BOLLYWOOD | Page 2 | සිළුමිණ

BOLLYWOOD

'විරුෂ්කා'යුවළ පාවඩ මතින් මවු රටට

විරාට් - අනුෂ්කා විවාහ ගිවිස ගත්තේ දෙසැම්බර් 11දා ඉතාලියේ ගැමි පරිසරයක පිහිටි බෝගෝ ෆිනෝචියෝ නම් වූ සුපිරි හෝටලයේ දී. මෙය ලෝකයේ ඉහළම තලයේ වැජඹෙන හෝටල් අතරින් එකක්. ඇමරිකාවේ හිටපු ජනපති බැරැක් ඔබාමා සහ ආර්යාව මේ වසරේ මුල් භාගයේ දින කිහිපයක් මෙහි නවාතැන් ගෙන සිටියා.

'අද අපි පොරොන්දු වෙනවා සදහටම ආදරයෙන් බැඳී ඉන්න.මේ ආරංචිය ඔබ හැමට දැනුම් දීමට තරම් අපි වාසනාවන්ත වුණා. අප දෙදෙනාගේ පවුල්වලින් සහ රසික පිරිසගෙන් අපට ලැබෙන ආශිර්වාදයෙන්, ආදරයෙන් අද බෙහෙවින් සුන්දර දවසක් වේවි. විරාට් – අනුෂ්කා විවාහ ගිවිස ගැනීමෙන් පසුව ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් එලෙස ප්‍රකාශ කළා.

විවාහ ගිවිස ගැනීමත් සමඟම පැවැත්වූ මංගල උත්සවයට පැමිණ සිටියේ විරාට් – අනුෂ්කා දෙපාර්ශවයේ පවුල්වල සමාජිකයන් කිහිප දෙනකු පමණයි. මංගල උත්සවයෙන් පසුව මනාල යුවළ මධු සමය ගත කරන්න පිටත්ව ගියේ ඉතාලියේ රෝම නුවරටයි.

බොලිවුඩයත් ක්‍රිකට් ලොවත් එක්කළ විරාට් – අනුෂ්කා යුවළට රසික පිරිස කෙතරම් සමීපදැයි කිව්වොත් මේ මනාල යුවළ ඔවුන් නම් කර ඇත්තේ 'විරුෂ්කා' නමින්. ඉතාලියේදී විවාහ ගිවිස ගත් විරුෂ්කා යුවළ ඉන්දියාවේදී උණුසුම් අයුරින් පිළිගන්න සියලු කටයුතු සූදානම් වී තිබුණා. නව දිල්ලි නුවර ටාජ් හෝටලයේ දුර්බාර් ශාලාවේ තමයි පසුගිය 21 වැනිදා විරුෂ්කා යුවළ ගේ මංගල උත්සවය පැවැත්වුණේ.

උත්සවයට පෙර දුර්බාර් ශාලාව රමණීය ලෙස සරසා තිබුණා.එහි අමුත්තන් දහසකට පමණ අසුන් පනවා තිබූ අතර මේ සඳහා ඇරයුම් ලබා සිටි මනාල යුවළගේ ඥාතීන් රැසක් එයට සහභාගි වුණා. විරාට් – අනුෂ්කා අතිනතගත් සතුට එතැනින් නිමාවට පත් වන්නේ නැහැ. ක්‍රිකට් සහ සිනමා ලෝකයේ තරු සමඟ මේ පිරී ඉතිරී යන සතුට බෙදා නොගත්තොත් එය ලොකු අඩුවක්.

ඒ නිසා 26දා මුම්බායි නුවර පැවැත්වෙන මංගල සාදය වෙන් කර ඇත්තේ ඔවුන් වෙනුවෙන්. අති සුපිරි මට්ටමකින් පැවැත්වෙන මේ මංගල උත්සවයෙන් පසුව නව යුවළ දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන්නටයි සැලසුම් කරගෙන සිටින්නේ. එහි ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රිකටි තරගාවලියට විරාට් සහභාගි වීමට නියමිතයි.

