වන්නි සනුහරේ ලේ නෑයා | සිළුමිණ

වන්නි සනුහරේ ලේ නෑයා

වන්නි ගම්තුලානේ ජීවන යුගය ගෙවාලමින් අලි බෙටි, හරක් බෙටි මුහුවුණු වතුර බිව් වන්නියැත්තන්ගේ කඳුළු තම ළයේ කිඳුණු හෙයින් ඔහුට වෙසෙසින් වන්නිය අත ගා බලන්ට තරම් පිනක් උදාවූයේ ය. එහෙයින්මය හේ වන්නි සනුහරයේ ලේ නෑයා බවට අඩයාලාම් ගැසුණේ. උල්පතකින් වතුර උනන්නා සේ එන ආරච්චිරාලගේ නිර්ව්‍යාජ හිනාකට මේ තැනැත්තා හට රටක් - රාජ්ජයකටත් වඩා පංකාදු විණි. කොටින් ම හදුරැහින් නිර්ව්‍යාජ වන්නියට මොහුගේ තිබුණේ ගහට පොත්ත වාගේ සහසම්බන්ධයක් යයි කිවහොත් ඒ වූ කලී වැරැදි නැත. ඉර හඳවල් ගණනාවක ඉඳලා ම මෙහෙව් වන්නි හත්පත්තුවේ ලොකු අප්පච්චි හැටියට ඉස්මතුවී තිබුණේ අන් කවරකුවත් නොව වන්නිය තැවෙන විට අමුතුවෙන් සිල් නොගත් නාරම්පනාවේ විමලරත්න කුමාරගම කවියා බැව් සනාථ කරමි.‍

විමලරත්න කුමාරගම සන්තක කාව්‍යකරණයේ සුවිශේෂත්වය වනාහි අනෙකක් නොව හුදු මානවභක්තිය වේ. කොටින් ම මේ බලන්න:

“ආලෝකයෙහි නෙත ගනඳුර විසින් වසනු ලැබ ඇත. එය එසේ වුවත් සඳරැස් නම් උතුරමින් තිබේ. එවිට එතැන මුළු දෙමින් පවතින්නේ (එක දෙවියකු නොව) දෙවියන් දහස් ගණනක් මැයි.”

“වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගනඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත”

වන්නි ගැමි ජනතාවගේ දෙවියන් ඇදහීම මේ බැතිබර කවියා සතු සානුකම්පනයට යසරඟට භාජනය වූ මහිම!

“වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහ‍ීම”

සැබෑ කවිත්වයෙහි ලක්ෂණයක් හැටියට හැඳින්වෙන අනුන්ගේ ඇබ්බැහිකමකට නො ගැරහීම මෙවැනි මානව භක්තිකයකුට විනා වෙන කවරකුට ද ඉටු සිදු කළ හැකිව ඇත්තේ?

තමාගේ කවිකමෙන් පැවතියා ව‍ූ අපූර්වත්වය කරණකොට ගෙන ම මේ වන්නි ලේ නෑ කිවියාණෝ ගතානුගතිකත්වයෙන් එහෙම පිටින් ම බැහැර වූහ. එයට හොඳම උදාහරණක් සැපයෙන්නේ ඔහුගේ ස්ත්‍රී වර්ණනාවකිනි. කොළඹ යු‍ගයේ කිවිවරුන් බහුතරයකින් ම ස්ත්‍රිය වර්ණනාවට භාජන වූයේ කවරාකාරයකට ද? සීගිරි ගී වල පරිද්දෙන් හුදෙක් නිලුපුල් නෙතින් යුතු රතුපුල් ලවන් ඇති රන්වනුන් හැටියට නොහොත් නිතම්බවතියන් විලසට නොවේ ද? එය එසේ වුවත් ‘හපුමලී’ නමැති නිබන්ධයෙහිලා අපේ නාරම්පනාවේ කවියා ඉතිරිය දුටුවේ ‘මස් ලේ දන්දිදී මේ ලෝකය රක්නා’ තැනැත්තියකු හැටියට වන අතර ඇයට හිමි විය යුතුව තිබෙනුයේ කුමන අසුනක් දැයි මෙසේ ද සනිටුහන් කොට සිටියේය.

‘මස් ලේ දන්දිදී මේ ලෝකය රකින
ලස්සනවතිය ඔබගේ සේවය පමණ
කළහොත් සමය නායකන්ට ද වටින
අසුනකි ඔබට හිමි මල් සුවඳින් ගහණ’

පූර්ව වාසනා ගුණයකින් සමන්විත වුණු නිසාදෝ විමලරත්න කුමාරගම ගුණාත්මක ගණයේ පද්‍ය නිබන්ධකයකු වූ බැව් සඳහන් කරනු වටී. මගේ ඥාතියකුගේ සමරු පොතේ පිටුවකට ඔහු වෙතින් ලියැවුණු පද්‍ය ඛණ්ඩයකින් තමා කවිය මොන තරම් පූජනීයත්වයකින් සලකන්නේ දැයි සාක්ෂි සපයයි; එය මෙසේ ය.

