සිනා කතා | සිළුමිණ

සිනා කතා

මහන්සිය වතුරේ

“දුම්රිය වර්ජනය ඉවරයිලු නේද? අපරාදෙ මගෙ මහන්සිය එහෙම පිටින් ම වතුරේ ගියා එහෙනං.” දැදිගම කළු අයියා දෙස බලා කීවේ සුසුමක් හෙළමිනි.

“අම්මපා! දැදිගම, තමුසෙ පුදුම මිනිහෙක් නෙ. කෝච්චි නැතුව දුම්රිය මගීන් වින්ද දුක දැකලා කම්පාවුණු හැමෝම ස්ට්‍රයික් එක ඉවර වුණු එක ගැන සන්තෝස වෙද්දී තමුසෙ විතරක් දුක් වෙන්නෙ මොකද?” කළු අයියා ඇසුවේ තද විමතියකිනි.

“දුක් නොවී පුළුවන්ද කළු අයියෙ. මම අපේ ගෙදර ඉඩම අයිනෙන් වැටුණු රේල් පාර මැද්දේ දිගට ම මයියොක්කා දඬු සෑහෙන ගොඩක් හිටෙව්වනෙ පෙරේදා. කවුද හිතුවේ ඔය ස්ට්‍රයික් එක ඔහොම ඉවරවෙයි කියල.” දැදිගම කීෆව් දැඩි සන්තාපයකිනි.

සූදානම් සරීරේ

“මොකෝ පීටර් මාමේ, මේ උදේ ම හිස් බෝතලේකුත් අරගෙන, ඉස්පිරිතාලෙ පැත්තට කඩිමුඩියෙ ම යන්නෙ? මොකක් හරි අසනීපයක්වත්ද?” ඥාණවතී ඇසුවේ ඉක්මන් ගමනින් කන්ද නඟින පීටර් දෙස කුතුහලයෙන් බලමිනි.

“දැනට නං ඉහෙන් බහින රෝගයක් නෑ දුවේ. ඒත් ‘අපිත් වැඩවර්ජනයකට යනවා’ කියල සෞඛ්‍ය සේවේ අයිතිකාර‍ෙයා වගෙ හිතාගෙන ඉන්න වෘත්තීය සමිති නායකයෝ ‍බොහොම උජාරුවෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියල ඊයෙ රෑ කියනවා මම ටී.වී. එකෙන් දැක්කා. ඉතින් සූදානම් සරීරෙ කියල කල් ඇතුවම බේත් ටිකක් අරං තියාගන්ඩ හිතාගෙනයි මම මේ ඉස්පිරිතාලෙට ය්නනෙ.” පීටර් කීවේ ගමන බාල කරමිනි.

වෙලාවක් තිබුණේ නැහැ

“අර ස්ටාර් නයිට් එකේ අග හරියේ තිබුණු ගෑනු ළමයින්ගේ නර්තනය නම් නියමයි. දැක්කා නේද ඒ ළමයි ටික මූණෙන් හැඟීම් පෙන්නපු අපූරුව.” නාඔටුන්න තමා සමඟ මී විතක රස බලමින් සිටි සෙනෙවි දෙස බලා කීවේ ය.

“හැබෑද, ඒක මගෙ මීටරේට අහුවුණේ නැහැනෙ.” සෙනෙවි කීවේ ය.

“මොනවා! උඹ දැක්කේ නැහැ. දැන් ටිකකට කලින් උඹ කිව්වා නේද ඒ ටීවී ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන් ම බැලුවයි කියල.” නාඔටුන්න ඇසුවේ විස්මයට පත් වෙමිනි.

“ඒක මම බැලුව එක හැබෑව. ඒත් ඔය කියන නැටුමට වේදිකාවට ආපු ගෑනු ළමයි ටික ඇඳලා හිටිය අමුතු ඇඳුමේ හැටියට ඇඟෙන් වැඩි කොටසක් නිරාවරණය වෙලානෙ තිබුණේ. ඉතින් මූණු බලන්ඩ මට වෙලාවක් තිබුණේ නැහැ.” සෙනෙවි කීවේ කොක්හඬලා සිනාසෙමිනි.

එහෙම වෙන්නෙ නැහැ

“අනේ අම්මේ මේ මඟුලට නං මම කැමැති නැහැ. ඒ මනමාලයාගෙ ගේ තියෙනවයි කියන්නෙ රේල්පාර අයිනෙම නෙ. ඉතින් ඔය ගෙදර නිදාගන්ඩ වුණොත් මාව උඩ විසිවෙලා ඇහැරෙයි මහරෑට, කෝච්චි යන සද්දෙට.” තමා බැලීමට පැමිණි මනමාලයාගේ නිවස පිහිටා තිබෙන්නේ දුම්රිය පාරකට යාබදව බව දැනගත් මනාලිය කීවේ මුහුණ ඇඹුල් කර ගනිමිනි.

“ඒකට නං චූටි නෝනා බය වෙන්ඩ කිසිම හේතුවක් නැහැ. දැන් ඔය එන්ජින් ඩ්‍රැයිවර්ලා ස්ට්‍රයික් කරන විදියට රෑට තියා දවල්ට වත් කෝච්චි යන්නෙ නෑ, ඔය රේල් පාරේ.” කපුවා මනාලිය අස්වසමින් කීවේ ය. 

Comments