අලුත්ම ප්‍රති­කාර ක්‍රම­යක් නව වසරේ සමා­ජ­යට හඳු­න්වාදුන්නා | Page 2 | සිළුමිණ

අලුත්ම ප්‍රති­කාර ක්‍රම­යක් නව වසරේ සමා­ජ­යට හඳු­න්වාදුන්නා

 

නිර්වාන් සේනානායක ගම්බද වැදගත් පවුලක එකම පුතා යි. දෙමාපියන්ගේ එකම අපේක්ෂාව තම පුතු වෛද්‍යවරයකු වනු දැකීමයි. දෙමාපියන්ගේ අදහස ඉටුකරලීම සඳහා නිර්වාන් තම ගම් පෙදස අතහැර කොළඹට පැමිණෙයි. එහිදී නිර්වාන්ට දැනෙනුයේ විවිධ දූෂණ හා අපරාධවලින් පිරි සමාජ ක්‍රමයක් මෙහි ඇති බවයි. නිර්වාන් මෙම සමාජ අසාධාරණයන්ට විරුද්ධව විවිධ අරගල කිරීමට පෙළෙඹයි. නිර්වාන් කොළඹ සමාජය Dr නවරියන් යන අන්වර්ථ නමින් හඳුන්වයි.සැබැවින්ම ඔහුගේ රෝගීන් බවට පත්වනුයේ අසාධාරණයට ලක්වූ ජනතාවයි. ඒ සඳහා විවිධ උපක්‍රම ඔහු විසින් භාවිත කරමින් සියල්ලන් හට සහනය ළඟා කර දීමට ක්‍රියා කරයි ද? මේ සියල්ලටම මුහුණ දෙන නිර්වාන් වෛද්‍යවරයකුවීමේ සිහිනය සැබෑකර ගනියිද? එය සිදු කරන්නේ කෙසේද? Dr. නවරියන් හට සැබෑ ලෙසම ‍වෛද්‍යවරෙයක් ‍විය හැකිද? මෙම සියල්ලටම ඔබට පිළිතුරු ලැබෙනුයේ ආදරය, කරුණාව, කුතුහලය, අභියෝග , හාස්‍යය රැගෙන මේ දිනවල සිනමා ශාලා රැසක තිරගත වන Dr. නවරියන් චිත්‍රපටය නැරැඹීමෙනි. ජනතාවගේ නළුවා ලෙස ප්‍රේක්ෂක ආදරය, ගෞරවය නොඅඩුව දිනා ගත් සිංහල සිනමාවේ සුපිරි තරුව ප්‍රවීණ නළු, අමාත්‍ය රන්ජන් රාමනායක නැවතත් කරලියට පැමිණ සිටින්නේ Dr. නවරියන් හෙවත් Dr. නිර්වාන් ලෙසයි. නව වසරේ ඇරැඹුමත් සමඟ සුපිරි නළු රන්ජන් ඔහුගේ කලා දිවියේ තොරතුරු මෙන්ම තිරගතවන Dr. නවරියන් චිත්‍රපටය පිළිබඳවත් අප සමඟකතා බහ කළා.

 හෙටින් ඇරැඹෙන්නේ නැව්ම් පැතුමින් බර වූ අලුත් අවුරුද්දක්. නව වසරේ ඔබේ රසිකයන්ට කියන්නට යමක් අනිවාර්යයෙන්ම ඇති?

හෙට දිනෙන් ඇරැ‍‍‍ඹෙන 2018 නව වසර සුබම සුබ නව වසරක් වේවා! කියා මගේ මුළුමහත් රසික ජනතාවටම‍ මම ප්‍රාර්ථනා කරනවා. සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත කාලයක් ඉදිරියේ දී ජනතාවට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ නවතම රඟපෑම් ඇතුළත් Dr. නවරියන් චිත්‍රපටය නරඔන්න කියා මම රසික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අලුත් අවුරුද්දේ අලුත් චිත්‍රපටයකින් ඔබ රසිකයන් අතරට එන්නට හිතුවේ ඇයි?

'මායා' චිත්‍රපටයෙන් පසුව Dr. නවරියන් චිත්‍රපටයෙන් රසිකයන් අතරට එන්නට ලැබීම ඇත්තටම සතුටුයි. අලුත් අවුරුද්දේ තිරගත වන්නේ මම අධ්‍යක්ෂණය කළ හතරවැනි චිත්‍රපටය. මම මීට පෙර අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වගේම Dr. නවරියන් චිත්‍රපටයත් මේ වන විට ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වන පවුලේම චිත්‍රපටයක් බවට පත්වෙලා. මඟතො‍ටේ දී, ජනතාව හමුවන තැන් වලදී වගේම සමාජ ජාලා මාධ්‍ය ඔස්සේත් මගේ ෆෑන්ස්ලගෙන් මට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි.

