත් අවසන් කොට තිබෙනවා.

සාන්ත පීතර තුමන් පළමු පාප්තුමන් ද වනවා. රෝමානු කතෝලික පල්ලි අතරින් ශුද්ධ වූ පල්ලිය ලෙස හඳුන්වන මෙම සෙන් පීටර්ස් බැසිලිකාව පුනරුද යුගයේ ගෘහ නිිර්මාණ විශාල ලෙස ඇතුළත් ලොව විශාලතම පල්ලියයි. එහෙත් මෙය කතෝලික සභාවේ මවු පල්ලිය මෙන්ම රෝම පදවියේ ප්‍රධාන පල්ලිය නොවන නමුත් කතෝලික පල්ලි අතරින් ශුද්ධ පල්ලිය මෙන්ම සියලු පල්ලි අතර ශ්‍රේෂ්ඨ පල්ලිය ලෙස සලකයි. මෙය විශේෂයෙන් ලොවපුරා කිතුනු බැතිමතුන්ගේ වන්දනා ස්ථානයක් වන අතර පාප්තුමා ගේ විශේෂ දේව මෙහෙයන් පැවැත්වෙන පල්ලියයි. මෙහි ඉහළ මාලයේ සඳලු තලය සාන්ත පීතර චතුරස්‍රයට විවෘතව ඇති අතර පාප්තුමා නත්තල් දිනයේ දේව මෙහෙය මෙන්ම එවැනි විශේෂ දේව මෙහෙයන් අවස්ථාවලදී සාන්ත පීතර චතුරස්‍රයේ රැඳී සිටින බැතිමතුන් අමතන්නේ මෙම සඳලු තලයේ සිටයි.

මෙහි ඉතිහාසය පිළිබඳව ඉතා දීර්ඝ විස්තරය සඳහන් කළේ මෙම බැසිලිකාවේ ඇති වැදගත්කම, දැවැන්ත බව පිළිබඳවත්, මෙවැනි දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මොනතරම් කාලයක්, ශ්‍රමයක් වැයවන්නට ඇති බවත් පිළිබඳව ඇතිවන කුතුහලය නිවිම පිනිසයි. වතිකාන කෞතුකාගාරය නැරඹූ පසුව ඊළඟට පිවිසෙන්නේ මෙම බැසිලිකාවටයි. මෙයට පිවිසෙන්නට පෙර අපට දකුණු පසින් පාප් වහන්සේගේ අලංකාර උද්‍යානය දිසවෙයි. අප දැන් මෙම බැසිලිකාව අභ්‍යන්තරයට ඇතුළුවීමට සූදානම් වෙමු. ක්වෙස්ට් ඩෙස්ටිනේෂන්ස් ආයතනයේ සංචාරක කළමනාකාරිනී ප්‍රසාදි නානායක්කාර මෙනෙවිය පෙරටුකොට ගත් අප කණ්ඩායම සංචාරක මඟ පෙන්වන්නිය රොබර්තෝ සමඟින් එහි වම්පස ඇති දොරෙන් ඇතුළු වීමු. මෙහි ඇතුළට පිවිසෙන්නට දැවැන්ත ලෝකඩ දොරවල් දෙකක් ඇත. දකුණු පස ඇත්තේ ශුද්ධ වූ ද්වාරයයි. මෙය පාප්තුමන්ගේ ජුබිලිය වැනි විශේෂ අවස්ථාවලදි පමණක් විවෘත කරන අතර අතීතයේ මෙය ගඩොල් වලින් බැඳ වසා දමා තිබෙනවා. වර්තමානයේ අප දකින මෙම ලෝකඩ දොර නිර්මාණය කර ඇත්තේ 1950 දී Vico Consoti නිිර්මාණ ශිල්පියා විසිනි.

මෙම බැසිලිකාවේ අභ්‍යන්තරයට පිවිසි කල සැබැවින්ම අපගේ නෙත් අදහා ගන්නට නොහැකි වන්නේ මෙවැනි දැවැන්ත නිිර්මාණයක් ඉදිකළ මිනිසුන් මොනතරම් විශිෂ්ට නිිර්මාණ ශිල්පීන් දැයි සිතෙන නිසාය. ප්‍රතිමා , චිත්‍ර ඇතුළු නිර්මාණ දහස් ගණනක් ඇති මෙම බැසිලිකාවේ අභ්‍යන්තරයට පිවිසුණු පසු නෙත ගැටුණු මතකයේ රැඳුණු නිර්මාණ කිහිපයක් පිළිබඳව පමණක් මෙහි සඳහන් කරමි. මෙහි උතුරු දෙසට වන්නට මෙම බැසිලිකාව නිර්මාණයෙහි ඉතා දැවැන්ත මෙහෙවරක් කළ අසාමාන්‍ය මිනිසා වන මයිකල් ආන්ජලෝ ගේ විස්මිත නිර්මාණය වන ඔහු වයස 24 දී නිර්මාණය කර ඇති ‘පියෙටා‘ ප්‍රතිමාව දැකගත හැකියි. මයිකල් කර ඇති විශාල නිර්මාණ ගොන්න අතරින් ඔහුගේ අත්සන ඇති එකම ප්‍රතිමාව ලෙස හැඳින්වෙන මෙය වීදුරුවකින් ආවරණය කර තිබෙනවා. ඒ 1972 දී ඕස්ට්‍රේලියානු ජාතිකයකු මෙය විනාශ කිරීමට උත්සාහ ගැනීමෙන් පසුව එහි ආරක්ෂාව පිනිසයි.

