ජීවිතය දිගු වේවා තව හැත්තෑපස් වසක්! | සිළුමිණ

ජීවිතය දිගු වේවා තව හැත්තෑපස් වසක්!

ගුණසේන විතානයන්ගේ අසූපස්වැනි ජන්ම දිනය ගෙවී ගියේ ඉතා නිහඬවමය. උතුර දකුණ යා කරමින් ගම් නියම්ගම් පුරා සැරිසරමින් සාහිත්‍ය චාරිකාවේ යෙදුණු ඔහු තම උපන් දිනය කුරුලු පොත් පියසෙහි ගෙවා දැමීමට තෝරාගෙන තිබුණි. එතුමාට සුබ පැතීමට ගොස් සිටි ලේඛක කරුණාරත්න හඳුන්පතිරණ ගුණසේන විතානයන්ගෙන් පැනයක් විචාළේය. “මේ මොහොතේ ඔබේ කාලය ගෙවෙන්නෙ මොන වාගෙ දෙයකට ද?” තම මහලු විය අමතක කළ ගුණසේන විතානයන් ඉඳුරාම ප්‍රකාශ කළේ ජාතික සමගි මාවත ගොඩනැඟීමට අවසන් කාලය කැපකරන බවය. අභ‍ියෝගවලින් පිරුණ ඒ මාවත කොපමණ නම් කටුකද? මානව දයාවේ චමත්කාරය ස්පර්ශ කිරීමේ නොතිත් රුචිය ඔහුගේ වතින් පිළිබිඹු වේ. ගුණසේන විතාන මුළු ජීවිතයේ වැඩි ප්‍රමාණයක් ම ගෙවූයේ සාහිත්‍ය කලා මෙහෙවරට පමණක් නොවේ. ගිම් නිවාලූ සමාජයේ වෙනුවෙන් ද ඔහු පෙනී සිටියේය. එයට නිසි මඟ විද්‍යාත්මක සමාජවාදය බව විතානයන්ගේ විශ්වාසය විය.

මට ඔහු හමු වූ මුල්ම දවස මතකයට නැ‍ෙඟ්. ඒ මීට තිස් වසරකට කලිනි. නාගොල්ලාගම පිටිසර ගමක ගොවි තරුණයන් පැවැත්වූ සාහිත්‍ය සංවාදයක කතිකයා වූයේ ගුණසේන විතානයන් ය. ඒ සමඟ එස්.ජී. පුංචිහේවා සිටි බවද මතකය. එදා වාගෙම අද දවසේත් ගුණසේන විතානයෝ ජනතා සාහිත්‍ය සංවාදයේ කතිකාවත ගොඩනඟමින් දුක්ඛ සෙයියාවන් පුරති. ජනතා ලේඛකයකු ලෙස ජනතාවගේ හද ගැඹෙහි රිද්මය හඳුනාගනිමින් දෙනෝදාහක් අතර, හිඳීම ඔහ‍ුගේ පැතුම විය.

මැක්සිම් ගෝර්කි, බොරිස් පලවෝයි, ඇලෙක්ෂි තෝල්ස්තෝයි, මිහයිල් ෂොලහොව් වැනි ලේඛකයන්ගේ නිර්මාණ රසවිඳි බොහෝ තරුණ පාඨකයන් විතානයන්ගේ නිර්මාණයන්ට වඩාත් සමීප වූයේ, අර ලේඛකයන්ගේ නිර්මාණයන්හි ජීවගුණය එහි රැඳී ඇති බැවිනි. එකාකාරී පේරාදෙණි සහිත්‍යයෙන් මන්දගාමි වී සිටි මොහොතක ගුණසේන විතානයක්ගේ සාහිත්‍ය චින්තාව ප්‍රදීපයක් බඳු විය. එයින් සහෘදයන්ගේ කල්පනා ලෝකය වඩාත් පුළුල් වූවාට සැක නැත.

