මංජු­ලාගේ ජය­ලෙන නාට්‍යය මෙවර නත්ත­ලට | සිළුමිණ

මංජු­ලාගේ ජය­ලෙන නාට්‍යය මෙවර නත්ත­ලට

“අපි මේ ආධාර එකතු කළේ ගමේ ඉන්න නැතිබැරි අයට බෙදලා දෙන්න. ඇය මයිකල් ඒ දෙවල් ‍හොරකම් කරන්න හිතුවේ.”

“නැති බැරි කමට, දුප්පත් කමට ස්වාමි. මං හොරෙක් ‍නොවෙයි මාත් මනුස්සයෙක්. සල්ලි තියෙන අයට නත්තල් තියෙනවා. දුප්පත් අපිට නත්තල් නෑ. අපිත් ආසයි නත්තලට සතුටුවෙන්න. දරුවන්ව සතුටු කරන්න. ස්වාමි අපට නත්තල අයිති නැත්ද?”

“නැතිබැරිකම දුප්පත්කම හින්දා අපි වැරැදි වැඩ කරන්න හොඳ නෑ මයිකල්. ඔය නරක පුරුදු අතඇරලා හොඳ මනුස්සයෙක් වෙන්න. අන්සතු දේවල් හොරකම් කරලා සතුටු වෙන්න හිතන්න එපා.” ස්වාමිගේ කරුණාබර වදන් මයිකල්ගේ සිත සුවපත් කරයි. ඊළඟට රාජුයි ප්‍රින්සියි, ළමා චරිත දෙකක්. හොඳට බලාගන්න.

‘ජයලෙන’ නත්තල් නාට්‍යයේ පුහුණුවීම් කරන අතරතුර අපි මේ අයව මුණ ගැහෙන්නේ පුංචි විවේකයකදී. සඳුන් විජේසිරි, ජයසේකර අපොන්සු, විශාඛා සිරිවර්ධන, තුසිත වීරසිංහ, සීලරතන සෙනරත්, චමිලා විතානගේ සහ ළමා චරිත නිරූපණයේ යෙදෙන උදාර පන්සිළු සහ අමන්දි වීරක්කොඩි තම දෙබස් මැනවින් හසුරුවයි.

කාලෙකට පස්සේ ඇය ආයෙමත් නාට්‍ය රචනයට එක්වෙලා. ඒ මෙවර නත්තල වෙනුවෙන්. CRI Sri Lanka චැනලය වෙනුවෙන් ‘ජයලෙන’ නත්තල් නාට්‍යයේ පිටපත රචනා කර තිබෙන්නේ මංජුලා මල්කාන්ති. මේ ඇය රචනා කළ පළමු ගුවන් විදුලි නාට්‍ය නොවෙයි. මීට කලින්ද මංජුලා ගුවන් විදුලි මෙන් ම රූපවාහිනී නාට්‍ය රචනයේද යෙදී තිබෙනවා.

මංජුලා ගුවන්විදුලි නාට්‍යයක් ලිව්වේ කලකට පස්සේ නේද?

ඔව්. ඉස්සර නම් මම ගුවන්විදුලි රූපවාහිනී නාට්‍ය දිගටම වගේ රචනා කළා. යම් යම් වැඩකටයුතු නිසා කාර්යය බහුල වීම නිසා මට කලා කටයුතුවල යෙදෙන්නට වේලාවක් නැති වුණා. මම දැන් නාට්‍ය ලිවීමේ කටයුතුවල යෙදෙන්නට අවස්ථාව තියෙනවා. මට ඒ සඳහා ආරාධනා කීපයක් ද ලැබී තිබෙනවා.

ජයලෙන ඔබේ රචනයක්...?

ඔව්’ CRI Sri Lanka හි අධ්‍යක්ෂතුමා සීලරත්න සෙ‍නරත් මහතා කළ ආරාධනයක් නිසා තමයි මම නාට්‍ය රචනා කළේ.

