නව වසරේ ඔබ දකින හොලි­වුඩ් සිනමා නිර්මාණ | Page 3 | සිළුමිණ

නව වසරේ ඔබ දකින හොලි­වුඩ් සිනමා නිර්මාණ

 

නව වසරේ තිරගත වන මුල් ම සිනමා පට වන්නේ ජනවාරි 5 වැනිදා තිරගතවන මොලීස් ගේම්, ඉන්සීඩියස්: ද ලාස්ට් කී, ඩේ ඔෆ් ද ඩෙඩ්: බ්ලඩ්ලයින්, ද ස්ට්‍රේන්ජ් වන්ස්, ඩෙවිල්ස් ගේට්, සර්ජ් ඔ‍ෆ් පවර්, ගෝල්ඩ්බස්ටර්, ස්ට්‍රැටන්, බ්ලේම් ය.

හොලිවුඩයේ ‘ඒ’ ලයිස්තුවේ සිටින කනිෂ්ඨ රොබට් ඩව්නිගේ ‘ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිට් වෝ’ අප්‍රේල් 25 තිරගත වීමට නියමිත ය. ටොම් කෲස්ගේ ‘මිෂන්: ඉම්පොසිබල් 6’, බ්‍ර‍ෑඩ්ලි කූපර්ගේ ‘ස්ටාර් ඊස් බෝන්, (මෙහි ලේඩි ගගා ද රඟයි) ජෙනිෆර් ලෝරන්ස්ගේ එක්ස් - මෙන්: ඩාක් ෆිනික්ස්, ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ අන්ඩර්වෝටර් තිරගත වන්නේ ද ලබන වසරේ ය. නෝමියෝ ඇන්ඩ් ජුලියට්: ෂර්ලොක් නෝම්ස්, ද ඉන්විසිබල් මෑන් රිබූට්, ෆැන්ටෑස්ටික් බීස්ට්ස්: ද ක්‍රයිම්ස් ඔෆ් ඉන්ඩිවෝල්ඩ්, ඇන්ඩ් වෙයාර් ටු ෆයින්ඩ් දෙම්, රිචඩ් සේයිස් ගුඩ්බායි, ලැබ්‍රිනාත් වැනි සිනමා පට වැඩි ගණනකින් ප්‍රේක්ෂකයන් වෙත එන්නේ ජොනී ඩෙප් ය.

‘ටයිටැනික්’ ලොවම මුසපත් කළ ආදර අන්දරයේ විසි වැනි සැමරුම් ද ලෙනාඩෝ ඩී කැප්‍රියෝ සහ කේට් වින්ස්ලට් පසුගියදා සැමරූහ. ඔහුගේ ද බ්ලැක් හෑන්ඩ්, ‍ඔමිනිවර්ස් (හඬ නළු) තිරගතවේ. කේට් හඬ කැවූ ‘මේරි ඇන්ඩ් ද විච්ස් ෆ්ලවර්ස්’ පමණක් නව වසරේ දී තිරගත වීමට නියමිත ය.

නව වසර‍ උදාවන්නේ නව නළුරසයෙන් පිරි සිනමා පට රැසක් රස විඳීමට ප්‍රේක්ෂකයන්ට වරම් ලබා දෙමිනි. ද ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිට් වෝ, ඇක්වාමන්, රෙඩ් ස්පැරෝ, එක්ස් - මෙන් ඩාර්න් ෆීනික්ස්, හෝම්ස් ඇන්ඩ් වොට්සන් වැනි සිනමා පට නාමාවලියක්, ටොම් කෲස්, ලෙනාඩෝ ඩී කැප්‍රියෝ, රොබට් ඩව්නි, බ්‍රෑඩ් පිටි, ඩව්නි ජොන්සන් බඳු සුපිරි වීරයන් රජ කරන සිනමා පට ගණනාවක් ඒ අතර තිබේ.

