නත්තල නිසා ලොවට තිළි­ණ­වුණු අපූරු චාරිත්‍ර හා සංකේත | සිළුමිණ

නත්තල නිසා ලොවට තිළි­ණ­වුණු අපූරු චාරිත්‍ර හා සංකේත

ඔබ සැමට සුබ නත්තලක් වේවා කියා ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ලොව සෙසු රටවල් හා බලන විට සාපේක්ෂව නත්තල සමරන පිරිස අපේ රටේ අඩු වුණත් නත්තලේ අසිරිය නම් කිසිම අඩුවක් නැතුව මේ කාලයේදී දකින්නට ලැබෙනවා. බොහෝමයක් බෞද්ධ නිවෙස් වල පවා කුඩා දරුවන් නත්තල් ගසක් සෑදීමට ප්‍රිය කරනවා. ඒ වගේම සියලුම ආයතන හා ගොඩනැගිලි විසිතුරු සැරසිලි හා විදුලි බුබුළු වලින් සැරසෙන්නේ ඉතා සුන්දර දසුනක් මවමිනි. දැවැන්ත ලෙසින් වාණිජකරණයට ලක්වී තිබෙන මෙම නත්තල් උත්සවය යනු කතෝලික බැතිමතුන් ජේසු බිලිඳුන්ගේ උපන්දිනය සමරන උතුම් දිනයයි. නත්තලේ සැබෑ අරුත ලෙසින් හඳුන්වන්නේ සාමය හා සතුට සියල්ලන් තුළම පැතිර වීමයි. මේ නිසා තමයි තෑගි හුවමාරු කිරීම නත්තල් සමයේදී විශේෂ ස්ථානයක් ලබාගන්නේ.

නත්තල් සුබපැතුම් පත්

නත්තල් කාලයේදී කතෝලික බැතිමතුන් තම නෑදෑ හිතවතුන්ගෙන් නත්තල් සුබපැතුම් පත් ලැබෙනවා. සර් හෙන්රි කෝල් සහ ජෝන් හෝස්ලි නම් චිත්‍ර ශිල්පියා විසින් වර්ෂ 1843 දී තමයි ලොව ප්‍රථම නත්තල් සුබපැතුම් පත නිර්මාණය කරන්නේ. තැපැල් සේවය භාවිතා කිරීමට මිනිසුන් උනන්දු කරවීම තමයි මොවුන් දෙදෙනාගේ අරමුණ වී තිබෙන්නේ. මෙම සුබපැතුම් පතක් ආසන්න ලෙසින් පවුම් 6ක පමණ මිලකට අලෙවි වී තිබෙන අතර පසු කාලීනව මුළුමහත් යුරෝපය පුරාම නත්තල් සුබපැතුම් පත් නිර්මාණය කිරීම හා බෙදා හැරීම ප්‍රසිද්ධ වී තිබේ.

නත්තල් ගස

යුරෝපයේ උතුරු දෙසට වන්නට පිහිටි රටවල් වල නත්තල් ගස් සෑදීම වසර දහසක පමණ පෙර සිට කරගෙන යනු ලැබූවත් එක්සත් රාජධානිය වැනි රටවල් තුළ නත්තල් ගස් සෑදීම ක්‍රි.ව. 1830 පමණ වන තෙක් දක්නට ලැබී නැත. වර්ෂ 1841දී ඇල්බර්ට් කුමරු විසින් වින්ඩ්සර් මාළිගයේ නත්තල් ගසක් නිර්මාණය කිරීමෙන් පසුව සෑම නිවසකම නත්තල් ගසක් සෑදීම ලැව් ගින්නක් සේ පැතිර ගොස් තිබේ. යුරෝපීය ආක්‍රමණ නිසා මෙවැනි චාරිත්‍ර ලෝකයේ අනෙකුත් රටවල් වලටද ඉතා ඉක්මනින් ගමන් කර තිබේ. අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ නත්තල් ගස් ලෙසින් කෙසෙල් ගස් සැරසීමද ලෝකයේම අවධානය දිනාගෙන තිබෙන කරුණකි.

