ජේසු බිලි­ඳුන් සැත­පුණු ගව ඔරුවේ ධාතූන් දැකිය හැකි මේරි මේජර් බැසි­ලි­කාව | සිළුමිණ

ජේසු බිලි­ඳුන් සැත­පුණු ගව ඔරුවේ ධාතූන් දැකිය හැකි මේරි මේජර් බැසි­ලි­කාව

ඉතාලියට ගොස් එතැනින් මෙජිගෝරි රටට ගිය ගමනේ අප තවමත් සිටින්නේ පළමු දිනයේය.වතිකානය තුළදී අප නැරඹූ වැදගත්ම ස්ථාන අතරින් අවසන් වරට පිවිසියේ සාන්ත පීතර බැසිලිකාවටය.එහෙත් අද දිනයේ ඇති වැදගත්කම සලකා සාන්ත පීතර බැසිලිකාව පිළිබඳ විස්තරය ලබන සතියට කල්තැබීමට මම තීරණය කළෙමි. යළිත් සුපුරුදු ලෙස ලබන සතියේ සිට අප නැරඹූ පිළිවෙළට ලැබූ සංචාරක අත්දැකීම ඔබට කියන්නට මම බලාපොරොත්තු වෙමි.

අද දිනය දෙසැම්බර් 24 වෙයි. කතෝලික ජනතාවට මෙම දිනය අතිශයින් වැදගත් වන්නේ ජේසුබිලිඳුන් මෙලොවට ජනිත වන්නේ අදින් වසර 2017 කට පෙර අද වැනි දිනයෙක රාත්‍රී 12.00 ට බෙත්ලෙහෙම් පුරේදී වීම නිසායි. නත්තල් දිනයේ රාත්‍රියේ ජේසු බිලිඳා ඉපදුණු පසු ගව මඩුවේ ඔරුවක තැබූ බව ශුද්ධ වූ බයිබලයේ දැක්වෙන්නේ මෙසේයි.

‘තවද එසමයෙහි අධිරාජ්‍ය යේ සියලු වැසියෙන්ගේ සංගණනයක් ගැනීමට අගොස්තුස් අධිරාජයා වෙතින් නියෝගයක් නික්මිණි. මේ වනාහි කුරේනියස් සිරියාවේ ආණ්ඩුකාරවරයාව සිටියදී කරන ලද පළමු වන සංගනණනයයි. සියල්ලෝ ලියාපදිංචි වනු පිනිස තම තමන්ගේ නුවර වලට ගියහ. ජෝසෙප් ද දාවිත්ගේ වංශය හා පෙළපතට අයිති වූයෙන්, ගලීලයේ නාසරෙත් නුවරින් නික්ම ජුදයේ බෙත්ලෙහෙම් නම් දාවිත්ගේ නුවර බලා ගියේය. ඔහු ගියේ තමාට විවාහ ගිවිසුම් දුන්,

ගැබ්ගෙන සිටි මරිය තුමී සමග ලියාපදිංචි වනු පිනිසය. තවද, ඔවුන් එහි සිටියදී ඇගේ ප්‍රසව කාලය සම්පූර්ණ විය. ඈ කුළුඳුල් පුත්‍රයා බිහිකොට රෙදිවලින් ඔතා තානායමෙහි ඉඩකඩ නොතිබුණු බැවින් ගව ඔරුවක තැබුවාය.‘

බයිබලයේ සඳහන් වන මෙම ගව ඔරුව මෙන්ම ජේසු තුමන්ගේ ජීවිතය හා බැඳි බොහෝ දෑ පිළිබඳව ගවේෂණය කර ඒවා සොයාගත් තැනැත්තිය වන්නේ ශාන්ත හෙලේනා තුමියයි. එතුමිය කොන්තස්තීනු අධිරාජ්‍යයාගේ මවුතුමිය වන අතර එතුමිය ක්‍රි.ව. 326 දී පලස්තීනයේ ශුද්ධ වූ ස්ථාන වලට ගොස් වසර දෙකක් එහි ගතකොට මෙම ධාතූන් සොයාගත් බව සඳහන් වෙයි. එසේම ජේසුතුමන් උපත ලද ස්ථානයේ කුඩා පල්ලියක් පවා ඉදිකර ඇති එතුමිය ක්‍රි.ව. 327 දී මෙම ගව ඔරුවේ ධාතූන් කොන්ස්තන්තිනෝපලයට (ඉතාලියට) රැගෙන විත් එතුමියගේ පෞද්ගලික පල්ලියක තැන්පත්කර තබා වැඳුම් පිදුම් කර තිබේ.

වර්තමානයේ මෙම ධාතුන් මේරි මේජර් බැසිලිකාවේ තැන්පත් කර තිබෙන අතර එය සියැසින් දැක ගන්නට හැකිය.

