
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 07ක් ස්ථාවර සහනදායී මිලකට පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා රජය විසින් සකස් කරන ලද වැඩපිළිවෙළ උත්සව සමයට පමණක් සීමා නොකර තවදුරටත් පවත්වාගෙන යෑමට පියවර ගන්නා බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන රැසක් එකට එක්ව සිටි.
රජය විසින් නියම කර තිබෙන ස්ථාවර මිලට එකී ආහාර ද්‍රව්‍ය ලබාදීම සහතික කරනු පිණිස රට පුරා වෙළෙඳපොළ සෝදිසි කිරීමට සහ වැඩි මිලට අලෙවි කරන වෙළෙදුන් වැටලීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ක්‍රියාත්මක වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. නියමිත මිල සම්බන්ධයෙන් පමණක් නොව වෙළෙඳපොළේ අලෙවි කෙරෙන ආහාර ද්‍රව්‍යවල සෞඛ්‍යාරක්ෂිත බව සහ ප්‍රමිතිය පිළිබඳව දැඩි ලෙස සෝදිසි කෙරෙන අතර පසුගියදා කරන ලද එවැනි වැටලීම් මගින් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් සහ ලොකු ලූනු කිලෝ දහස් ගණනක් අත් අඩංගුවට ගනු ලැබිණ. ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළෙඳපොළ පමණක් නොව සෙසු වෙළෙඳසල් පවා මෙසේ පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.
පසුගිය දා පැවති ජීවන වියදම් කමිටු සාකච්ඡාවේදී දේශීය හා ආනයනික නාඩු සහල් කිලෝවක් සඳහා රු.74/= ක උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබීය. වැඩි ඉල්ලුමක් පවතින නාඩු සහල් විවිධ මිල ගණන් යටතේ විකිණීම නිසා එය පාලන මිලකට යටත් කළ යුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එසේම මෙ වන විට ලංකා සතොස නාඩු සහල් කිලෝවක් අලෙවි කරන්නේ රු.70 ටය. එමෙන්ම මේ වන විට සම්බා කිලෝවක මිල රු.71 ක් වන අතර, සුදු කැකුළු කිලෝවක මිළ රු. 62 කි. මෙම සහල් වර්ග දෙක ද ඉදිරි සතිය තුළ ස්ථාවර මට්ටමක නොපැවතියහොත් පාලන මිලකට යටත් කෙරෙන බව අමාත්‍යංශය වැඩි දුරටත් පවසයි.
ජීවන වියදම් කමිටුව අත්‍යාවශ්‍ය ආහාර වර්ග 7 ක ස්ථාවරව පැවතිය යුතු මිළ පිළිබඳව තීරණය කළ අතර එය පහත පරිදි වේ. සම්බා කිලෝව රු. 71.00, නාඩු කිලෝව රු. 74.00, ලොකු ලූනු කිලෝව රු. 135.00, සීනි කිලෝව රු. 100.00, අල කිලෝව රු. 139.00, සැමන් ග්‍රෑම් 425 රු. 127.00, පරිප්පු කිලෝ 1 රු. 124.00, හාල්මැස්සො කිලෝ 1 රු. 515.00
මෙම සහන මිල ගණන් යටතේ ලංකා සතොස අලෙවි සැල් 372 ක් ඔස්සේ ඉහත භාණ්ඩ ලබා ගත හැකි අතර, මෙම මිලටම කාගිල්ස්, කීල්ස්, ආර්පිකෝ හා ලාෆ් අලෙවි සල්වලින් ද ඉහත භාණ්ඩ වර්ග ලබා ගැනීමට හැකි බවත්, සමහර වෙළඳසල්වල මෙම මිල ගණන්වලට වඩා අඩුවෙන් ද, මෙම භාණ්ඩ මිලදී ගැනීමට තිබෙන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යායංශය පවසයි.