
අද රාත්‍රී 12.00 ට ඇරැඹෙන නත්තල් දිනය මෙරට මෙන් ම ලොව පුරා ම කිතුණු බැතිමතුන් සමරන්නේ මහත් වූ ප්‍රීතියකිනි. සාමයේ කුමරා උපත ලද නත්තල් දිනය සමරන අයුරු මෙවර සිංහල කලා අඹරේ දිදුළන තරු කිහිපයකින් ම විමසා බලන්නට අපි කටයුතු කළා. මේ ඔවුන් නත්තල සමරන අයුරුයි.
හඬක් නැති අය වෙනුවෙන් හඬක් නැඟිය හැකි නම් එයයි නත්තල
මරියසෙල් ගුණතිලක
මම ලංකාවෙ නෙමෙයි මොන රටක හිටියත් දෙසැම්බර් 25 නත්තල් දිනය සමරන්නේ තවත් එක් සාමාන්‍ය දිනයක් ලෙසයි. මොකද නත්තල කියන දෙය සැරසිලිවලින්, නත්තල් ගස්වලින්, අලුත් ඇඳුම්වලින් මනින්න බැහැ. සැබෑ නත්තල කියන්නේ එය නෙමෙයි. අද කොතැනකවත් සැබෑ නත්තල නැහැ. සැබෑ නත්තලේ පණිවුඩය ලෙස මම දකින්නේ තව කෙනෙක් වෙනුවෙන් යම් දෙයක් කරන්න පුළුවන් නම් හඬක් නඟන්න බැරි අය වෙනුවෙන් සුළුවෙන් හෝ හඬක් නඟන්න පුළුවන්, නම් ඔවුන් වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම්, එය තමයි මගේ නත්තල. මගේ අම්මා කතෝලික. ඒ වගේ ම මගේ පුතා ලංකාවේ ඉන්න කාලෙ මමත් ඔවුන් සමඟ නත්තල සැමරුවා. ඒත් මම හිතන්නේ නත්තල කියන දෙය එක දවසකට සීමා විය යුතු නැහැ. සතුන් වෙනුවෙන්, අසරණ වූ අය වෙනුවෙන් උදව්වක් කරන්න පුළුවන් නම් එය තමයි නත්තල.
නත්තල ජීවිතේ අලුත් කරගන්න ලැබෙන වරප්‍රසාදායක්
නලීන් පෙරේරා
නත්තල උදාවත් සමඟ අපේ හදවත් සතුටින් පිරීඉතිරී යනවා. කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදිලා පවුලේ අයත් සමඟ වගේම නෑදෑ හිතමිතුරන් අසල්වාසීන් සමඟ සතුට සාමය සහජීවනය බෙදාහදා ගනිමින් කටයුතු කරන්නට නත්තල වැදගත් වෙනවා.මම දකින විදිහට නත්තල කියන්නේ අපේ ජීවිතේ හැමදේම අලුත් කරගන්න, අලුතින් හිතන්න අපට ලැබෙන වරප්‍රසාදයක්. හරියට කම්පියුටර් එකක් ෆෝමැට් කරනවා වගේ නත්තල් පණිවුඩය කියන්නේ අපේ ජීවිත තුළට ඩවුන්ලෝඩ් කරගන්න සොෆ්ට් වෙයාර් එකක් කියලයි මට හිතෙන්නේ. මනුෂ්‍යයන් ලෙස ඒකාකාරී ජීවිතයෙන් යම් තරමකට දුරස්වෙලා දෙවියන් වහන්සේ වදාළ ධර්මයට ප්‍රමුඛස්ථානය දීලා ධර්මානුකූලවීම වගේම ගෙදර දොර ජීවිතයත් යහපත්ව පවත්වාගෙන යාමට මූලිකත්වය නත්තලේ දී ලැබෙනවා.
