අන්ති­මේදි මට අම්මව බලන්න එන්න බැරි වුණා | Page 2 | සිළුමිණ

අන්ති­මේදි මට අම්මව බලන්න එන්න බැරි වුණා

පියවතී... තම උරහිස මත සිය අත තබාගෙන සිටියද, ඇගේ දෙනෙත් තවමත් බිමට යොමු වී තිබෙන අයුරු ෆියෝනා දුටුවාය. පියවතී තමා පසුපසින් පැමිණෙන්නට ඇත්තේ අයියා හෝ ස්වේතා පැවසූ හෙයින් වන්නට ඇත. එහෙත් තවමත් ඇයට තමාට මුහුණ දීමට ශක්තියක් නොමැති සේය. ෆියෝනා, පියවතීගේ මුහුණට එබී බැලුවාය.

“පියවතී... මං හිතුවක්කාරියක්. හැමෝටම අවනම්බු කරලා ගෙදරින් ගිය කෙනෙක්. ඇයි පියවතී මා පස්සෙන් ආවෙ? ”

පියවතීගේ මුහුණෙහි මස්පිඬු සලිත වෙමින් පවතින බව ෆියෝනා දුටුවාය. ඇය සිය හැඬුම් පාලනය කර ගැනීමට මහත් උත්සාහයක් දරමින් සිටියාය.

“අඬන්න එපා. ආයෙ කවදාවත් මං ඔයගොල්ලන්ට කරදරයක් වෙන්න එන්නෙ නෑ. ”

තම උරහිස මත මේ වනතුරුත් රැඳී ඇති පියවතීගේ අත පසෙකට කළ ෆියෝනා මවගේ සොහොන අසළට පිය නැගුවාය. අම්මා... අම්මා තමා සමීපයෙන්ම නිදා සිටින්නේ යයි ෆියෝනාට සිතිණ. ඇතැම් විට ඒ පරතරය යාර කීපයක් පමණක් වන්නට ඇත. ඇය බිම හිඳ ගත්තාය. අම්මාගේ තරුණ කල ගත් සේයාරුවක් සොහොන් කොතෙහි

විය. ඇය ළංවී එදෙස වුවමනාවෙන් බලා සිටියාය. අම්මා තරුණ කාලයේ මොන තරම් නම් සුන්දරව සිටින්නට ඇත්ද? එම සේයාරුවෙහි ඇය මුවින් සිනා නොවූවද, මුවග යන්තමින් සිනාවක් ඇඳී තිබෙයි. එයට යටින් උපත... විපත... ජීවිතය යනු උපත හා විපත අතරතුර ඇති කෙටිම කෙටි ඉරි කැබැල්ලක් පමණක් බව වටහා ගත්තේ නම් අභීත හෝ අක්කලා දෙදෙනා මෙතරම් ආත්මාර්ථකාමී ලෙසින් ක්‍රියා නොකරනු ඇතැයි ෆියෝනාට සිතිණ. තරහ, වෛරය, ඊර්ෂ්‍යාව, තණ්හාව, ලෝභකම... මේ සියල්ලම ඇතිවන්නේ උපත හා විපත අතරතුර දීර්ඝ කාල සීමාවක් පවතින්නේ යයි සිතන්නන් තුළ විය යුතුය.

“අම්මා...”

ඇය මුහුණ බිමට ළං කරගෙන සෙමෙන් කතා කළාය.

“අම්මා.. මං ආවා. චූටි කුමාරි ආවා.”

අම්මාට තමා පවසන සියලු දෑ ඇසෙනු ඇතැයි බොළඳ කල්පනාවක් ෆියෝනා තුළ විය.

“අන්තිමටවත් අම්මා දකින්න එන්න බැරි වුණා. අම්මා මට සමාවෙන්න.”

එවර ෆියෝනා ඉල්ලා සිටියේ මුවින් නොව සිතිනි. එහෙත් පිළිතුර නිශ්ශබ්දතාවය පමණක්ම විය.

“අම්මා... අනේ අම්මා කතා කරන්න...”

ෆියෝනාට කෑගැසී හැඬිණ. අම්මාගේ මෙන්ම අප්පච්චිගේද, අත්තම්මාගේද, ලොකු අත්තාගේද සොහොන් කොත් වලට සෙවණ සදමින් එම බිමෙහි වවා තිබූ මලින් පිරී තිබුණු සුදු අරලියා ගසක වසා සිටි කුරුල්ලෙක් ඇගේ මුහුණ අසලින් පියඹා ගියේය. වහා දිව ආ පියවතී ෆියෝනාගේ උරහිසින් අල්ලා ඇය නැගිටුවන්නට තැත් කළාය.

“අනේ චූටි කුමාරි අපි ගෙදර යමු.”

පියවතී බැගෑපත් ලෙසින් ඉල්ලා සිටියාය.

“මට දුකයි පියවතී. මං අම්මට හිතුවක්කාර වුණා. අම්මගෙ හිත රිද්දුවා. අන්තිමේදි මට අම්මව බලන්න එන්න බැරි වුණා.”

“නෑ චූටි මැණිකෙ. ලොකු මැණිකේ කවදාවත් ඒ ගැන හිත රිද්ද ගත්තෙ නෑ. තරහ වුණෙත් නෑ. මැරෙන්න කලින් දවසෙත් මා එක්ක කිව්වා. පියවතී අපේ චූටි කුමාරි දැන් සතුටින් ඇති නේද කියලා.”

