නත්තල අර්ථ­වත්ව ගත කිරීම අපේ බලා­පො­රො­ත්තු­වයි | Page 2 | සිළුමිණ

නත්තල අර්ථ­වත්ව ගත කිරීම අපේ බලා­පො­රො­ත්තු­වයි

ඔහුගේ ආදරණීය ගී හඬට ඇළුම් නොකරන්නේ කවරෙක්ද? ලොවටම සාමයේ පණිවුඩය රැගෙන ආ ජේසු බිලිදානන්ගේ උපත සමරන උඳුවප් මාසේ සීතලත් සමඟම ඇරැඹෙන නත්තල කිතුනුවකු වූ ඔහුටත්, ඔහුගේ සොඳුරු කැදැල්ලට මෙන්ම ඔහුට ආදරය කරන ඔහුගේ රසික රසිකාවියන්ට ද එකසේ වැදගත් වෙයි. සිංහල ගීතාවලියට හෘදයාංගම බවක් මෙන්ම සොඳුරු පැහැයක්,හැඩයක් එක්කරන්නට සමත් වූ ගායකයෙක් ලෙස ඔහු හඳුන්වාදීම වරදක් නොවේ. චන්දන ලියනාරච්චි ප්‍රවීණ ගායකයාගේ සොඳුරු නිවහනට අපි ගොඩ වැදුණේ නත්තලේ මතකයත් සමඟ ඔහුගේ කැදැල්ලේ නවතම තොරතුරු ඔබ වෙත ගෙන එන්නයි.

මේ උදාවී ඇත්තේ තත්තල් මාසය. නත්තලට ඔබ මේ වන විටත් සූදානම් ඇති?

අනිවාර්යයෙන්ම. නත්තල් මාසය කියන්නේ කතෝලිකයන්ට විශේෂිත මාසයක්. මටත් ඒ වගේම විශේෂයි.ලොව පුරාම කිතුණුවන් නත්තලේ අසිරිය විඳිනවා. නත්තලේ අසිරිය විඳිමින් ප්‍රීතිමත්ව, සහයෝගයෙන්, සතුටින් ප්‍රේමයෙන් ගත කිරීම තමයි වැදගත්. ජේසු බිලිඳානන් උපත ලැබූ නත්තල අර්ථවත්ව ගත කරමින් උන්වහන්සේ ලොවට බෙදා දුන් ප්‍රේමණීය මිනිසත්කම පෙරදැරිව අන්‍යයන්ට උපකාර කරමින් ජීවත් වීම තමයි වැදගත් වන්නේ. කිතුනුවන් වන අප කළ යුත්තේ මේ දේවල් නත්තලට විතරක් සීමා නොකොට දිවිය පුරාම පවත්වාගෙන යාමයි . නත්තල ඉතාම අර්ථවත්ව සමරන්නට තමයි කතෝලික පවුලක් ලෙස අපේ බලාපොරොත්තුව‍. ඒ වගේම මගේ ජීවිතේ තිබෙනතුරු මගේ හඬින් දෙවියන් වෙනුවෙන් ප්‍රශංසා කරන්නට පුළුවන් නම් එයයි මං ලබන ලොකුම භාග්‍යවන්තකම. මගේ ජීවිතය වගේම මගේ කටහඬත් මට දුන්නේ දෙවියන් වහන්සේ. කතෝලිකයෙක් විදිහට මගේ ජීවිතේ ලද සියල්ලම මට ලබා දුන්නේ දෙවියන් වහන්සේගෙන් කියන විශ්වාසය හදවතේ තිබෙනවා. දේශ දේශාන්තරවල ගිහින් රසිකයන් පිනවන්න ලැබුණු ඒ හැකියාව දේවියන්ගේ ආශිර්වාදයෙන් තවතවත් ඉදිරියට ගෙන යන්නට උන්වහන්සේ මට උපකාර කරනවා. ඉදිරියටත් දෙවියන් වෙනුවෙන් ගීතිකා ගයමින් දේව වචනය ඔස්සේ ගමන් කිරීම තමයි මගේ කැමැත්ත.

ළමා කාලයේ ඔබ නත්තල් සැමැරුව හැටි මතක් කරන්න කැමැති ද?