ගුණසේන විතානයන්ගේ නිර්මාණ කලාවේ අග්‍රඵලයක් වූයේ ඔහු විසින් රචනා කරනු ලැබූ කෙටිකතාය. මානව සබඳතාවන්ගේ අපූර්වත්වය විකසිත වන කෙටිකතා මෙන්ම මානව සබඳතාවන්ගේ බිඳවැටීම් ද ඒ නිර්මාණයන්ට පාදක වී ඇති බව විචාරක මතය වේ. ප්‍රකට ලේඛකයන් පිවිසි මගෙහි නොගොස් තමාට ආවේණික මඟකට පිවිසෙමිනි, ඔහු සිය කෙටිකතා නිර්මාණය කර ඇත්තේ. ඔහුගේ ‘පොළොවේ ගීතය’ කෘතියෙහි එන එක් කෙටිකතාවක් වන “තරුණ ලේඛකයෙකුගේ පාපොච්චාරණය’ සිරිල් සී. පෙරේරා විසින් ඉංග්‍රීසියට නඟා ආසියා අප්‍රිකා ලේඛකයන්ගේ කෘති එකතුවක පළකර ඇත. ගුණසේන විතානයන් ලියූ ‘අයිය වගේ කෙනෙක්” කෙටිකතා සංග්‍රහය රුසියානු, රුමේනියානු, බල්ගේරියා, ඉරාක, ඉංග්‍රීසි වැනි භාෂාවන්ට පරිවර්තනය වී ඇත. ඒ නිර්මාණ සමුච්චයේ එන “පාලම” කෙටිකතාව ආචාර්ය විමල් දිසානායක ඉංග්‍රීසියට ද, සිවා සුබ්‍රමනියම් දෙමළ බසට ද පරිවර්තනය කළේය.

පසුව ඒ කෙටිකතාව පිළිබඳ විමසුමකට ලක්කරමින් මහාචාර්ය කේ. සිවතම්බි අන්තර්ජාතික ‘ලෝටස්’ සඟරාවට ලියා ඇත. මෙහිදී මහාචාර්ය කේ. සිවතම්බිගේ අදහස් ඉතා වැදගත්ය. “ගුණසේන විතාන සැබෑ අව්‍යාජ ජනතා සාහිත්‍යයක් බිහි කිරීමට කැපවූ ලේඛකයකු බවට අපි දනිමු. මේ ගුණසේන විතානයන් ජනවාර්ගික සාහිත්‍යයක් ගොඩනැඟීමට යොමුවූ වග ඔහුගේ නිර්මාණයන් කියවන විට පෙනීයයි. යාපා පටුනේ දිසාපා‍මොක්, යාපනේ සීයා, සිංහල පියෙකුට දාව දෙමළ මවකගේ කුස උපන් දරුවෙකුගේ කතා වස්තුව, කල්ලතෝනි මනුස්සයා, ලැයිමේ සංගීතය, ඉසදින් සහෝදරයා, තෙයියනේ, සටන් විරාමය වැනි කෙටිකතා එයට නිදසුන්ය. පරිණත බුද්ධියේ උච්චතම අවස්ථාවකට පිවිසි කලාකරුවෙකු රචිත මෙම කෙටිකතා නිර්මාණ තුළින් මානව දයාවේ සුනිල් දියදහර ගලා යන බව සක්සුදක්සේ පැහැදිලිය. එලෙසින් ම විතානයන්ගේ මේ නිර්මාණ විදෙස් රටවල් හරහා ගලායෑම ආශ්චර්යක් නොවන්නේද?

ගුණසේන විතානයන්ගේ සාහිත්‍ය මෙහෙවරෙහි තවත් ඵලයක් වන්නේ නවකතා කලාවට සිදු කරන ලද සේවයයි. එකාකාරී කතා කලාව වෙනත් මානයකට යොමුකළ “පමාවෙලා වැහැපන් වැහි වලාවේ” නවකතාව අමතක කළ නොහැකිය. “ගැමුණුපුත් සාලිය සැඩොලෙකු සොයා ගිය බැවින්” නවකතාවේ එන සාලිය සහ අසෝක මාලාගේ සැලමුතු සෙනහසත්, ඔවුන් ගොරතර බවින් පීඩාවට පත්වීමත්, ඒ තුළින් ඇතිවන සමාජ කැලඹීමත් ලේඛකයා විමසුමට ලක්කරන අයුරු අපූර්වය. ඔහුගේ “සරදියෙල්” නවකතාව කොතරම් සුන්දර නිර්මාණයක් ද? නූගත් ගැමි තරුණයකු වූ සරදියෙල්ගේ අධිරාජ්‍ය විරෝධි අරගලය විතනයෝ මුළු ලෝකයේ ම ප්‍රචලිත කළහ. එංගලන්තයේ බකිංහැම් මාළිගයෙහි උපන් මනස් කල්පිතයක් වූ රොබින්හුඩ්ට වඩා සරදියෙල් සමාජ යථාර්ථයක් වූ වග ලෝකයා පසක් කරගත්තෝය. එහ ප්‍රතිඵලයක් වූයේ සර්දියෙල් ඉංග්‍රිසියට පරිවර්තනය කර ප්‍රකාශනය කිරීමට ඉන්දියානු පොත් සමාගමක් මුල්වීමය.

