ඉන්ද්‍ර­ජිත් චාමි­ක­රගේ සෝක් සර් අද පිළි­ය­න්දල මධ්‍ය විද්‍යා­ලයේ දී | සිළුමිණ

ඉන්ද්‍ර­ජිත් චාමි­ක­රගේ සෝක් සර් අද පිළි­ය­න්දල මධ්‍ය විද්‍යා­ලයේ දී

වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලනික හා සමාජ ප්‍රශ්න හාස්‍යයට ලක්කරමින් ඉන්ද්‍රජිත් චාමිකරගේ නිර්මාණය කළ “සෝක් සර්“ නාට්‍යය අද (24 වැනිදා) සවස 3.30 ට හා 6.30 ට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාල ශ්‍රවණාගාරයේ දී වේදිකා ගත කෙරේ.

ජයරත්න රූපසිංහ රචනා කළ මේ නාට්‍යයෙහි සනෝජා බිබිලේ, ජයරත්න රූපසිංහ, ජයතිලක හේරත්, මහින්ද කරුණාරත්න, චූලා මෙන්ඩිස්, ගයා ක්‍රිෂානි, රුවන් චාමර රංගන දායකත්වය ලබාදෙන අතර මිරාන් තරිඳු සංගීතයෙන් ද, වසන්ත කුමාර රංගාලෝකයෙන් ද, ආනන්ද පොල්ගහවෙල අංග රචනයෙන්ද, සුසන්ත පුෂ්පකුමාර, දයානි අමරසේන වේදිකා පරිපාලනයෙන් ද දායකත්වය ලබා දෙති.

රජා මාරයි, බීන් ඉන් ශ්‍රී ලංකා, සෝබොන්ලා, කොමඩි 07 යි, යන වේදිකා නාට්‍යය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ චාමිකර, පාසල් අවධියේ සිට ම කලාවට ඇලුම් කළ ශිෂ්‍යයෙකි.

එවකට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ සරසවි කලා සංගමය මඟින් පවත්වන ලද කලා උළෙල වලදී රංගනය, නාට්‍යය නිෂ්පාදනය හා පසුබිම් සංගීතය ආදී ඉසව් රැසකින් සම්මාන දිනාගැනීම ට සමත්ව ඇත.පාසල් නාට්‍යය කණ්ඩායමේ සමාජිකයෙකු ලෙසත්, නාට්‍යයකරණය පිළිබඳව ප්‍රේමකුමාර කරුණාරත්න ගුරුවරයා යටතේ හැදීරිමත් තුළින් ලබාගත් දැනුම හා කුසලතාවයත් පසුකාලීන ව සිය නාට්‍යය නිෂ්පාදනයට හා අධ්‍යක්ෂණය ට ඉවහල් කරගෙන තිබේ.

මීට අමතරව විද්‍යාලයීය නිර්මාණ රංග පර්ෂදය, සාරංග සේනා කලා පෙරමුණ, ශනි දින සෞන්දර්ය බහු අධ්‍යන ආයතනයන් මඟින් පැවැත් වූ සිනමාව, රූපවාහිනිය හා වේදිකා නාට්‍යය පිළිබඳ පාඨමාලා හඳාරා ඇත.පාසලෙන් පරිබාහිරව ලයනල් රංවල ශුරීන්ගේ නාට්‍යය හා රංග කලා පාඨමාලා ද හදාරා ඇත. එමෙන්ම හොරණ ජනසෙත කලා පෙරමුණ විසින් සංවිධානය කළ එක් අවුරුදු නාට්‍යය හා රංග කලා වැඩමුළුව ද චාමිකර හදාරා තිබේ.

යෞවන සම්මාන හා රාජ්‍ය නාට්‍ය උළෙල යනාදිය ට රංගනයෙන්, පසුබිම් සංගීතයෙන් හා වේදිකා පරිපාලනයෙන් මෙන්ම බන්දුල විතානගේ මහතා අධ්‍යක්ෂණය කළ රෝමය ගිනි ගනී, සිකුරු සැනකෙළිය යන නාට්‍යයන් හි වේදිකා පරිපාලනය දායක වීමෙන් නාට්‍යය ක්ෂේත්‍රයට ද පිවිසීමට සමත් ව ඇත.

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ ගොළු හදවත සහ විමලරත්න අධිකාරි මහතාගේ ඉංගම්මාරුව යන ටෙලි නාට්‍යය සඳහා රංගන දායකත්වය ලබාදෙමින් චාමිකර නාට්‍යය ක්ෂේත්‍රයට ද ඇතුළු වූවා පමණක් නොව දයාරත්න රටගෙදර මහතාගේ නිර්මාණ කිහිපයක සහය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර ඇත. බීන් ඇන්ඩ් ජෝන්, සෙනෙහෙලතාගේ පිට්ටු බම්බුව නමින් විනෝදාත්මක කෙටි චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කර ඇති අතර මේ වන විට කැමරා ශිල්පියෙකු,අධ්‍යක්ෂකවරයෙකු ලෙස රූප රචනා, වෙළෙද දැන්වීම්, රූපවාහිනි වාර්තාමය වැඩසහන් නිර්මාණය කරමින් සෙවණැලි ක්‍රීයේෂන්ස් නම් ආයතනයක් ද ආරම්භ කරමින් කලා ක්ෂේත්‍රය ට නියලී සිටී.