අපි සහෝදර සහෝදරියො අම්ම තාත්ත එක්ක නත්තල් මාසෙ ලබන කොටම තමයි නත්තලට සූදානම් වෙන්නේ. නත්තල දෙසැම්බරයෙ පටන් ගන්නකොටම අපේ පුංචි හිත්වලට දැනෙනවා. අම්මා නත්තලට කැවිලි හදන කොට, තාත්තයි පුංචි අපියි ඒවට උදව් වෙනවා. ගවලෙන හදන්න නත්තල් ගහ හදන්න තමයි අපි මුල් වෙන්නේ. නත්තල් දවසේ දිව්‍ය පූජාව තමයි අමතක කරන්නම බැරි. රාත්‍රී 12 වෙන්න පෙර අපි පල්ලියට යනවා. ඒ යන්නේ පාරේ බස් ඒකේ. පූජාව ඉවරවෙලා පාන්දර දෙකට විතර තමයි පල්ලියෙන් පිටත් වෙන්නේ . ගෙදරට එන්නේ පයින් ඇවිද ගෙන. පල්ලියේ ඉඳලා කිලෝමීටර් හතක් විතර පයින් තමයි අපේ ගෙදරට එන්න තියෙන්නේ. අයියලා අක්කලා එක්ක සෑහෙන වෙලාවක් පයින් ඇවිදගෙන ගෙදර ආපු ඒ අතීතය තවමත් මට මතකයි. ගෙදර ඇවිල්ලත් අපි නිදා ගන්න යන්නෙ නැහැ. රතිඤ්ඤා පත්තු කරලා ගවලෙනේ ලයිට් දාලා එතැන් සිටම නත්තල් සමරනවා. එළිවෙන කොට අහල පහළ ගෙවල්වලට නත්තල් අරගෙන අපි යනවා. නත්තල් දා රාත්‍රියට තමයි නත්තල් පාටිය. කට්ටියම එකතු වෙලා ගීතිකා වලින් පටන් ගෙන සිංදු කියනවා. ඉවර වෙන්නේ ජනප්‍රිය බයිලාවලින් තමයි. ඒ කාලෙ ඉතාම රසවත් වගේම හරිම සුන්දරයි. ඒ අතීතෙට තවමත් මම ආදරෙයි.

මෙවර නත්තල ගත කරන්න හිතාගෙන ඉන්නෙ කොහොමද?

පසුගිය වසරවල නම් නත්තල සමරන්න විදෙස් ගත වුණා. පසුගිය වසරේ නත්තල් සැමැරුවේ සිංප්පූරුවේදියි. නමුත් මෙදා පාර නත්තල් නම් අපි අපේ ගෙදර සමරන්නයි හිතාගෙන ඉන්නේ. මේ දවස්වල පුතත් එක්ක ගවලෙනක් වගේම නත්තල් ගසක් අපි හැදුවා.

මේ දිනවල සිදු කෙරෙන ඔබේ නවතම කලා කටයුතු මොනවාද?

පසුගිය ටිකේ තරමක් අසනීප වෙලා හිටියේ. අලුතින්ම ගීත කිහිපයක් නිර්මාණය කළා. විශේෂයෙන්ම මවුගුණ ගීතයක් මම ගායනා කළා. පියගුණ ගීතයක් ගායනා කරන්නට මේ වන විට පද රචනය, සංගීතය නිර්මාණය කෙරෙමින් පවතිනවා. ඉදිරියේ දී එයත් රසිකයන් අතරට ගෙන එන්නට සූදානම් වෙනවා. ඒ වගේම මගේ අලුත්ම ගීත ඇල්බමයක් නිකුත් කරන්නටත් මේ දිනවල මම කටයුතු කරමින් සිටිනවා.

අසනීප තත්ත්වය දැන් සුවද?

දැනට මාසයකට දෙකකට පමණ පෙර ඩෙංගු උණ හැදුණා. පසුගිය කාලෙම හුඟක් විවේකීව ගත කරන්න සිදු වුණා. කලා කටයුතු වලින් දුරස්ව සති කිහිපයක් එනිසා විවේක ගත්තා.

ඔබේ බිරිය ගැනත් දැන ගන්නට කැමැතියි?

ඇය නදීෂිකා සීදේවි. අපි දෙන්නා මුණ ගැහුණේ විවාහ උත්සවයකදියි. එතැනදී අපි දෙන්නට කතාබහ කරන්න ලැබුණා. පසුව දුරකතන අංක හුවමාරු වුණා. මිතුරන් ලෙස නිතර දුරකතනයෙන් කතා බහ කළා. ඒ මිතුදම ආදරයකට පෙරළුණා. අදහස් සිතුම් පැතුම් සමාන නිසාත් අපි ගැන හොඳ අවබෝධයක් දෙදෙනාටම තිබෙන නිසාත් අපි විවාහ වුණා.