“කවියේ පරමරුත දති නම් සහවිතර
ඔබ කෙටි කෙළෙහි දුර දුක සහ නිවන’තර”

පද්‍ය ප්‍රබන්ධය පිළිබඳ මේ තරම් මාහැඟි ප්‍රපංචයක් සාහිත්‍ය ලෝකයේ කස්තුරි සේ විරල බැව් මවිසින් පවසනු ලබන්නේ යන්තමට හෝ අතිශයෝක්තියක නොගෑවෙන ලෙසටයි. කවියා වූ කලී අනෙකුත් අයට වඩා සියුම් ලෙස ජීවිතය දෙස බැල්ම හෙළන්නෙකු බව සැබෑවේ. එහෙයින් වෙසෙසින් ම මේ පිළිබාපුන් කිවියාණෝ අසාමාන්‍ය අන්දමටය යමක් කෙරෙහි බැල්ම හෙළලූ‍ෙය්.

“වනමල් පිපී ඇත දැන් අතු පතර මැද
දාඩිය බිබිළි මම කසනෙමි දුරක ඉඳ”

මේ ඊට එක් උදාහරණයකි.

“ලැබුණා වෙසක් පත එය හරි ලස්සනය
ලොව ඇස් අඬන්නේ ලොව ලේ මස් ගැනය”

මේ එයට තවත් නිදර්ශනයකි.

එකල මෙකල මෙන් නොව ඩීආර්ඕ හෙවත් ආදායම් පාලක නිලධාරි තානාන්තරය ඉහළ පෙළට අයත් ව‍ූයේ ය. එවැන්නක් එදවස ඔහු විසින් හොබවනු ලැබ සිටියත් (අද පවා ඇතැම් රස්නකාරයන් මෙන්) මේ වන්නි සනුහරේ ලේ නෑයාගේ හිනාව කිසිදාක සිය මුව තුළ කොන්කිරීම වෙලා නම් තිබුණේ නැත. එහෙයින් ම ගම්වැසියාට සලසනු ලැබූ මෙහෙවර ද පරමාදර්ශවත් විණි.

චාම් ද විය ඇවතුම් - පැවතුමෙන් විමලරත්න නිරතුරුව ආරච්චිරාල කෙනෙකු ගහෙන් කපා ඉදවාලා ඊට පස්සේ තමාට පිළිගැන්වූ කෙහෙල් ඇවරිවලින් සතුටට පත් ඔහුගේ මුවෙන් ඒ ගැමියාට පැවසුණේ මොකක්ද දන්නවාද? මේ ගෙඩි ගහේම ඉදුනා නම් කොච්චර රසවත්ද කියා නොවේ ද?

මීමන, මානව, දොස්තොවුස්කිලා මෙන් කුමාරගම ද මීවිත රුචි කෙළේ ය. හැන්දෑවට පොඩ්ඩක් දා ගත්තත් කෙසේ හෝ ඔහුගේ ආයුස නම් එච්චර විණි. ඒක එහෙම වුණත් ජාතියේ වාසනාවට විමලරත්න කුමාරගම කවීන්ද්‍රයා අරගත් මදු මදිරාව යට ඉන්ද්‍රඛීලයක් සේ එක් දෙයක් ඉඳුරා ස්ථාපිත වී තිබුණි. මානව භක්තිමත් කවිත්වය කියා අදත් උඩු හුළඟ එය මුළු රටටම ප්‍රකාශ කරනු ඇත.

ගොදුරු ලෝභී සමහරුන් වාගේ හේ දහසින් බැඳි පියලි වැලඳ ගත්තේ නැත. ඊට වඩා හිත හොඳ ගැමියකු සතු පයුරු පාසානම ඔහුට වටිනා විණි; සංග්‍රහශීලී විණි. ඊයේ හිනාවූ ළෙන්ගතු මිනිහා අද ඔහු පැත්තකට වීසි නො‍ෙකළේ ය.ඒ ඔහුගේ නොකෙවුල් ගතියයි. මෙතෙක් පිරූ මේ ලිපිය අවසානයේදී එක් දෙයක් සනිටහන් කිරීමට මම කැමැත්තෙමි; මොකක්ද ඒ? පපුව වාගේ ම මොළය ද යහපත් මෙවන් කිවියෝ මෙලොව පවතිනා තුරුම ජීවත්වෙත්වා යන්නයි.

Comments