ඉන්පසු සාන්ත සෙබස්තියන් තුමන්ට කැප කළ කුඩා පල්ලිය, ස්වීඩනයේ ක්‍රිස්ටිනා රැජනගේ ප්‍රතිමාව, 7 වැනි ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සොහොන දැකගත හැකිය.

අභ්‍යන්තරයේ මැද කොටසට වන්නට සාන්ත පීතර තුමන් වාඩිවී සිටින ඉරියව්ව ඇති ලෝකඩ ප්‍රතිමාවක් දැක ගත හැකි අතර මෙහි ඇතුළුවන සෑම බැතිමතෙක්ම පාහේ පාදයක් මත අත තබා ආශීර්වාද ලබා ගන්නට අමතක නොකරති. 1720 නිර්මාණය කර ඇති ශුද්ධවූ ජලය ඇති විශාල භාජන දෙකක් ඇති අතර 6 වැනි පියුස් පාප් වහන්සේ දණගසා සිටින විශාල පිළිරුවද දැකගත හැකිය.

මෙහිදී දැක ගත හැකි අති විශිෂ්ට නිර්මාණ දෙකක් පිළිබඳව සඳහන් කළ යුතුමය. ඒ මයිකල් ආන්ජලෝගෙන් පසුව බිහිවුණු තවත් විශිෂ්ට නිර්මාණ ශිල්පියකු වූ Gian Lorenzo Bernni විසින් කර ඇති ලෝකඩ පුටුව සහ අල්තාරය ආවරණය කරන වියනයි. බෙර්නිනී කුඩා අවධියේ මෙම බැසිලිකාව නිර්මාණය කරන විට නැරඹීමට පැමිණ ඇති අතර , කවදාහෝ මෙහි නිර්මාණ කරන්නට එන්නට ඔහු අධිෂ්ඨාන කරගෙන තිබෙනවා. ඒ අනුව වයස 20 දි පමණ මෙහි නිර්මාණ වලට සම්බන්ධ වන බෙර්නිනී සාන්ත පීතර තුමන් වාඩිවී සිටි පුටුව තිබුණු ස්ථානයේ ලෝකඩ වලින් පුටුවක් නිර්මාණය කර තිබෙනවා. බෙර්නිනි කළ අති විශිෂ්ට නිර්මාණය වන්නේ මෙහි ප්‍රධාන අල්තාරය ආවරණය වන අයුරින් නිමවා ඇති දැවැන්ත ලෝකඩ වියනයි. (කැනපි ) මෙය නිිර්මාණය කිරිමට බෙර්නිනී ලෝකඩ ලෝහ ටොන් 32 ක් භාවිතා කර ඇති අතර ඔහුට ඒ සඳහා වසර 9 ක් ( 1623- 1634) ගතවී තිබෙනවා. මෙය මුලින්ම නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත්තේ කාලෝ මැඩනි නම් නිර්මාණ ශිල්පියා විසිනි. එසේම කාලෝ නිර්මාණ ශිල්පියා සැලසුම් කර වැඩ අවසන් නොකළ නිර්මාණ කිහිපයක්ම බෙර්නිනී විසින් නිම කර තිබේ. ඝාණ්ඨාර කුලුණ ද ඒ අතර එක් නිර්මාණයක්.

මෙම බැසිලිකාවේ පොළොව යට ඇත්තේ පාප් වහන්සේලා ඇතුළු ප්‍රභූවරුන්ගේ සිරුරු මිහිදන් කර ඇති ස්ථානයයි. සුදු පැහැ කිරිගරුඬ පාෂාණ ගලින් කළ මෙම සොහොන් ගෙයට පිවිසෙන පියගැට පෙළ ඇත්තේ බැසිලිකාවේ මැදට වන්නටයි.

අප නිහඬව එහි ඇතුළු වීමු. මෙහි සියයකට අධික සිරුරු මිහිදන් කර තිබේ. පාප්තුමන්ලා 91 ක් දෙනකු, දෙවැනි ඔටෝ රෝමන් අධිරාජ්‍යයා, ජේම්ස් ෆ්‍රැන්සිස් එඩ්වඩ් ස්ටුවර්ට් සහ ඔහුගේ පුතුන් දෙදෙනා, බිලොස් පැස්කාටි කාඩිනල් තුමා, රජකම අතහැර කතෝලික ආගම වැළඳගත් ස්වීඩනයේ ක්‍රිස්ටිනා රැජන, සාන්ත ඉග්නේෂෂ් ඔෆ් එන්ටියෝප් යන අයගේ සිරුරු මේ අතර තිබෙනවා. එසේම මෙහි මෑතක තැන්පත් කර ඇත්තේ දෙවැනි ජුවාම් පාවුලු පාප් වහන්සේගේ සිරුරයි. ඒ 2005 අප්‍රියෙල් 8 වැනිදා.

අපට මේ සියල්ල දැකබලා ගන්නට තිබුණේ ඉතා අඩු කාලයකි. එහෙත් ඔබ මෙම ස්ථානය දැක බලා වන්දනා කරන්නට යන්නේ නම් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන් කරන්නට සූදානමින් යන්නැයි මම ඔබට යෝජනා කරන්නේ ආගමික වශයෙන්, ඓතිහාසික වශයෙන් මෙන්ම නිර්මාණශීලීබවෙන් අනූන නිර්මාණ දහස් ගණනක් මඟනොහැර හොඳින් දැකගත යුතු බැවිනි.

ලබන සතියේ සාන්ත ජෝන් ලැටරන් බැසිලිකාවට යමු

 

Comments