වතිකානයෙන් බැහැරව රෝම නගරයේ පීසා හි 42, 00100 ස්ථානයේ ඇති මෙම බැසිලිකාව පාප් වහන්සේට අයත් වතිකානයෙන් පාලනය වන බැසිලිකාවකි. පාප් වහන්සේට අයත් බැසිලිකා හතරක් ඇති අතර ශාන්ත ජෝන් ලැටරන්, සාන්ත පීතර බැසිලිකාව, සාන්ත පෝල් බැසිලිකාව සහ සාන්ත මේරි මෙජර් බැසිලිකාව වෙයි. මෙය ජේසුස් වහන්සේගේ මවුතුමිය වන කන්‍යා මරියතුමිය වෙනුවෙන් නම් කර තිබෙන රෝමයේ ඇති පළමු සහ විශාලතම පල්ලිය වෙයි. එසේම වර්තමානයේ අප ඉතාලියේ දකින සෑම පල්ලියක්ම පාහේ විවිධ හේතුන් නිසා වරින් වර විනාශ වී යාමෙන් නැවත ඉදිකර හෝ පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණයන්ට ලක්වූ ඒවා වන නමුත් මෙම බැසිලිකාව වෙනසකට ලක් නොවූ සහ ප්‍රතිසංස්කරණය නොකළ එකම පල්ලිය ලෙස හැඳින්වේ.

මෙම දේවස්ථානයට ඇතුළු වීමට පෙර දුර සිට නැරඹීමෙදී එහි ඇති දැවැන්ත බව සහ ගාම්භීර බව දැකගත හැකිය. දුර සිට බැලීමේදී එකවරම ඇස් යොමුවන්නේ මෙහි ඝාන්ඨාර කුලුණ වෙතයි. එය මීටර් 75 ක උසකින් යුතුවන අතර රෝමයේ ඇති උසම ඝාණ්ඨාර කුලුණයි.

ක්‍රි.ව. 432 දී මෙම පල්ලිය ඉදිකිරීම ආරම්භ කර ඇති අතර ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කර ඇත්තේ ක්‍රි.ව. 1743 දී.වර්තමාන පල්ලිය ඉදිකර ඇත්තේ තුන්වැනි සික්ස්ටස් පාප්තුමාගේ කාලයේදිය. මෙම පල්ලිය ඉදිකිරීම ආරම්භයේ සිටම ඉතා විශාල ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, ඉදිකිරීම් අවසන් කර ඇත්තේ කොටස් ලෙසින්. වරින් වර මෙයට නව කොටස් එකතු කළ නමුත් මුල් ගොඩනැගිල්ල එලෙසම පැවතීමත්, වරින්වර එකතුකළ කොටස් මුල් සැලසුමට ඇතුළත්ව තිබීමත් නිසා පුරාතන රෝම අධිරාජ්‍ය යේ ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයක් ලෙස මෙම පල්ලිය හඳුන්වයි.

අපි ඉතාමත් භක්තිවන්තව නිෂ්ශබ්ධව බැසිලිකාවට ඇතුළු වීමු. අපගේ මඟ පෙන්වන්නිය රොබින් කරන විස්තරයට ඉයර්ෆෝනය ඔස්සේ සවන්දෙමින් මුලින්ම ඉහළට දෑස් යොමු කළෙමු. ඒ මෙම දේවස්ථානයේ ඇති අලංකාර සිවිලිම දැක ගන්නටයි. එහි ඇත්තේ රනින් නිම කරන මල්වලින් පිරි නෙත් වශීකරවන කැටයම් වලින් යුතු නිර්මාණයකි. 16 වැනි ශත වර්ෂයේ 6 වැනි ඇලෙක්සැන්ඩර් පාප්තුමාගේ අදහසකට අනුව මෙම සිවිලිම නිර්මාණය කර ඇත.මෙම විසිතුරු සිවිලිම නිර්මාණය කර ඇති නිර්මාණ ශිල්පියා වන්නේ (Giulliao de Sangalo)ගිලියානේ ඩි සැන්ගිලෝය. මෙය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය රත්‍රන් පාප්තුමාට පරිත්‍යාග කර ඇත්තේ පර්ඩිනැන්ඩ් රජතුමා සහ ඉසබෙලා රැජන විසිනි. මෙම රත්‍රන් මෙහි ගෙනැවිත් ඇත්තේ දේශ ගවේෂකයවරයකු ලෙස ප්‍රසිද්ධ ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසිනි. පර්ඩිනැන්ඩ් රජ සහ ඉසබෙලා රැජන ස්පාඤ්ඤ රජ පෙළපතකට අයත් දෙදෙනෙක් වන අතර කතෝලික විශ්වාසය සහ කතෝලික ආගම ආරක්ෂාකිරීම නිසා 6 වැනි ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ විසින් 1494 දී ඔවුන් දෙදෙනා ‘කතෝලික රජ සහ රැජන‘ ලෙස නම් කර තිබෙනවා. ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ දේශ ගවේෂණ කටයුතු සඳහා අනුග්‍රහය ලබාදී ඇත්තේද මෙම රජ සහ රැජන නිසා කොලොම්බස් මෙම දේවස්ථානයට අවශ්‍ය රන් රැගෙන පැමිණ තිබෙනවා.

