නත්තල් දා ගීතිකා කියන්න මාස ගණ­නක් පුහුණු වුණා | සිළුමිණ

නත්තල් දා ගීතිකා කියන්න මාස ගණ­නක් පුහුණු වුණා

නමෝ මරියනී..නමෝ මරියනී..

නමෝ මරියනී ප්‍රසාද

පූර්ණ වන්තිනී...

ජේසු බිලිඳුන්ගේ උපත ‍සිදු වු සීතල උදුවප් මාසේ නත්තල් දිනය හෙටයි. මෙම ගීතය ඇසෙන සෑම මොහොතකම අපට සිහිවන්නේ නත්තලයි.ජේසු බිලිඳුන්ගේ උපතයි.හෙට උදාවෙන නත්තල් දිනය වෙනුවෙන් මෙම ගීතය ගායනාකරන ලතා වල්පොල සමග කතාබහ කරන්නට රසඳුන අපි අමතක කළේනෑ.

කොහොමද..ඔබ තුමියට හෙට උදාවන නත්තල ජයටම සමරන්නද සූදානම.

මම උපතින් කතෝලික භක්තික වුවත් ධර්මදාස වල්පොල සමග විවාහ වූවාට පසු බෞද්ධ ආගමික පැත්තට නැඹුරු වුණා. ලතා ප්‍රනාන්දු වූ මගේ නමත් පසුව ලතා වල්පොල බවට හැරුණා.1959 අපි දෙන්නා විවාහ වු පසුවත් නත්තලත් සිංහල අලුත් අවුරුද්දත් ජයටම සැමරුවා . එහෙත් ධර්මදාස හදිසියේ අප අතරින් සමුගත්තේ නත්තල් දිනයක දහවල් 12ට පමණ. එදා ඉඳන් දැන් වසර තිස් ගණනක සිට නත්තල අපෙන් දුරස්වෙලා තියෙන්නේ . උත්සව ගන්නේනෑ.එදාට පින් දහම් කරනවා.

කුඩා කාලයේදි නත්තල සමරපු අයුරු සිහිපත් කළොත්..

දෙසැම්බර් මාසය පටන්ගත් දින සිට නත්තල් දිනය උදාවෙනතුරු අපි බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්. හොඳ වැඩකර ලකුණු ගන්නවා.නත්තල් දිනයට පල්ලියේ ගීතිකා ගායනා කරන්න මාස ගණනක සිට පුරුදු පුහුණු වෙනවා.නත්තල් දවසෙ අම්මා, තාත්තා,අයියා සහ අක්කා සමග දිව්‍ය පූජාවට සහභාගි වෙන්න යනවා. ඒ ඇරුනම ගල්කිස්ස පල්ලියේ ගීතිකා ගායනා කරනවා.අපි පදිංචි වෙලා හිටියෙ බම්බලපිටියෙ දවලගිරියෙ.ගල්කිස්ස සාන්ත අන්තෝනි පාසලට තමයි පාසල් ගියේ.පාසල ආසන්නයේ සාන්ත අන්තෝනි පල්ලිය තියෙන නිසා පල්ලියෙ ගීතිකා ගැයීමට පහසුවක් වුණා. පල්ලියෙ ගීතිකා කියනව කියන්නෙ හරියටම පිච් එකට ගීත කියනවා.ඒ ආභාෂය තමයි අදටත් මට තියෙන්නෙ. රත්මලාන සහ දෙහිවල පල්ලිවලටත් ඉඳහිට යනවා.පස්සෙ පස්සෙ පල්ලියෙ ගීතිකා ගායනා කිරීමට අමතරව ප්‍රසංග වේදිකාවලටත් සහභාගිවෙන්න ගත්තා. ඒ නිසා මට පල්ලියට ඒම තහනම් කළා. පාසලට ඒමත් තහනම් කළා.

කොපමණ බාධා පැමිණියත් ගීත ගායනා කිරීම අත්හැරියේ නෑ.