Mince pies

කුඩාරවුම් හැඩැති මස්, පලතුරු, කුළුබඩු පිටි සමඟ යොදා පුළුස්සා ගනු ලබන මෙම ආහාරය අපේරටේ දක්නට නොලැබුණත් බටහිර රටවල නම් නත්තලට නැතුවම බැරි ආහාරයකි. කුරුස යුද්ධය සඳහා මැදපෙරදිග වෙත ගොස් සිටි සොල්දාදුවන් විසින් නැවත යුරෝපය වෙත පැමිණීමේදී රැගෙන එනු ලැබූ මැද පෙරදිග ආභාසය සහිත ආහාරයේ ද්‍රව්‍ය දහතුනක් අඩංගු වන්නේ ජේසු තුමා සහ ඔහුගේ ශ්‍රාවකයින් දොළොස් දෙනාව නියෝජනය කිරීමට වන අතර, මෙහි හැඩය ජේසු බිලිඳා ඉපදුණු ගව ඔරුවේ හැඩයට සමාන වන ආකාරයට සාදනු ලබයි. වර්තමානය වන විට මස් වර්ග මෙම ආහාරයේ වට්ටෝරුවෙන් ඉවත් වී ඇති අතර පලතුරු වලින් සාදනු ලබන කැවිලි දක්නට ලැබෙයි.

නත්තල් මේස්

යුරෝපීය රටවල ගිනි උඳුන අසල වර්ණවත් මේස් එල්ලා තබනු ලබන්නේ නත්තල් සීයාට රාත්‍රියේ පැමිණ තෑගි දමා යාමටයි. මෙම චාරිත්‍රය ඇතිවී තිබෙන්නේ නත්තල් සීයා යන නමින් හඳුන්වනු ලබන සාන්ත නිකලස් තුමා මිනිසුන් වෙත තෑගි ලබාදෙන විට සිදුවූ සිදුවීමක් නිසායි. දුප්පත් පවුලක මිනිසෙකු වෙත තම දියණියන්ව විවාහ කර දීමට දෑවැද්ද සඳහා මුදල් නොමැති නිසා සාන්ත නිකලස් තුමා විසින් දුම් කවුලුවෙන් නිවස තුළට දැමූ රත්තරං අඩංගු මළු ගිනි උඳුනේ රස්නයෙන් වියළීමට තබා තිබූ මේස් තුළට වැටීම එම සිදුවීමයි. මේ නිසා නත්තල් සීයාට තෑගි දමා යාමට ගිනි උඳුන අසළ මේස් එල්ලනු ලබනවා.

Holly and ivy

නත්තල් සැරසිලි කියූ සැනින්ම අපේ මතකයට නැගෙන්නේ නෙරීම් සහිත කොළ පැහැති කොළයක් හා ඒ සමඟ තිබෙන කුඩා රතු පැහැති ගෙඩි පොකුරයි. නත්තලට පෙර සිටම ශීත කාලයේදී සැරසිලි සඳහා මෙම ශාකය යොදාගෙන තිබෙනවා. ඒ මුළු පරිසරයම හිම වැටී සුදු පැහැයෙන් දිස් වන විට මෙම ශාකය ඉතා විචිත්‍රවත් ලෙසින් කොළ පැහැයෙන් හා රතු පැහැයෙන් කැපී පෙනීමයි. නත්තල් සැරසිලි සඳහා කොළ පැහැය හා රතු පැහැය යොදාගෙන තිබෙන්නේත් මෙම ශාකය නිසයි.

Mistletoe

මිසල්ටෝ යන නමින් හැඳින්වෙන්නේ එක්තරා ආකාරයක නත්තල් සැරසිල්ලක්. සුදු පැහැති කුඩා ගෙඩි තිබෙන ශාක කොටස් හා ගෙඩි හා කොළ සමඟින්ම රතු පැහැති පීත්ත පටියකින් ගැටගසා නිවසේ ඉහළින් එල්ලනු ලැබීම නත්තල් චාරිත්‍රයයි. පුරාතන සමයේ විවිධ වූ කුඩා ආගම් අදහන්නන් විසින් සිදු කර තිබෙන මෙම ක්‍රියාව කිතුනුවන් විසින් නත්තල වෙත යොදාගෙන තිබෙනවා. මෙම මිසල්ටෝ යන නාමය ඇන්ග්ලෝ-සැක්සන් වචනයක් වනවා. මෙම සැරසිල්ල යට සිට මෙහි ගෙඩි කඩාගනිමින් එම ගෙඩි ගණනේ අගයට සරිලන සේ හාදු දීම එංගලන්තයෙන් ඇරැඹි බටහිර රටවල ඉතාමත් ජනප්‍රිය වූ නත්තල් චාරිත්‍රයක් වනවා.

සැරසිලි වලට පමණක් සීමා නොවුණු සැබෑ ලෙසින්ම අන් අයට සාමය හා සතුට පතුරුවන යහපත් නත්තලක් වේවා! 

 

Comments