සීගිරිය ගොඩනැඟූ කලාකාමි කසුප් රජු සමඟ විතානයන් බැදි මිත්‍රත්වය මැනවින් විදහා දක්වන කෘතියකි; කඩුතුඩු සහ කඩුපුල් නවකතාව. මහාවංශ කතුවරයා විසින් ඝාතනය කරනු ලැබූ කසුප් චරිතයට සාධාරණයක් ඉටු කිරීමට විතානයෝ තම ප්‍රතිභාව කැපකරති. යෞවන සාහිත්‍ය නව මානයකට රැගෙන යමින් ඔහු ලියූ ‘යා‍පනේට පාලමක්’ ප්‍රබන්ධය කෙසේ නම් අමතක කළ හැකි ද? මානව සබඳතා සොයා ගිනිගත් කතරක තන්හි තන්හි ඇවිද ගිය දරුවන් පිළිබඳ කතාවකි. ඉතා සරල අනුභූතියක් වුවද විතානයෝ එයට ගැඹුරක් ලබා දෙති.

විතානයන්ගේ නොමද මැදිහත්වීම වූයේ සාහිත්‍ය විචාරයට ය. ඔහුගේ විචාරය පිළිබඳ මතභේද තිබිය හැකිය. ඔහු ඉතා ඉහළින් පිළිගත් සමාජ සංස්ථා යථාර්ථවාදී රීතිය ඔස්සේ සමාජය කියැවීමත්, ඒ තුළින් සෞන්දර්යාත්මක ප්‍රදීපය පාඨකයා තුළ ජනිත කිරීමත් අමතක නොකළ බව ප්‍රකාශ කළ යුතුය. සීගිරි සමාජයට එබී බලමින් ලියූ ‘සීගිරි ගීයේ සමාජ දැක්ම’ තුළින් ආලකමන්දා ව්‍යාධිය බිඳීගිය අයුරු පැහැදිලිය. “නොබැඳි රටවල සාහිත්‍ය චින්තනය, විරාගයේ වග, දුප්පතුන් නැති ලෝකයේ හැටි” ඔහුගේ විචාර කෘතීන් කීපයකි. මේ අතර ළමා සාහිත්‍ය පිළිබඳ ලියූ ‘ළමා සාහිත්‍ය’ විචාර කෘතිය ළමා සාහිත්‍යයට ප්‍රබල ආලෝකයක් ලබා දෙයි.

ප්‍ර. මු. ජයතිලක හේරත්

විතානයන්ගේ සාහිත්‍ය විචාරය ඉතා සංයමයකින් යුතුය. බැන හඬ ගැසීම් නැති එම විචාරය සුහද සංවාදයක විලාසය මවාපායි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමඟ ගුණසේන විතානයන් කළ විවාදය ඉතා ප්‍රකට ය. විවාදය නිම වනවාත් සමඟ මහාචාර්ය සරච්චන්ද්‍රයෝ ගුණසේන විතානයන්ගේ නිවසට පැමිණි අසිරිමත් මොහොත අමතක කළ නොහැකිය.