අපි පුංචි කාලෙ අපේ ගෙදර හැමදාම හවසට පැදුරු සාජ්ජයක් තියල ගීත ගායනා කරනවා. මම තමයි වැඩිපුරම සින්දු කියන්නෙ.ඒ සින්දු අහන්න අපේ ඥාතියෙක් එනවා. ඔහු මාව සී.ඩී.ෆොන්සේකාට හඳුන්වා දුන්නා.ඔහු ළඟ ගීතිකා කණ්ඩායමක් සිටියා.පිරිමි ළමයි තුනයි, ගැහැනු ළමයි තුනයි.‍එහිදී කෝරස් කියන්න මට පැවරුණා. සී.ඩී. ෆොන්සේකා විල්සන් ද අල්විස් කියන වාදකයාට මාව හඳුන්වා දුන්නා. ඔහු මගේ දක්ෂතා හඳුනාගෙන ගල්කිස්ස ගීතිකා කණ්ඩායමට බඳවා ගත්තා.'කඳුළු දෙනෙතේ වෑහෙනා'කියන ගීතය ගායනා කරන්නට අවස්ථාව ලැබුණේ ඒ අනුවයි. එම ගීතයෙන් තමයි මගේ ගායන දිවිය ආරම්භ කළේ.ඒ කාලෙ ඉතාම ප්‍රසිද්ධව සිට් චිත්‍රා සෝමපාලට සහ සුසිල් ප්‍රේමරත්නට මාව හඳුන්වා දුන්නේ ඉන්පසුවයි. සුසිල් ප්‍රේමරත්නයන් තමයි මට ගීතයක් හරියට ගායනාකරන්න ඉගැන්නුවේ. එම අවස්ථාවේ ගායනාකළ 'රන්වන් රන් කරළින් පැසිලා','සැළලිහිණි','මිහිරි සුවඳ විඳි'යන සරළ ගීත තුන අදත් රසිකයන් අතර ජනප්‍රියයි. එයටම සී.ඩී ෆොන්සේකා සමග 'මල්බර හිමිදිරේ 'යුග ගීතයත් ගායනා කළා.

පාසල, පල්ලිය, වගේම ගෙදරිනුත් ගීත ගයනවාට තහංචි වැටුණාද?

තාත්තා තදින්ම විරුද්ධ වෙලා ප්‍රසංග වේදිකාවේ සිංදු කියන්න යන්න තහනම්කළා. නිකන් හරි ගියා කියලා දැනගත්තොත් එදාට අම්මත් එක්ක රණ්ඩු කරගන්නවා.මට ගහනවා. ඔය කාලෙදි සුජාතා චිත්‍රපටයට ගීත ගායනා කරන්න ඉන්දියාවට යන්න ආරාධනා ලැබුණත් තාත්තා අවසර දුන්නෙ නැති නිසා එම අවස්ථාව අහිමිවුණා. ඒ ගැන අම්මා හරිම දුක්වුණා. ඇය තාත්තගෙන් වෙන්වෙන්න තීරණය කළේ කවදාවත් තාත්තා එක්ක හිටියොත් මට ගායිකාවක් වෙන්න ඉඩ නොලැබේවි කියා සිතූ නිසා වෙන්න ඇති. මගේ බලාපොරොත්තු ඉටුකරන්න අම්මා තාත්තගෙන් වෙන් වුණා. 'එදා රෑ' චිත්‍රපටය‍ට ගීත ගයන්න අම්ම මාව ඉන්දියාවට එක්කගෙන ගියේ ඉන් පසුවයි. එදා මගේ අම්මා මම වෙනුවෙන් එවැනි එඩිතර තීරණයක් නොගත්තානම් ලතා වල්පොල කියන ගායිකාව බිහි නොවෙන්න තිබුණා.

'එදා රෑ' චිත්‍රපටයේ ගීත ගායනා කිරීමෙන් පසුව ඔබ ජනප්‍රිය වුණා...

'එදා රෑ' චිත්‍රපට‍යට ගායනාකළ 'හොඳ හොඳමවේය ලොව කිසිම තැනක නැහැ 'ගීතයත්, 'ප්‍රේමයේ චන්ද්‍රයා', 'ලංකාරෙන් මලක්පිපී සැලෙන්නේ', ආදි ගීත අසීමිත ලෙස ජනප්‍රිය වුණා. ඉන් පසුව 1952සිට 60 දක්වා චිත්‍රපට 30කට පමණ ගීත ගායනා කළා.මුත්තුසාමි මාස්ටර් තමයි මගේ ගායනා දිවිය වෙනස් කළේ. ඔය කාලයේදි තමයි ධර්මදාසයන් මුණ ගැසෙන්නේ. මුල්ම අවධියේ මා ගායනාකළ ගීත ලියුවේ බෙනඩික් පියතුමා, ආර්.මුත්තුසාමි,කරුණාරත්න අබේසේකර, හර්බට් එම්.සෙනෙවිරත්න වැනි ප්‍රවීණයන්. රැජින මමයි ගීතය ගායනාකළේ 1956 වසරේ. දැන් එම ගීතයට අවුරුදු 62ක් වුණත් අදත් ජනප්‍රියයි.නමෝ මරියනී ගීතය වසර හැට ගණනක් පරණයි.බෞද්ධාගමිකයකු වන කාලිදාස කුලකුලසූරිය තමයි මේ ගීතය ලියුවේ. සංගීතය අර්වින් ෆොන්සේකා.'නමෝ මරියනී' මුල් කාලයේ යුග ගීතයක් ලෙස ගායනාකළත් පසුව කොළොම්බියා තැටියට මා තනිවම ගායනාකළා.

පසුගියදා ඔබ ජීවිතයේ අසූ හතරවැනි ජන්ම දිනය සැමරුවා.අදත් තරුණියක මෙන් සුමියුරු හඬින් ගී ගයනවා.ඒ ගැන මොකද හිතෙන්නේ..