වෙන දා විරාට් ගේ පෙම්වතිය ලෙස හොර රහසින් යන අනුෂ්කා මෙවර ක්‍රීඩා මණ්ඩපයේ අසුන් ගන්නේ ඔහුගේ ආදර බිරිය හැටියටයි. ක්‍රිකට් තරග මාලාවෙන් පසුව විරාට් සමඟ ලබන ජනවාරියේදී ඉන්දියාවට පැමිණෙන අනුෂ්කා නැවතත් සිනමා රංගනයට එක්වන බවයි ආරංචි. විවාහයෙන් පසුව ඇය ශාරුක් ඛාන් සමඟ රඟන අලුත්ම චිත්‍රපටයක රූගත කිරීම් වලට සහභාගි වෙනවා.


 නත්තලට අවුරුද්දට කේප් ටවුන්වල

බොලිවුඩ් පුරවරයේ වැඩ අධිකම නළුවන්ගෙන් කෙනෙකු තමයි අක්ෂේ කුමාර් මේ අවුරුද්ද අවසන් වෙන්න දවස් කිහිපයක් තිබුණත් ආක්ෂේට චිත්‍රපට රැසකම රඟපෑමේ කටයුතු පැවරී තිබුණා. නමුත් ඔහු මේ වසරේ අවසානයේදී ත් සති කිහිපයක නිවාඩුවක් ගත්තා.

හැම දේකටම වැඩිය බිරිය (ට්වින්කල් ඛන්නා) සහ දරු දෙදෙනා (ආරව් සහ නිටාරා )සමඟ ගත කිරීම තරම් වටිනා දෙයක් නැති නිසයි ඔහු දීර්ඝ නිවාඩුවක් ගත්තේ. ආක්ෂේගේ බලාපොරොත්තුව වුණේ මේ වතාවේ හතර දෙනාත් එක්කම දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්වල නිවාඩුව ගත කරන්න දෙසැම්බර් 22දා වනවිට තමයි ආක්ෂේ තම බිරිය හා දරුවන් එක්ක මවු රටින් බැහැර වුණේ. ඒ අනුව දැන් ඔවුන් හතර දෙනාම රැඳී සිටින්නේ කේප් ටවුන් වල.

ලබන වසරේ ජනවාරි 3දා වනතුරු ඔවුන් ඒරටෙහි සංචාරය කරාවි. විදෙස් සංචාර අතරින් ආක්ෂේ වඩාත්ම කැමැති දකුණු අප්‍රිකාවට යන්නලු. මීට කලිිනුත් ඔහු තම පවුලේ සියලු දෙනාමත් එක්ක ඒරටෙහි කිහිප වතාවක්ම සංචාරය කර තිබෙනවා. කීවතාවක්දැයි ආක්ෂේටවත් මතක නැතුව ඇති. දකුණු අප්‍රිකාවට ඔහු කෙතරම් කැමතිද කිවිවොත් කේප් ටවුන්වලින් ඔහු නිවසක් ද මිලදී ගෙන තිබෙනවා. මේ නිවස පිහිටා තිබෙන්නේ මුහුදු වෙරළ අබියසයි. නිවස බලා කියා ගන්නට වෙනම කාර්ය මණ්ඩලයකුත් සිටිනවා.

මේ අය ආක්ෂේ ගේ විශ්වාසය දිනාගත් පිරිසක්. ඔවුන් විශේෂයෙන්ම ආක්ෂේ ගේ දරුවන් ට දැඩි ළෙන්ගතු කමක් දක්වනවා. ආක්ෂේ මෙහි ගත කරන කාලයේදී තම පුතු ආරව් එක්ක එකතුවෙලා ඉවුම් පිහුම් කටයුතුවල නිරත වෙන්න හරිම කැමැතියිලු. තමන්ට ඕනෑ හැටියට ව්‍යායාම් කරන්නත් ඔහු අමතක කරන්නේ නැහැ. නත්තල අලුත් අවුරුද්ද විතරක් නොවෙයි දෙසැමිබර් 29දා ත් මේ හැමෝටම වැදගත් දවසක්. විශේෂයෙන්ම ට්වින්කල්ට. ඇගේ 43 වැනි උපන් දිනය යෙදී ඇත්තේ එදාට .