ගුණසේන විතානයන්ගේ නිර්මාණවලියෙහි අනගි මිනිමුතුසේ දිලෙන ළමා සාහිත්‍ය කෘති දරුවනට සුමිහිරි මකරන්දයක් වූ බව නිසැකය. “මහීගේ දරුවෝ” ළමා කෘතිය ජර්මන් භාෂාවටත්, ඉංග්‍රිසි භාෂාවටත් පරිවර්තනය කර පළකර ඇත. “පුදුම නලාව” යුක‍්රේනයේ දරුවන් අතර ඉතා ප්‍රකට ය. “දැතසුදු මාමා, හඳයගෙ පංගුව” වැනි ළමා කෘතීන් ගෙන් කරුණු මුදු ගුණයෙන් සදිසි චරිතයන් නිර්මාණය වූවා පමණක් නොව, එයින් දරුවන්ගේ අධ්‍යාත්මික ලෝකය ද ආලෝකවත් වූ බව නොරහසකි. අභ්‍යාස වෘද්ධ භාවයෙන් සපිරි විතානයන් ළමා සාහිත්‍ය තුළින් නව මිනිසා ගොඩනැඟීමට ගත් වෙහෙස ප්‍රශංසනීය වේ. අද සිදුවී ඇත්තේ අභ්‍යාසයෙන් තොරව වගකීම් නොමැතිව ළමා පොත් වෙළඳ පොළවෙත ගලා ඒමය.

ගුණසේන විතානයන්ගේ සාහිත්‍ය දිවි ම‍ඟෙහි ඉතා අනගි පැතිකඩක් වූයේ හෙළයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ඇසුරය. දෙවන‍ලෝක යුද්දය නිසා මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ට අහිමි වී ගිය කුඩා අවදියේ උපන් මහගෙදර නැවත ආපසු ලබාදීමට කැපවූයේ ගුණසේන විතානයන්ය. ඒ පිළිබඳ ඔහු ලියා ඇති ‘වාර්තා කිරීමක් පමණි’ කෘතිය අතීත මතකය අමතන භාව ප්‍රකාශනයකි.

ගුණසේන විතානයන් ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ සභාපති තනතුර හොබවමින් සාහිත්‍යයට කළ සේවය අතිමහත් ය. එහෙත් එය නොහඳුනාගත් පිරිසක් ද වූහ. කිසිදු වැටුපක් නොගෙන අධ්‍යාපන අමාත්‍යාංශයට ඔහු කළ මෙහෙවර ඉතා විශිෂ්ට ය. නින්දා අපහාස, කර්කෂ විවේචන පමණක් නොව පැසසුම් සමසිතින් විඳ ගැනීමේ අපූරු ශක්තියක් විතානයන් සතු ය. මිනිසුන්ගේ දුබලකම්වලට දයාබරව සිනාසීම පමණක් නොව සෙනෙහස පෑ මිනිසුනට වුවද එකසේ සැලකීම විතානයන්ගේ චරිතයේ එක් ලක්ෂණයකි. පියකරු මතකයන් සේම අමිහිරි වේදනාවන්ගෙන් ද විතානයනගේ ජීවිතය සැරසී ඇති බව නිසැකය. ජාතික සමගිය නිර්මාණවලට පමණක් සීමා නොකළ විතානයෝ ඩොමිනික් ජීවා, මහාචාර්ය කෛලාසපත්, මහාචාර්ය සිවතම්බි, ක්ලීඩා බෙගම් සිවගුරුනාදන්, කේ සාන්දන් සාහිත්‍යකරුවන් සමඟ මිත්‍ර සන්ථවයකින් පසුවූහ; සාමය වෙනුවෙන් දෑත් දිගුකළහ; අන්තවාදය වෙනුවෙන් වෙඩි බෙහෙත් නොසැපහූහ. අන්තවාදීන් විසින් ගිනිබත් කරනු ලැබූ යාපනේ පොත්ගුල සියසින් ම දැවෙන අයුරු බලා හඬා වැටුන එකම සිංහලයා ද ගුණසේන විතානයන් ය. ජීවිතයේ දිගු කලක් සාහිත්‍ය චාරිකාවේ නිරතවූ ගුණසේන විතානයන්ට චිරජීවනය පැතීමට සිරිලාල් කොඩිකාරයන්ගේ පබැදුම වඩාත් උචිත ය.

“මේ මහඟු සේවය
තව තවත් ඉටුවීමට
ජීවිතය දික්වේවා
තව හැත්තෑ පස්වසක්” 

Comments