පසුගියදා අසූ හතරවැනි උපන්දිනය චාම්ව ගත්තා.1934 නොවැම්බර් 11දා ඉපදුණු මම වයස අවුරුදු දොළහ කාලයේ සිටම එනම් 1946 සිට ප්‍රසිද්ධ වේදිකාවේ ගීත ගායනා කරනවා.අම්මා එළිසබත්,තාත්තා ජෝසප් ප්‍රනාන්දු. ගුරුවරියක් වු මගේ අම්මා අද ජීවතුන් අතර නැතත් ඇයගේ ආශිර්වාදය අදත් මට තියෙනවා කියලා දැනෙනවා. ධර්මදාස සමග විවාහ වුවාට පසුව 60-70දශකවලදී අප දෙදෙනා අතිශය ජනප්‍රිය වු ගායක ගායිකා යුවළක් වුණා. මුල්කාලයේ චිත්‍රා සෝමපාලයන්ගේත්, රුක්මණී දේවියගේත් ගීත ගායනාකළා. 1950වන විට මෙරට බිහිවු හොඳම හඬ බවට පත්වන්නට තරම් මා වාසනාවන්ත වුණා. අදත් කොච්චර වයසට ගියත් රසිකයන්ගෙන් ගීත කියන්න කියා බේරුමක් නෑ. හැමදාම ඔවුන් තමයි මා පසුපස හිටියේ. ඒ නිසා මැරෙන තුරුම රසිකයන් වෙනුවෙන් ගීත කියනවා. නත්තල් සමය උදාවීමත් සමග ප්‍රසංග වේදිකා සහ විදේශ සංචාර සඳහා ආරාධනා ලැබෙනවා වැඩියි. කොච්චර අපහසු වුණත් හැකි අයුරින් ඒ සෑම අවස්ථාවකටම සහභාගි වෙනවා. පසුගියදා මහින්ද බණ්ඩාර සංගීත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක අනූෂා දමයන්තිට ගීතයක් ගායනාකළා. අලුත් ළමයි කිහිප දෙනෙකු සමගමත් යුග ගීත කිහිපයක් කළා.මම හිතන්නෙ මට ලැබිල තියෙන හඬ දෙවියන්ගෙන් ලැබුණු වරමක් කියායි. මිය යනතුරුම එම හඬෙන් රසිකයන් පිනවීමට බලාපොරොත්තු වෙනවා.

ඔබ ගීත ගායනයට ප්‍රවිශ්ට වී වසර හැත්තෑවක් ගෙවුණා.නවක ගායක, ගායිකාවන් ගැන මොකද හිතෙන්නේ..

අපේ රටේ වර්තමාන ගායන ක්ෂේත්‍රයට ලබල තියෙන කල දවස හොඳ නෑ කියලයි මට හිතෙන්නෙ. ඒකට හේතුව දැන් ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කරන්නේ එක එක තරුයි, නළු නිළියොයි. ඒ අයව අනුන්ගේ ගීත කියන්න අසීමිත මුදලක් ගෙවල ගෙන්නනවා. ගීතයේ හිමිකරුවන් වන ගායක ගායිකාවන් ගෙවල්වල. මෙවැනි හේතු නිසා පැරැණි ගායන ශිල්පීන් සහ ශිල්පිනියන් බොහොම අසරණ වෙලා.කවුරුන් හෝ මැදිහත්වෙලා ඒවාට සාධාරණ විසඳුමක් ලබා දෙනවානම් හොඳයි.

මෙරට සිටින ප්‍රවීණතම ගායිකාවක ලෙස ගෙවුණු කාලයේ ලැබූ අත්දැකීම් සහ බුහුමන් රැසක් ඇති.ඒ ගැන මතකය අවදි කළොත්..

ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් කලාශූරී සම්මානයෙන් පිදුම් ලැබුවා. පසුව චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය කලාකීර්ති සම්මානය පිරිනැමුවා. පසුගිය මාසයේ මටත් සුජාතාටත්, ඇන්ජලින්ටත් සම්මානයක් හිමිවුණා. දැන් අපි තුන්දෙනාම වියපත්.සුනෙත්, අමිත්, ධම්මිකා, චමින්ද දරුවන් හතරදෙනාගෙම මුනුපුරාල පහයි, මිනිපිරියයි සංගීතයට සම්බන්ධයි. ධම්මිකාගෙ දෙවැනි පුතා හොඳ වයලීන් වාදකයෙක්. මේ හැමෝගෙම ඇඟේ ගායනය තියෙනවා. ඇතැම් අවස්ථාවල අපි පවුලම විදේශ සංචාරවලට සහභාගි වු විට ගීත ගායනා කරනවා.ගායිකාවක් වීම නිසා ලැබුණු බුහුමන් බොහෝමයි.ඒ මොනදේ ලැබුණත් රසිකයන්ගෙන් ලැබෙන ආදරය තමයි අදටත් මාව ජීවත් කරවන්නේ. 

 

Comments