Dr. නවරියන් වැනි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට හිතුවේ ඇයි?. සමාජ යථාර්ථය පෙන්වන්නද? වෛද්‍යවරුන් අපහසුතාවයට පත් කරන්නද?

මම හුඟක් ආසයි මේ චිත්‍රපටයට. ලෝකයේ විවිධ භාෂාවලින් නිර්මාණය වෙන චිත්‍රපට නිතර මම නරඹනවා. මේ චිත්‍රපටයත් ලෝකයේ විවිධ භාෂාවන් ඔස්සේ නිර්මාණය වූ චිත්‍රපටයක්. පිටපත් රචකයින් විවිධ කතා තේමාවලින් යුතු තිර රචනා බොහොමයක් මට ගෙනැවිත් දුන්නා. ඒ අතරින් මගේ සිත ඇදී ගියේ Dr. නවරියන් කතා තේමාවටයි. මේ කතාවේ කාලීන , සංවේදී මාතෘකාවක් බව වැටහුණා. පොදුවේ වෛද්‍ය මාෆියාව ගැන කතා කරන්න සුදුසුම චිත්‍රපටයක් ලෙස හැඟුණා.

ඒ කියන්නේ?

මේ කතාවෙත් හැමදාම සමාජයේ වැඩියෙන්ම පීඩාවට පත්වන ජනතාව ගැනයි කතා බහට ලක් වෙන්නේ. මගේ මතයට අනුව වෛද්‍ය, නීතිය, ව්‍යාපාරික, රාජ්‍ය සේවය, ධනපතීන් මේ මොන ක්ෂේත්‍රයක් ගත්තත් මේ හැම කෙනෙකුටම යම් නියෝජනයක් මේ සමාජයේ තිබෙනවා. නමුත් අහිංසක ජනතාවට, ලෙඩුනට එවැනි නියෝජනයක් නැහැ. දැන් හිතන්න ධනපතියෙක් ලෙඩ වුණොත් යන්නේ ලංකාවේ රජයේ හෝ පෞද්ගලික රෝහලකට නෙමෙයි. කෙලින්ම පිටරට මවුන්ට් එළිසබෙත් වගේ රෝහලකට. නමුත් රෝහල්වල වැඩ වර්ජන වලින් හැමදාම බැටකන්නේ මේ ධනපතීන් නෙමෙයි. අසරණ දුප්පත් රෝගීන්. අද දොස්තරවරු බිහිවෙන්නේ, ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ අහිංසක පොදු මහජනතාවගේ මුදල් වලින්. නමුත් ඔවුන් එලෙස ඉගෙන ගෙන රෝහලට එන රෝගී ජනතාව ගැන හිතන්නේ නැතිව ස්ට්‍රයික් කරනවා. මෙය යුක්ති සහගත නැහැ. ඒ බව මම මේ චිත්‍රපටයේ ගීතයකින් පවා පෙන්වා දෙනවා. සමාජ යථාර්ථය පෙන්වන්න මිසක වෛද්‍යවරුන් අපහසුතාවයට පත් කරන්න ගත් උත්සාහයක් මෙතැන නැහැ.

ඔබේ හැම චිත්‍රපටයක්ම වංචාවට දූෂණයට එරෙහිවයි නැඟී සිටින්නේ?‍

මගේ හැම චිත්‍රපටයක්ම දේශපාලනය හා පාතාලය , අසාධාරණකම් හේතුවෙන් සාමාජයේ ගොඩනැගී තිබෙන ගැටලු ගැන තමයි කතාබහ කළේ. එවැනි සමාජයේ දූෂිත තැනක් ගැන තමයි Dr. නවරියන් චිත්‍රපටයෙන් කතාබහ කරන්නේ. ප්‍රමිතියෙන් තොර හොර දොස්තර කෙනෙක් වෙන්නට ඕනම පුද්ගලයෙකුට පුළුවන්. වගේම වෛද්‍යවරයෙක් MMBS ගෞරව නාමය ලබා ගත්තට වැඩක් නැහැ ඔහුගේ හදවතේ රෝගීන් කෙරෙහි කරුණාව, ආදරය, සංවේදනාව නැති නම්.

මේ චිත්‍රපටය මේ ‍මොහොතේ සමාජයට වැදගත් කියා ඔබ සිතනවාද?

