
උදාවී ඇත්තේ ජේසූ බිලිඳුන් උපත ලද අසිරිමත් නත්තල් සමයයි. ලොව පුරා කිතුනු බැතිමතුන් දහස් ගණනක් කිතු උපත සමරන මේ අසිරිමත් මොහොතේ නත්තලේ අසිරිය ලොවටම කියාපාන්නට කොළඹ අගරදගුරු නිවෙසේ දී කලාකරුවන් හා මාධ්‍යවේදීන් ගේ සහභාගීත්වයෙන් යුතු අසිරිමත් නත්තල් උළෙලක් පැවැත්විණි.
වසරක් පාසා සෑම උඳුවප් මසකම පවත්වන මේ උළෙල මෙවරත් උත්කර්ෂවත් මෙන්ම චාම් අයුරින් පැවැත්විණි. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් නා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උළෙලට ගායන ලොවේත් රංගන ලොවේත් මාධ්‍ය ලෝකයේත් කලාකරුවෝ රැසක් එක්ව සිටියහ.
අගරදගුරු පදවි ජනසන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍ර යේ අධ්‍යක්ෂ ගරු එඩ්මන් තිලකරත්න පියතුමාගේ උපදේශකත්වයෙන් යුතුව මෙම උළෙල සංවිධානය කර තිබිණි. පැමිණ සිටි පිරිස පිළිගෙන ඔවුන් අමතා කතා කළ අති උතුම් අගරදගරු හිමියන් ප්‍රකාශ කර සිටියේ වර්තමාන සමාජය පරිගණකය ප්‍රමුඛ කරගත් තාක්ෂණික සමාජයක් බවට පත්ව තිබෙන බවත් යාන්ත්‍රික වූ ඒ මිනිස් සංතානයන්ට කලාව ඔස්සේ යම් රසවින්දනයක් ලැබෙන බවත් එවන් කලාකරුවන් මාධ්‍යවේදීන් අගය කරන්නට ලැබීම සතුටට කරුණක් බවයි.
මෙම උළෙලේදී සිනමාව, ගායන ක්ෂේත්‍රය වෙනුවෙන් තම දහදිය මහන්සිය කැප කරමින් කැපවීමෙන් හා වීර්යයෙන් කටයුතු කළ කලාකරුවන් දෙදෙනකු වූ ප්‍රවීණ සිනමාවේදී ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සහ ප්‍රවීණ ගායක ක්‍රිස්ටෝපර් පෝල් වෙත මූල්‍යමය උපහාර පුදදීම සිදුකෙරිණි. මීට අමතරව ඥානාර්ථ ප්‍රදීපයේ කිතුනු සාන්තුවරයන් පිළිබඳ ග්‍රන්ථ රචනා කළ ලේඛකයින් දිරි ගන්වමින් ඔවුනට ද තිළිණ ප්‍රදානය කෙරිණි.