ඇගෙන් ඔබට ලැබෙන සහායෝගය මොනවගේද?

නදීෂිකාට කලාව පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. ඇය භරත නර්තනය පිළිබඳ විශාරදවරියක්. කලාව කෙරෙහි ගෞරවයක් අවබෝධයක් හැකියාවක් වගේම ඇල්මක් තිබෙන නිසා එය මගේ ගායන වෘත්තියට ලොකු උදව්වක් වුණා. අදටත් ඇයගෙන් ලැබෙන සහයෝගය විශාලයි. මාව තේරුම් ගැනීමේ සිට මට අවශ්‍ය නිදහස , ඒ වගේම මගේ නිර්මාණයන්වල වැඩි දියුණු වියයුතු තැන් අලුත් නිර්මාණ පිළිබඳ නිතරම ඇය මා සමඟ කතා බහ කරනවා. මාව උනන්දු කරවනවා. මම නොදුටු පැති පෙන්වා දෙනවා. ඒ වගේම මම ඇගේ අගය කරන ගුණාංගයක් තමයි ඇය සතුව පවතින රසවින්දනය. ඇයට ගීතය නර්තනය පිළිබඳ හොඳ විඳීමක් තිබෙනවා. මේ හැමදේම සමඟ ගෙදර දොරේ වැඩකටයුතු පුතාගේ වැඩකටයුතු සියල්ල ඇය සොයා බලා ඉටු කරනවා. අවංකවම ඇයවන් බිරියක් ලැබීම මගේ වාසනාවක් ලෙස මම දකිනවා. හැමදාමත් මම හිතන්නේ ඇයත් මගේ පුංචි පුතාත් මට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ලැබුණු උතුම් ත්‍යාගයන් බවයි.

පුංචි පුතා දැන් තරමක් ලොකු ඇති?

ඔව්. දැන් එයාට අවුරුදු හතරයි. පුතාගෙ නම ඇන්ජලෝ ඉයන් චන්දීව්. දැන් පෙර පාසල් යනවා.

පුතා සංගීතයට කැමැති ඇති?

ඇත්තටම එයා හුඟක් සංගීතයට කැමැතියි. මම sing කරනවා දකින කොට එයත් මාත් එක්ක sing කරනවා. ඒ වගේම පියානෝ එක play කරන කොට පුතත් ළඟට ඇවිත් එයාගෙ සෙල්ලම් ගිටාර් එක වාදනය කරමින් මාත් එක්ක සිංදු කියනවා. ඩ්‍රම් ගහන්න හරිම කැමැතියි. හරිම හුරතල්. මම හිතන්නේ එයාට ගීත ගායනයට කැමැත්තක් වගේම හැකියාවකුත් තිබෙනවා.

චන්දන වැනි සැමියෙක් ලැබීම ගැන මොකද හිතන්නේ? මම නදීෂිකාගෙන් ඇසුවෙමි.

මම හුඟක් වාසනාවන්තයි කියලා හිතෙනවා. අපි දෙන්නා බොහොම කාලයක් ආශ්‍රය කරලා තමයි විවාහ වුණේ. චන්දන හරිම සංවේදීයි. ආදරණීයයි. පුදුමාකාර නිවුණු චරිතයක්. හැම පැත්තකින්ම සර්ව සම්පූර්ණ පුද්ගලයෙක්. අසරණ අයට උදව් උපකාර කරනවා. චන්දනගේ බිරිය වීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා. අපිව මුණගැස්සුවාට දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා.

නත්තල ගෙවිලා එළඹෙන්නේ අලුත් අවුරුද්දක්. අලුත් අවුරුද්දේ මොනවද දෙන්නගෙම අලුත් බලාපොරොත්තු?

අලුත් බලාපොරොත්තු කිහිපයක්ම තිබෙනවා. එක් පැත්තෙකින් ගායන ශිල්පියෙක් විදිහට මගේ නිර්මාණ කටයුතුවල දියුණුවක් දැකීම වගේම කතෝලික පවුලක් ලෙසින් ඉදිරි අනාගතය සාර්ථක කරගැනීමට තමයි මගේ බලාපොරොත්තු. නදීෂිකා නම් ලබන වසරේ සිට භරත නර්තනය දරුවන්ට උගන්වන්නට සූදානම් වෙනවා. ඇගේ ඒ හැකියාවෙන් ප්‍රයෝජනයක් දරුවනට අත්කර දෙන්නට තමයි ඇගේ බලාපොරොත්තුව. 

Comments