දිල්කි නවෝද්‍යාගේ ‘සිහිනය‘ 30 වැනිදා ඉංගිරියේ දී

යොවුන් ගායිකා දිල්කි නවෝද්‍යා පොල්ගම්පලගේ භාරතීය සංගීත ප්‍රසංගයක් ඉංගිරිය නව රංඟ ශාලාවේදී ලබන 30 වැනිදා සවස 6.00 ට පැවැත් වේ.

‘සිහිනය‘ ලෙසින් නම් කොට ඇති මෙම ප්‍රසංගයේ නිවේදන කටයුතුවලින් සහය වන්නේ සංගීතවේදී තරිඳු ජයතිලකය. ජනප්‍රිය ගායක දෙපළක් වන රවීන් කණිෂ්ක හා උදේශ් ඉන්දුල ගායනයෙන් සහය වෙති. මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සංගීතපති ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව සූරින් සමඟ නව පරපුරේ සංගීතඥ නිමන්ත හේෂාන් සහභාගි වෙති. ඇය හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ සංගීතාචාරිනී විශාරද සේනානි දමයන්ති මහත්මියගේ හා ව්‍යාපාරික ජීවශාන්ත පොල්ගම්පලගේ එකම දියණිය වේ.


අනිල් භාරතීගෙන් නත්තල් ගී තැටියක්

ප්‍රවීන ගායක අනිල් භාරති ගායනා කරන බෙත්ලෙහෙම් පුරේ ගීතය ඇතුළුනත්තල් ගීත එකතුව සංයුක්ත තැටියක් ලෙස වෙළෙද පොළට නිකුත් කෙරේ.මේ වන විට ඔහු ගායනා කර ඇති නත්තල් ගීත අතුරින් සුවිශේෂී නත්තල් ගීත 12 ක් මේ සංයුක්ත තැටියට ඇතුළත් කර ඇති අතර එම ගීත 70-80 දශකයේ ප්‍රසිද්ධ ප්‍රවීණ ගීත රචකයන් විසින් නිර්මාණය කර ඇත.

මෙම සංයුක්ත තැටිය සියලුම ප්‍රසිද්ධ කතෝලික පොත්සල්, ප්‍රධාන සිද්ධස්ථාන, පූජා භාණ්ඩ අලෙවිසල් වලින් හා Torana Musicbox, Arpico super Centerrs හයිඩ් පාර්ක්, දෙහිවල, වත්තල, මීගමුව, බත්තරමුල්ල හා නාවින්න යන වෙළෙඳ මධ්‍යස්ථානවලින් හා 0777748503 විමසීමෙන් ලබාගත හැකිය.


'රේන්බෝ සීකර්ස්' සංගීත සැණකෙළිය 30-31 වාද්දුවේදි

විදේශීය ඩී.ජේ ශිල්පී ඔගස්ටින් සමග ලංකාවේ ඩී.ජේ ශිල්පීන් ඉදිරිපත්කරන මෙරට ප්‍රථම වරට පැවැත්වෙන 'රේන්බෝ සීකර්ස්' ඉලෙක්ට්‍රොනික සංගීත සැණකෙළිය වාද්දුවේ සැෆ්රන් හෝටලයේදි ලබන 30 සහ 31 දිනවල සවස පැවැත්වේ.

මෙරට ප්‍රථම වරට 3d මැජික් ස්ටේජ් තාක්ෂණයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදි විසිතුරු මල්වෙඩි සංදර්ශන, ෆිෂ් තෙරපි, ෆේස් පේන්ටින් ඇතුළු විශේෂාංග රැසක් මෙදින පැවැත්වේ. සංවිධානය නදර්න් ලයිට් එන්ටටේට්මන්ට් විසිනි.


නව පරපුරේ ගායන ශිල්පී ප්‍රියන්තගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය අද දැදිගමදී

නවක ගායන ශිල්පියකු ලෙසින් කරළියට එන කේ. ජී. ප්‍රියන්ත කුමාර චන්ද්‍රසේකකරගේ ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය 'ප්‍රියන්ත සැඳෑ ගී මියැසිය අද (24) සවස 1.00ට දැදිගම පැරකුම්භා මහා විද්‍යාලයීය රඟහලේදි එළිදැක්වේ.මේ ගී ප්‍රසංගය නොමිලයේ රසවිඳීමට ඔබටත් අවස්ථාව හිමිවනු ඇත.