ක්‍රමයෙන් දේවස්ථානය ඇතුළට ගමන් කිරීමේදී ඈතින් ඇති අල්තාරය දිස්වෙයි. එහි රන් පාටින් දිස්වන්නේ ජේසු බිලිඳුන් උපන් අවස්ථාවේ සැතපී සිටි ගව ඔරුවේ ලී ධාතුවයි. මෙය තැන්පත් කර ඇති කරඬුව අසලට ගොස් දැකගෙන අත තබා ආශීර්වාද ලබා ගැනීමට පඩිපෙළකින් බැස යා යුතුය. මෙම ගව ඔරුවේ ලී ධාතූන් තැන්පත් කර ඇති විශාල කරඬුව රිදී වලින් නිර්මාණය කර තිබෙන්නේ ( Giuseppe valadier) ගුසෙප්පේ වැලඩියර් නම් ශිල්පියකු විසිනි. එසේම මෙහි අල්තාරය ඇති ස්ථානයේ සාන්ත ජෙරොම් තුමාගේ දේහය මිහිදන් කර ඇති අතර උන්වහන්සේගේ ප්‍රතිමාවක් ද මෙහි දැකිය හැකිය. උන් වහන්සේ 4 වැනි ශත වර්ෂයේ ශුද්ධවූ බයිබලය ලතින් භාෂාවට පරිවර්තනය කර ඇති අතර Doctor of church ලෙස හඳුන්වයි.

මෙම පල්ලිය දකුණු පැත්තට වන්නට තවත් කුඩා පල්ලි දෙකක් දැකිය හැකි අතර සිස්ටීන් චැපල් සහ බෝගස් චැපල් (Borghese Chapel ) ලෙස ඒවා හඳුන්වයි. ජේසුස් වහන්සේගේ උප්පත්තිය සමඟ බැඳුණු අනෙක් ධාතූන් සියල්ල තැන්පත් කර ඇත්තේ මෙම සිස්ටීන් චැපල් දේවස්ථානයේ අල්තාරය පාමුලයි. සාන්ත පීතර බැසිලිකාවේ ඇති පාප්තුමාගේ පල්ලිය වන සිස්ටීන් චැපල් හි අනුරුවක් ලෙස සැලකිය හැකි මෙහි 5 වැනි සික්ස්ටස් සහ 5 වැනි පියුස් පාප්වහන්සේලාගෙ දේහ මිහිදන් කරතිබේ. එසේම මෙම කුඩා සිස්ටීන් චැපල් පල්ලියේ එළියේ විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පී බෙර්නිනිගේ සහ ඔහුගේ පවුලේ අය මිහිදන් කර ඇති බවද සඳහන්.

මෙහි දැකිය හැකි අනෙක් කුඩා පල්ලිය වන බෝගස් චැපල් (Borghese Chapel ) පල්ලිය අතිශයින් වැදගත් ස්ථානයකි. බැසිලිකාව තුළ ඇති මෙම පල්ලියේ තැන්පත් කර ඇති දේව මෑණියන් ජේසු බිලිඳුන් වඩාගෙන සිටින ( Salus Populi Romani ) සිතුවම නිසා මෙම කුඩා පල්ලිය සුවිශේෂී වෙයි. මෙම සාලුස් පොපුලි රොමානි සිතුවම රෝම වැසියන්ගේ ගැලවීම , රෝම වැසියන්ගේ නිරෝගීකම සංකේතවත් කරයි. එයට හේතුව අතීතයේ රෝම වැසියන් දරුණු රෝග වසංගතයකින් පෙළී ඇති අතර මෙම සුරුවමට (සිතුවමට) යාඥා කළ පසු එයින් සියලු දෙනාම සුව වූ බවත්, එතැන් සිට මෙම සිතුවම ශුද්ධ වස්තුවක් ලෙස සලකන බවත් සඳහන් වෙයි . මෙය ශුද්ධ වූ ලූක් තුමා විසින් නාසරෙත්හි තිබූ ශුද්ධවූ පවුල භාවිතා කළ ලී මේසය මත තබා සිතුවම් කර ඇතැයි විශ්වාස කරයි. ජේසු තුමා අවසන් මොහොතේ තම මෑණියන් ගෝලයන්ට බාර කර ඇති අතර, එතුමා කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ පසු මරිය තුමිය නිවෙස අතහැර යද්දී මෙම මේසය රැගෙන ගිය බවද දැක්වෙයි. චිත්‍ර ශිල්පියකු වූ ලූක්තුමා මෙම සිතුවම අඳින අවස්ථාවේ මරිය තුමිය ඔහු අසල සිට ජේසුතුමන් ගේ ජීවිතය පිළිබඳ විස්තර කියූ බවද සඳහන් වෙයි. මෙය රෝමයේ දැකිය හැකි දේව මෑණියන්ගේ පැරැණිතම සිතුවම ලෙසද සැලකෙයි.

එසේම 5 වැනි සියවසට අයත් පැරැණි ගිවිසුමේ පූර්ව ක්‍රිස්තියානි යුගයේ මොසැයික් සිතුවම් රාශියක්ද මෙහිදී දැකගත හැකිය.

(ලබන සතියේ සාන්ත පීතර බැසිලිකාවට යමු ) 

Comments