සජීවීකරණ නාමාවලිය

2004 තිරගත වූ සුපිරි වීර ඇමෙරිකානු සජීවීකරණ සිනමා පටය ‘ද ඉන්ක්‍රෙඩිබල්ස්’ සිනමාපට මාලාවේ දෙවැන්න ‘ඉන්ක්‍රෙඩිබල්ස් 2’ තිරගත කෙරෙන්නේ 2018 ජූනි 15 වැනිදා ය. ‘ද ඉන්ක්‍රෙඩිබල්ස්’ නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 92 ක් වූ නමුත් ලද ආදායම ඊට නව ගුණයකටත් ආසන්නය‍. 2004 ඔස්කාර් උලෙළෙහි දී සම්මාන දෙකකටම හිමිකම් කී පළමුවැන්න තවත් සම්මාන රැසකටම හිමිකම් කීය. එනිසා අපරාධවලට එරෙහිව සටන් වදින ‘සුපර්ස්’ ලාගේ අලුත් ම දස්කම් ගැන අධ්‍යක්ෂ, නිෂ්පාදක වාගේ ම ප්‍රේක්ෂකයන් ද මහත් සේ බලාපොරොත්තු දල්වාගෙන සිටියි. හොටේල් ට්‍රාන්සිල්වේනියා 3 ප්‍රහසනාත්මක, මායාකාර සිනමා පටය ද හොටේල් ට්‍රාන්සිල්වේනියා සිනමාපට මාලාවේ තෙවැන්නයි. මුල් ම සිනමා පට දෙකම ඉහළ ආදායම් වාර්තා පිහිටුවී ය. මීට සෙලිනා ගෝමස්, ඇඩම් සැන්ඩ්ලර්, ඇන්ඩ් සැම්බර්ග් වැනි ජනප්‍රිය කලා කරුවන් සජීවීකරණ චරිතවලට හඬින් පණ දී තිබේ. මැඩගස්කර් සජීවීකරණ සිනමාවලියේ සිවුවැන්න, තවත් අතිසාර්ථක සිනමා මාලාවක නවතම බලාපොරොත්තුවකි. ව්‍රෙක් - ඉට් රැල්ෆ් 2012 තිරගත වූ විකටමය මායාකාර සිනමා පටයේ දෙවැන්න ද ක්‍රියාදාම සිනමා පටයක් වන සොනික් ද හෙජ්හොග් ද ස්ටුවඩ් ලිට්ල් සිනමාපට මාලාවේ සිවුවැන්න ද තිරගත වීමට නියමිතය.

වීර රසය කුළු ගන්වන ‘අයිස්ල් ඔෆ් ඩෝග්ස්’ වීර රසයට හාස්‍ය එක්වූ පීටර්රුබිට්, සංගීතමය ලැරිකින්ස්, රහස් පරීක්ෂක නෝම් ඇන්ඩ් ජුලියට්: ෂර්ලොක් නෝම්ස්, හව් ද ග්‍රින්ච් ස්ටෝල් ක්‍රිස්මස්, වීරත්වය සොයා යන ගයිගෑන්ටික්, ප්‍රහසනයක්වූ ලොස්ට් කේස්, ස්මෝල් ෆුට්, ස්ප්‍රීඩ් ගොන්සාලේස්, මකුළු වීරයා ස්පයිඩර් මෑන් ප්‍රථම සජීවීකරණය, ප්‍රේක්ෂකයන්ට නැරඹීමට ලැබෙන්නේ උදාවන නව වසරේයි.

ද ස්වෝඩ් ඉන් ද ස්ටෝනි සංගීතමය කාටුන් සිනමා පටයේ සජීවීකරණ ප්‍රතිනිර්මාණය ද 2018 දී තිරගත වේ. එය මුල් වරට තිරගත වූයේ 1963 දී ය. ශ්‍රේෂ්ඨ හඬ නළුවකු, නිෂ්පාදකයකු කාටුන් නිර්මාණකරුවකු වූ වෝල්ට් ඩිස්නි සමාගමේ සම නිර්මාතෘ වෝල්ට් ඩිස්නි මිය යාමට පෙර නිපදවුණු අවසන් කාටුන්, සිනමා පටය ‘ද ස්වෝඩ් ඉන් ද ස්ටෝන්’ ය.