මිලාන වු මල් නම් වු ඔහුගේ ප්‍රථම ගීතය ගේය පද රචනය තුෂාරා රුවන් කුමාරිගෙනි. තනු නිර්මාණය ප්‍රවීණ සංගීතවේදි නිමල් ගුණසේකරගෙනි. සංගීතය ගලිගමුව අසංග විසිනි.

මෙම ප්‍රසංගය සඳහා සහය ගායනයෙන් මියුරාණි ගුණසේකර හා වසන්තා තිලකාංගනී යන ගායිකාවෝ එක්වෙති. ප්‍රවීණ සංගීතවේදි එස්. ඒ. රාණි (රාජා මාස්ටර්) ප්‍රසංගය සංගීතවත් කරයි.

ප්‍රියන්ත ගායන ක්ෂේත්‍රයට පියමංකර තිබෙනුයේ පාසල් කාලයේ සිටය. දැදිගම පැරකුම්භා විද්‍යාලයේ සියලු කලා කටයුතු සඳහා ඔහුගේ නොමසුරු දායකත්වය දී තිබේ. ඔහු දැනටමත් සංගීත ප්‍රසංගයක් සඳහා සහභාගි වී තිබේ. ඒ අතර ජෑස් ඩ්‍රම්ස් වාදන ශිල්පියකු ලෙසද අපූරු දක්ෂතාවයක් දක්වයි. තමා සතු හැකියාව සෙසු පරපුරට ලබාදීම වෙනුවෙන් ඩ්‍රම්ස් වාදන ගුරුවරයක් ලෙසද කටයුතු කරයි.

තම සංගීත දිවියට නිබඳ අත්වැල් සැපයු මව ජී.ආර්. ආරියවතී සහ සංගීතාචාර්ය එස්. ඒ රාජා . මියුරාණි ගුණසේකර, වසන්තා තිලකාංගනී සහ තම සහෝදර , සහෝදරියන් ඉතා ආදරයෙන් සිහිපත් කරන්නට ඔහු අමතක නොකළේය. 071-9145207යන දුරකථන අංකයෙන් හෝ ප්‍රියන්ත කුමාර, ඇල්ලෙවත්ත, පිටදෙණිය, තුංතොට යන ලිපිනයෙන් කලා කටයුතු හා සම්බන්ධවිය හැකියි.


“නව වසරට ආසිරි යුනයිටඩ් ගී මියැසිය” 27 දා බූස්සේදී....

 

ගාල්ල, බූස්ස, කැකිල්ලමණ්ඩිය යුනයිටඩ් ක්‍රීඩා සමාජය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “නව වසරට ආසිරි යුනයිටඩ් ගී මියැසිය” මහා සංගීත රාත්‍රිය ලබන 27 දා බූස්ස, කැකිල්ලමණ්ඩියේදී නොමිලේ පැවැත්වේ.

ප්‍රසංගය සංගීතවත් කරනු ලබන්නේ සේනක ක්‍රිෂ්බන් ප්‍රමුඛ ‘පර්පල් රේන්ජ්’ සංගීත කණ්ඩායම විසිනි.

ධනපාල උඩවත්ත - සඳුන් පෙරේරා අසංග ප්‍රියමන්ත පීරිස් - රූපා ඉන්දුමතී ජූඩ් රොගන්ස් - ශශිකා නිසංසලා චාමර රණවක - චාමර වීරසිංහ

රසික චාමර - චන්දික නුෂාන් යන ශිල්පීන් මෙම ප්‍රසංගය වර්ණවත් කිරීමට නියමිතය.

ප්‍රසංගයේ කථනය රුවන් තොටගමුව විසිනි. මාතර මීෂා ප්‍රමුඛ ශයින් ගර්ල්ස් ප්‍රසංගය නර්තනයෙන් විචිත්‍රවත් කරයි.


සැනෙට් දික්කුඹුර කලාකරුවාට උපහාර

දශක හතරකටත් වැඩි කාලයක් රංගන ක්ෂේත්‍රයේ නම රැන්දූ සැනෙට් දික්කුඹුර කලාකරුවා මෙතෙක් කළ සේවාව අගයමින් විශේෂ උපහාරයක් ප්‍රසාද් සමරතුංග අධ්‍යක්ෂණය කළ 'ඉස්කෝලෙට මං ආවා' සිනමාපටයේ කණ්ඩායම මඟින් සිදු කරන ලදී.

එම සිනමාපටයේ නිෂ්පාදක සඳුන් දොළමුල්ල විසින් ඔහුගේ සංකල්පයකට අනුව සැනෙට් වෙත ජීවිත කාලය පුරාවට විශ්‍රාම වැටුපක් ලබාදීම ආරම්භ කිරීමද එදින සිදු කෙරිණි.

එම අවස්ථාවට සමගාමීව 'අහස් ගව්වෙන් මතුවුණ කලා පව්වේ සැනට් සලකුණ' නමින් සැනට් දික්කුඹුර පිළිබඳ නිර්මාණය වූ වාර්තා වැඩසටහන අන්තර්ජාලයට එක් කිරීමද සිදු විය. 

Comments