මං හිතනවා ඇත්තටම. ඇත්ත කතා කරන නිසාම අද මට උසාවිවල , සුප්‍රීම් කෝට් එකේ නඩු රැසක් වැටිලා තිබෙනවා. මේ දේවල් මම කතා කළේ මම‍ වෙනුවෙන් මගේ ප්‍රශ්නෙකට නෙමෙයි. අසරණ ජනතාව වෙනුවෙන් හඬක් නැඟුවාටයි. අහිංසක අම්මා කෙනෙක් අඹගෙඩි තුනක් කැඩුවට ඇප ගන්න බැහැ. සපත්තු කුට්ටමක් ගන්න පොල්ගෙඩි අටක් ඇහින්දා කියලා කුඩා දරුවන් උසාවි ගෙනියනවා. උසාවියෙ ඈණුමක් ඇරියා කියලා මස අටක් සිර දඩුවම්. ඇත්තටම මේවා හරිම දුෂ්ටයි. කෝටි ගණන් ජනතාවගේ මුදල් හොරකම් කරපු අය අද වැජඹෙනවා. ඒ අයට සියල්ල නිහඬයි. එක මොහොතින් ඇප ගන්නවා. මේ ක්‍රමය ඇත්තටම වැරැදියි. මට අවශ්‍ය හැමදාම හඬක් නැති මිනිසුන් වෙනුවෙන් හඬක් නගන්නයි. ඒ වෙනුවෙන් මට ගුටිකන්න වෙයි, සිරගත වෙන්න වෙයි මේ සියල්ල මට සාමාන්‍ය පුරුදු දේවල්. ඒ ගැන මට දුකක් නැහැ. හැමදාම මම ජනතාව සමඟ ඉන්නවා සහ ඔවුන් වෙනුවෙන් කතා කරනවා.

අද සිනමාවේ ඔබ තවමත් ජනතාවගේ නළුවා. සුපිරි තරුව. මෙහෙම කියනවට ආසද?

ආසාවක් නැහැ කියලා කිව්වොත් බොරු. මම ආසයි එහෙම මට කියනවාට. මම අවුරුදු 12ක් එක දිගට ජනතාවගේ නළුවා ලෙස කිරුළු දිනුවා. ඒත් මේ මොන දේ ලැබුණත් ඒ සියල්ලටම වඩා මට වටින්නේ ජනතාව,මේ මනුස්සයා අපේ ප්‍රශ්න ගැන කතා කරනවා. අසාධාරණයට විරුද්ධව නැඟී සිටිනවා. මේ මිනිහා තමයි මැද පෙරදිග දුක්විඳින අපේ ගැහැනු වෙනුවෙන් කතා කරන්නේ, දුෂ්ට නීතීඥයන්ට විරුද්ධව කතා කරන්නේ කියලා ජනතාවගේ හදවතින්ම මට කියනවා නම් එය තමයි මගේ සැබෑ ටයිටල් එක.

'මැජික් Kiss' ප්‍රතිකාරය තමයි ඔබ අලුතෙන් සමාජයට හඳුන්වා දෙන අලුත්ම ප්‍රතිකාරය?

ඔව්. අලුත්ම ප්‍රතිකාර ක්‍රමයක් සමාජයට හඳුන්වාදෙන්නට ලැබීම ගැන සතුටුයි. රෝගියකුට වේවා, ඕනම පුද්ගලයකුට ආදරය, සෙනෙහස , කාරුණිකබව අවශ්‍යයි. 'මැජික් Kiss' එක සමාජයේ කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වාම එක ලෙස ප්‍රයෝජනවත්. රෝගියකුට වුණත් ප්‍රතිකාර විතරක් නෙමෙයි. වෛද්‍යවරුන් ඇතුළු සමාජයේ කරුණාව ආදරය අමා ඔසුවක් වෙනවා.

පීඩිත ජනතාව වෙනුවෙන්ම චිත්‍රපට කරන්නේ ඇයි?

ඔවුන් මා සමඟ නිතරම ඉන්න නිසා. මට නිතරම ඔවුන්ගෙන් ලිපි ලැබෙනවා. මේ දවස්වල වැඩියෙන්ම එන්නේ මට එල්ල වි ඇති නඩුවලට. ඔවුන් ලිපිවලින් දුරකතනයෙන් මට කියන්නේ, රන්ජන් අයියේ, ඔයා නඩු කියන්නේ මිලියනපතියන් එක්ක. අපිට ඔයාට දෙන්න තියෙන්නේ අපේ ආදරය ගෞරවය විතරයි කියළයි. මට ඉතින් ජීවිතේ දිනන්න දෙයක් නැහැ. ජනතාවගේ හදවත් තුළ මම ඉන්නවා. කොතැනට ගියත් ඔවුන් මාව අංක එකට තමයි සලකන්නේ. එය තමයි ජීවිතය පුරාම මා ලැබූ භාග්‍යවන්ත බව හා ජයග්‍රහණය.

ඔබ රඟපාන ආදර කතා නිතර දකිනවා. සැබෑ ජීවිතයේ ආදර කතාවක් ගොඩනගන්නේ කවදාද?

අනේ මන්දා...මම හිතන්නේ මට හැම විටම ආදරය නොඅඩුව ලැබෙනවා. රටේ හැම දෙනාගෙන්ම. මට මගේ ආදරය එක් තැනකට සීමා කරන්න බැහැ. මොකද මම නිතරම සමාජයේ විවිධ ප්‍රශ්න හමුවේ ගේම ඉල්ලන කෙනෙක්. එනිසා එකතැනකට සීමා වූ ආදරයක් මම පත්නනේ නැහැ. 

 

 

Comments