ඔබේ ජයලෙන නත්තල් නාට්‍යයට එක්වී සිටින්නේ අපේ ප්‍රවීණ ශිල්පීන් නේද?‍‍

ඔව්. විශේෂයෙන් ම කියන්නට ඕන. මෙම නාට්‍යයට වැඩි වටිනාකමක් ගෙන දෙන්නේ ජයසේකර අපොන්සු, සඳුන් විජේසිරි, විශාඛා සිරිවර්ධන ආදී නළු නිළියන් මෙහි චරිතවලට මැනැවින් සාධාරණයක් ඉටුකරන නිසයි. චමිලා විතානගේ, සීලරත්න සෙනරත්, උදාර, යොහාන්, පන්සිළු සහ අමන්දී මෙහි සෙසු චරිත නිරූපණය කරනවා.

කවද ද මේ නත්තල් නාට්‍ය අපට අසන්නට ලැබෙන්නේ?

දෙසැම්බර් 25 වැනි දා (හෙට) පස්වරු 4.00 - 5.00 දක්වා වන කාලය තුළ CRI Sri Lanka FM 97.9 ඔස්සේ ප්‍රචාරය වනවා. ජයලෙන නාට්‍ය සඳහා අනුග්‍රහය දක්වන්නේ ඔප්ටියෝ ක්ලිනික් අධිපති සාගර කරුණාතිලක මහතායි.

මංජුලා මල්කාන්ති මාධ්‍යවේදිනියක් ලෙස අප කවුරුත් හඳුනනවා. ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක්, රූපවාහිනි නාට්‍ය ශිල්පිනියක්, නාට්‍ය රචිකාවක්, හඬකැවීම් ශිල්පිනියක් ලෙස ද කටයුතු කරන ඇය ගුවන්විදුලි සරල ගී ශිල්පිනියක්.

මේ දිනවල ඔබ අලුත්ම ගීත කීපයක් කරන්නට යන බව ආරංචියි? මුලින් ම ගීත ගායනයට පිවිසුණේ ළමා ගායිකාවක් හැටියට නේද?

ඔව්. මා මුලින් ම ගායනා කළේ ළමා ගීතය. සරල ගී පරීක්ෂණයෙන් සමත්වීමෙන් පසුව මම ගීත ගායනයට යොමුවුණා. මේ දවස්වල අලුත්ම ගීත කීපයක් කරනවා. මෙහි ගීත කීපයක් රචනා කළේ මා විසින්මය. රත්නා ලංකා අබේවික්‍රම, රොඩ්නි විදානපතිරණ, ඉඳුනිල් වීරරත්නත් මෙහි ගීත රචනා කර තිබෙනවා. යුග ගායනයෙන් එක්වන්නේ රෝහණ බෝගොඩ සමඟ භද්‍රජී මහින්ද ජයතිලකය.

ගීත රචනයටත් ඔබ එක්වී තිබෙනවා නේද?

ඔව්. මා ළමා ගීත බොහෝමයක් රචනා කර තියෙනවා. සුජාතා අත්තනායක ගයන ‘සිත පුරා මා පැතු සෙනෙහේ නිමා වී සුසුමින්’ ප්‍රියා සූරියසේන ගයන ‘ඔබ මට. ඔබ හදවත රැන්දු - රෝහණ බෝගොඩ ගයන ‘සසර සරන තුරුම ඔබට මං ආදරෙයි.‍’ රූපා ඉන්දුමතී ගයන ‘මුතුසේ ඔබ දිවි රැකගන්නය මා’ සීතා නානායක්කාර ගයන ‘සම්පත වී මවකට මෙලොවේ’ වැනි ගීත මා සරල ගී වැඩසටහන් සඳහා සහ කැසට්පට සඳහා රචනා කර තිබෙනවා. උරේෂා රවිහාරි ගේ මුල්ම කැසට්පටය කළු කූඹියෝහි කළු කූඹියෝ ගීතය රචනා කළේ ද මමයි.

කොහොමද ඔබේ ඉදිරි කලා කටයුතු?

අලුත් පොත් දෙකක් ලියාගෙන යනවා. ඒ අතර ළමා කතා දෙකකුත් තියෙනවා. ලබන වසරේ පුවත්පත් කලාව පැත්තෙනුත් අලුත් දෙයක් කරන්න සැලසුම්කර ගෙන යනවා. 

 
 

Comments