නත්තල සුපුරුදු විදිහට අර්ථවත්ව සමරනවා
රොනී ලීච්
නත්තල ගැන කතා කරත් දී කිතුණුවෙකු ලෙස නත්තල මම දකින්නේ කලා බීලා සතුටු වෙන එක නෙමෙයි. උතුම් වූ බයිබලයේ තිබෙන නැතිබැරි පවුලක් හෝ නැතිබැරි දරුවෙකුට කෑමවේලක් ලබා දීම එහෙම නැති නම් බෙදාහදා ගැනීම තමයි සැබෑ නත්තල ලෙස මම දකින්නේ. අපිට නම් කෑම වේලක් කියන එක නිතර ලැබෙනවා. නමුත් අද රටේ එක වේලක් කාලා ජීවත් වන පවුල් කී දහක් නම් ඉන්නවද? ඒ වගේ අයත් එක්ක බෙදාහදා ගැනීම තමයි නත්තලේ දී අපි කළ යුත්තේ. මේ නත්තලේ දී මම මගේ රසිකයන්ට සුබ නත්තලක් වේවා කියා හදවතින්ම සුබ පතනවා. ඒ වගේම ඔවුන්ගේ ආදරය නිබඳවම මා සමඟ රැඳේවි කියා සිතනවා. මම ඔවුන්ගෙන් නත්තලේ දී එක් දෙයක් ඉල්ලනවා. ඒ තමයි වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව හදවතින් ඉවත් කරලා සැම දෙනා සමඟම දේව වදනට කන්දීලා සතුටින් සමාදානයෙන් ඉන්න කියන දෙයයි.
නත්තල සමරන්නේ රූපවාහිනී නාළිකා සමඟයි
නිලන්ති ඩයස්
මෙදා නත්තලට නම් ගෙදර ඉන්න ලැබෙන ඉඩකඩ අඩුයි. මොකද රූපවාහිනී නාළිකා කිහිපයකින්ම ආරාධනා ලැබිලා තිබෙනවා ඔවුන් සමඟ නත්තල සමරන්නට. ඒ වගේම මේ දවස්වල ප්‍රසංග සඳහාත් නර්තන සඳහාත් ආරාධනා වැඩියි. කාර්යබහුලම කාලවකවානුවක් තමයි ගත කරන්නේ. මේ සියල්ල සමඟ නත්තලත් ඉතාම සතුටින් වගේම සමාජයට වැඩදායී ලෙස සමරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉදිරියේ දී යළිත් මම රියැලිටි වැඩසටහනක් ඔස්සේ රසිකයන් අතරට එන්නට සූදානම් වෙනවා. මම හිතනවා මට ආදරය කරන මගේ රසිකයන් මේ දේවල් සමඟ මාත් එක්ක අත්වැල් බැඳගනීවි කියලා. හැම දෙනාටම සුබම සුබ නත්තලක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.
නත්තල් සැමරුමට පවුලේ හැමදෙනාම එකතු වෙනවා
ක්ලීටස් මෙන්ඩිස්
හැමදාමත් වගේ නත්තල මෙවරත් මම සමරන්නේ සහෝදර සහෝදරියන් නෑදෑ හිතමිතුරන් සමඟ එක්වයි. මෙවර මගේ බිරියගේ සොයුරාගේ රාගම පිහිටි නිවසේ තමයි අපි නත්තල සමරන්නේ. ඉස්සර නම් නත්තලට හැමදෙනාම එක්කාසු වුණේ අපේ මහ ගෙදරට. මේ විදිහට එකතු වෙලා නත්තල සමරපු හැටි මට තවමත් මතකයි. දැන්නම් දවසින් දවස එක එක් කෙනාගේ නිවෙස්වල නත්තල් සමරනවා. ඒ වගේ ම නත්තල් දා රාත්‍රි 12.00 පල්ලියේ පූජාවට යන්න අමතක කරන්නේ නැහැ. දෙවියන්ගේ පිහිටෙන් දේව කැමැත්ත අනුව මගේ ජීවිතේ බොහෝ දේ මේ වනවිට ඉටුවෙලා තිබෙනවා. ඉදිරියටත් කරදරයක් නොමැතිව ජීවිතේ සතුටින් දෙවියන්වත් අදහගෙන ගත කරන්නට ලැබේවා කියා තමයි මම නත්තල් දිනයේ ප්‍රාර්ථනා කරන්නේ.