නිර්මාණ සයකින් යුතු ජුරාසික් සිනමාපට මාලාවේ පස්වැන්න ‘ජුරාසික් වර්ල්ඩ්: ෆෝලන් කිංඩම්’ ය. ප්‍රේක්ෂකයන්ට මේ නිර්මාණයෙන් හෝ ඩයිනෝසෝර් විනාශයේ අවසානය ගැන සිතාගත හැකිවේවිද? 2018 වසරේ වැඩිම ආදායම් ලබන සිනමා නිර්මාණයක් බවට පස්වැන්න පත්වනු ඇතැයි බොහෝ විචාරකයන්ගේ අපේක්ෂාවයි.

ප්‍රේමණීය, පවුලේ රස මුසු කතා

‘ෆිෆ්ට් ෂේඩ්ස් ෆ්‍රීඩ්’ නවකතාවක් ඇසුරින් නිර්මාණය වන ‘ෆිෆ්ට් ෂේඩ්ස් ෆ්‍රීඩ්’ සිනමා පට ත්‍රිත්වයේ අවසන් සිනමා පටයයි. පෙබරවාරි 9 වැනිදා ප්‍රේමණීය අත්දැකීම විඳින්නට වරම් ලැබෙනු ඇත. මමා මියා! හියර් වී ගෝ අගේන් 2008 වසරේ තිරගත වූ ‘මමා මියා’ සිනමාපටයේ දස වැනි සැමරුම වෙනුවෙන් නිර්මාණය වූවකි. රංගනයට වැඩිම ඔස්කාර් සම්මාන ගණනකට නිර්දේශ වූ නිළිය වූ මෙරිල් ස්ට්‍රීප් ප්‍රථම නිර්මාණයට මෙන් ම දෙවැන්නට ද රංගනයෙන් දායක වී තිබේ. මේරි පොපින්ස් රිටර්න්ස්, සංගීතමය මායාව 1964 දී තිරගත වූ මේරි පොපින්ස් සිනමා පටයේ ප්‍රතිනිර්මාණයයි. පනස් හතර වසරක් තරම් අතීත කතාවක් ප්‍රතිනිර්මාණය වී රසිකයන්ට කෙසේ සමීපවනු ඇත්ද? මෙය තිරගත වන්නේ 2018 නත්තල් තිළිණයක් ලෙසිනි.

විද්‍යා ප්‍රබන්ධ කතා

විද්‍යා ප්‍රබන්ධ සැලකෙන්නේ අනාගත අනාවැකි දළ සේයා පටයක සිත්තම්වීමක් ලෙස ය. ‘බම්බල්බී, ඇනිහිලේෂන්, රෙඩී ප්ලෙයර්වන්, ඇලීටා: බැට්ල් ඒන්ජල්, මේස් රනර්: ද ඩෙත් කියෝ, රෙප්ලිකස්, ද මෙග්, කැප්ටිව් ස්ටේට්, පැසිෆික් රිම් අප්රයිසිං, ද ප්‍රීඩේටර්, කුතුහලය පිරි විද්‍යා ප්‍රබන්ධ සිනමා සිත්තම් ය.සුපිරි වීර සිනමා පට අතරට බ්ලැක් පැන්තර්, ද නිව් මියුටන්ට්ස්, පැසිෆික් රිම් අප්රයිසිං, ටොම්බි රෙයිඩර්, ඇවෙන්ජර්ස්: ඉන්ෆිනිටි වෝ, ට්‍රාන්ස්ෆෝමර්ස්: බම්බල්බී, ජුරාසික් වර්ල්ඩ්: ෆෝල්න්කිංඩම්, එක්වී ඇත.