ඒ වෙනුවෙන් උපන් දින සාදයක් පැවැත්වෙනවා.එලෙස විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් සති දෙකක නිවාඩුවක් ගත කරන මේ සියලු දෙනා ඉන්දියාව බලා එන්නේ ජනවාරි 4දා. ඉන්පසුව ට්වින්කල් නිෂ්පාදනය කරන පද්මාන් නම් වූ අලු්ම චිත්‍රපටයේ වැඩ කටයුතු ඇරැඹෙන බවයි ආරංචි.


25ට කලින් නත්තල්

'ක්වොන්ටිකෝ' ටෙලි නාට්‍ය මාලාවේ තුන්වැනි අදියරේ රූගත කිරීම්වල යෙදී සිටි ප්‍රියංකා චොප්රා එයින් දින කිහිපයක විරාමයක් ගත්තේ නත්තල වෙනුවෙන්. මේ රූගත කිරීම් සිදුවුණේ නිවියෝක් නුවර. නමුත් ඇය නිවාඩුවට මව් රටට පැමිණියේ නැහැ.

ඇය තම මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුත් එක්ක හිතවතෙකුගේ නිවෙසට ගියා. ඔහු ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් වන ප්‍රභාල් ගුරුන්ග්. ඔහුගේ නිවෙසට ගිය ප්‍රියංකා දෙසැම්බර් 25ටත් කලින් නත්තල සැමරුවා. ඒ සුන්දර මොහොතේ ගත් ඡායාරූප කිහිපයක්ම ඉන්ස්ටග්‍රෑම් පිටුවට එක්කර තිබුණේ ප්‍රභාල්.


රුමේනියාවට කොහොම යන්නද ?

සුපිරි නළු සල්මන් ඛාන්ගේ පෙම්වතිය ලුලියා වැන්ටූර් දැන් පදිංචිව සිටින්නේ මුම්බායි නුවර. ඇයත් නත්තල සහ අලුත් අවුරුද්ද වෙනුවෙන් පුංචි නිවාඩුවක් ගන්නයි තීරණය කළේ. හැබැයි මුම්බායි නුවර දී නම් නෙවෙයි. ඇගේ උපන් රට වන රුමේනියාවේ ගත කරන්නයි. ලුලියා ගේ දෙමවුපියන් ඇතුළු සමීප නෑදෑයින් සිටින්නේත් එරටෙහිමයි නමුත් වැඩ කටයුතු රැසක ට මැදිවී සිටින සල්මන්ට විදෙස් ගත වන්නට කාලයක් නැතිබවයි ඔහුගේ සහයකයෙකු පැවසුවේ.

'සල්මන්ට මේ වෙලාවෙ රටින් පිට වෙලා යන්න බැහැ මොකද එයාට වැඩ ගොඩ ගැහිල තියෙන නිසා. ඒ නිසා ලුලියාට කරන්න තියෙන හොඳම දේ තමයි එයාගෙ අම්මයි තාත්තයි අනික් නෑදෑයිනුයි ඉන්දියාවට එක්ක ගෙන ඇවිත් නත්තලයි අවුරුද්දයි සමරන එක' සල්මන් රඟපෑ 'ටයිගර් සින්දා හේ' චිත්‍රපටය ප්‍රදර්ශනයට නිකුත් කෙරෙන්නේ නත්තලට දින කිහිපයකට කලින්. ඔහුගේ උපන් දිනයත් ළඟ ළඟම එනවා. (දෙසැම්බර් 27)ඔහු ඉදිරිපත් කරන රියැලිටි වැඩසටහන් කිහිපයක රූගත කිරීම්ද මේ සති කිහිපය තුළ යොදාගෙන තිබෙනවා. ඒනිසා සල්මන් ට රුමේනියාවට ගොස් නිවාඩු ගත කරන්න නම් බැරි වේවි. 

Comments