සත්‍ය කතා නව සිනමා ප්‍රවණතාවකි. සැබෑ අත්දැකීම් ඇසුරින් ගෙතුණු අතීතය යළි ජීවත් කරන නිර්මාණ රාශියෙන් ලියනාඩෝ ඩා වින්චි නම් ලෝ ප්‍රකට විශිෂ්ට සිත්තරාගේ ජීවන චරිතය ප්‍රධානය. ලියනාඩෝ ඩිකැප්‍රියෝ මේ චරිතය නිරූපණය කිරීම ද සුවිශේෂී ය. 15: 17 වූ පැරිස් සැබෑ ඇමෙරිකානු යුද වීරයන් වූ ඇන්තනි සැඩ්ලර්ගේ හා ඇලෙක් ස්කාර්ලටස්ගේ සත්‍ය කතාවයි. ඔවුන් 15:17 ම ප්‍රංශයට එල්ලවීමට ගිය ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීය. සැබෑ වීර‍යෝ ද තිරයේ රඟති. කෲර ව්‍යාපාරිකයකු ව‍ූ ව්‍යාපාරික අල්ෆොන්සේ කැපෝන්ගේ ෆොන්සෝ, රොනල්ඩ් රේගන් ජනපතිගේ ධවල මන්දිරයේ ජීවිත කතාව ඇතුළත් රේගන්, සිනමා පටය ද රසාලිප්ත අත්දැකීමක් වනු ඇත. ජුලියස් හෙන්රි මාක්ස් වඩාත් ප්‍රසිද්ධව සිටියේ ග්‍රෞචෝ මාර්ක්ස් ලෙස ය. අමෙරිකානු හාස්‍ය නළුවකු, ලේඛකයකු, වේදිකා නළුවකු, සිනමා, ගුවන් විදුලි හා රූපවාහිනී නළුවකු වූ ග්‍රෞඩෝ ‍මාර්ක්ස්ගේ ජීවන අන්දරය ‘රෙයිස්ඩ් අයිබ්‍රවුස් ය. ලුසී ඇන්ඩ් ඩේසි, මයි ඩිනර් විත් හර්ව්, මැනමා පේපර්ස්, ප්‍රොගෙසර් මාස්ටන් ඇන්ඩ් ද වොන්ඩර් විමෙන්, ද කාර්ටල්, ද රිසරෙක්ෂන් වැනි සැබෑ කතා පෙළක්ම 2018 සිනමා දැක්මේ ඇත.

 


ලංකා වැසි ජල රැස් කරන්නන්ගේ සංසදයෙන් කෙටි චිත්‍රපට තිරපිටපත් රචකයන්ට ආරාධනයක්

ලංකා වැසි ජල රැස්කරන්නන්ගේ සංසදය විසින් කෙටි චිත්‍රපට නිපදවීම සඳහා තිරපිටපත් රචකයන්හට ආරාධනය කර සිටී. එම තිරපිටපත් ස්වතන්ත්‍ර නිර්මාණයන් විය යුතු අතර.

* වැසි ජලය රැස් කිරීම.

* ජල සංරක්ෂණයේ වැදගත්කම

* ජලය හා සෞඛ්‍ය

යන ‍තේමාවන් ඔස්සේ නිර්මාණය විය යුතුය. මෙහිදී ඔබගේ අයදුම්පත්‍රය අධ්‍යක්ෂකගේ තොරතුරු, සංකල්පන සටහන, කතා සාරාංශය සහ අයවැය යන සියලු කරුණු පිටු තුනකට සිමා විය යුතුය. කෙටි චිත්‍රපටයේ කාලය විනාඩි විස්සකට නොවැඩි විය යුතු අතර සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම තිර පිටපත් ඉදිරිපත් කළ හැකිය.

‍තෝරාගන්නා ජයග්‍රාහී තිරපිටපත් සඳහා චිත්‍රපටය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක (100,000) අනුග්‍රාහකත්වයක් සපයන අතර ප්‍රවීණ තිර පිටපත් රචකයින් සහ චිත්‍රපට නිර්මාණකරුවන් සමඟ වැඩමුළුවකට සහභාගීවීමට අවස්ථාව ලැබේ.

ඔබගේ අයදුම්පත් PDF ආකෘතියෙන් [email protected]  වෙත 2018 ජනවාරි 15 දිනට පෙර යොමු කළ යුතුය. කෙටි චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා තෝරාගන්නා තිරපිටපත් පිළිබඳ විස්තර 2018 ජනවාරි මස 30 වැනි දින නිවේදනය කෙරේ. වැඩි විස්තර 0115524612 දුරකථනයෙන් ලබාගත හැකි අතර මේ සඳහා අයදුම් පත්‍රය www.lankarainwater.org  වෙබ් පිටුවෙන් ලබාගත හැකිය.

 

Comments