කඳුළු පිස ගත් ෆියෝනා නැගී සිටියාය.

“ඇත්තටම අම්මා එහෙම කිව්වද?”

“දෙයියන්පල්ල චූටි කුමාරි. කිව්වා. දැන් චූටි කුමාරිගෙ නමත් වෙනස් වෙලා ඇති. ආගමත් වෙනස් වෙලා ඇති. ඇඳුම පැළඳුමත් වෙනස් වෙලා ඇ.ති. ඒ වුණාට පියවතී. මං දන්නවා චූටි කුමාරි ඇත්තෙ සතුටින් වෙන්න ඇති කියලා ලොකු මැණිකෙ මාත් එක්ක කිව්වා. ”

පියවතී පවසන්නේ සත්‍යයක්ද, නොඑසේනම් මුසාවක්දැයි නොදැන සිටි නමුත් ෆියෝනා තුළ ඇති වූයේ අස්වැසිල්ලකි. විවාහය පිළිබඳව කවරෙක් කවර ආකල්පයක් දැරුවද, අම්මා එකල පවා ඒ පිළිබඳව දැරුවේ වෙනස් ආකල්පයකි.

“විවාහ වෙන්න ඕන එකම සුදුසුකම දෙන්නට දෙන්නා කැමැති වෙන එක විතරයි. සල්ලි, උගත්කම, වත්පොහොසත්කම ඉස්සර කර ගත්තොත් එතන තියෙන්නෙ එකිනෙකා ගැන ආදරයක් නෙමෙයි. ගනුදෙනුවක් විතරයි. ”

අසල්වාසී එමෙන්ම දුරින් ඥාති සම්බන්ධතාවයක් ඇති ගැහැනියක් සිය පුතු නොගැළපෙන සම්බන්ධයක පැටලී ඇතැයි හඬමින් අම්මා හා පවසද්දී අම්මා ඇගේ සිත හදන්නට බොහෝ දෑ පැවසූ බව ෆියෝනාට සිහිපත් විය. අම්මා තුළ වූ වෙනස් ආකල්ප නිසා ඇය තම විවාහය පිළිබඳව සිතා කිසිකලෙක දුක් නොවන්නට ඇතැයි සිතන කල සිතට ඇති වන්නේ සතුටකි.

“දැන් අපි යමු චූටි කුමාරි.”

යළිත් පියවතී ෆියෝනා නැගිටුවන්නට උත්සාහ කළාය.

“අම්මා. මම යනවා අම්මා.”

අම්මාගේ සොහොනට තෙවරක්ම දණ නමා වඳින තුරු බලා සිටි පියවතී ෆියෝනාගේ අතින් අල්ලා ගත්තාය.

“අම්මා මාව මතක් කළාද පියවතී?”

මවගේ සොහොන නොපෙනන දුරට පැමිණි ෆියෝනා පියවතීගෙන් ඇසුවාය.

“නැතිව? නැති වෙන්න දවස් දෙක තුනකට කලින් ලොකු මැණිකෙ හරියට චූටි කුමාරිව මතක් කළා. චූටි කුමාරි දැන් අම්මා කෙනෙක් වෙලාද කියලා දැන ගන්න ලොකු මැණිකෙට ලොකු වුවමනාවක් තිබුණා.”

ෆියෝනා පිළිතුරක් නොදුන්නාය. ඇතැම් විට අම්මා එසේ පැවසුවේද, නැතිනම් පියවතීට වුවමනා වී ඇත්තේ තම තොරතුරු දැනගන්නටදැයි ඇය කල්පනා කළාය. ඉන්දියාවේ ගත කළ අවසාන දින කීපයේදී අම්මා නිතර නිතරම සිහිනයෙන් දුටු බව ඇයට සිහිපත් විය. රාඝව් සමග අසූ දෙහැවිරිදි බ්‍රාහ්මණ කුලයේ මාතාවක් මුණ ගැසෙන්නට යන ගමනේදී ඇය රාඝව් හා ඒ බව පැවසුවාය.

“ඒ ෆියෝනගෙ යටි හිත.”

ජනාකීර්ණ මාවත් ඔස්සේ සීරුවෙන් රිය පදවන රාඝව් පැවසූ අයුරු ඇගේ සිහියට නැගිණ.

“හිත කිව්වෙ? ”

“හිත කිව්වෙ ෆියෝනාට දැන් හිතෙනවා ඔයා ඔයාගෙ අම්මට වරදක් කළා කියලා. ඒ නිසා යටි හිත ඔයාගෙ උඩු හිත සනසන්න නිතර නිතරම අම්මව හීනෙන් දකින්න සලස්වනවා. ”

මාවත දෙපස වූ කරත්ත වල මිදි හා ඇපල් තබා විකුණන වෙළෙන්දන් දෙස බලමින් ගමන් කරන තම මුවග සිනාවක් නැගුණු ආකාරය ෆියෝනාට මේ දැන් සිදු වූවාක් මෙන් සිහියට නැගෙයි.

“ඇයි හිනාවෙන්නෙ? මං කිව්වෙ බොරුද?”

“මං බොරුයි කියලා හිතලා හිනාවුණා නෙමෙයි.”

“දන්නවද? දවස් දෙකක්ම මං ඔයාවත් හීනෙන් දැක්කා.”

“හීන වල තේරුම කියන්න දන්නවනම් දවස් දෙකක් මාව දැකපු එකේ තේරුමත් ඔයා දන්නවා ඇතිනේ. ”

“දන්නවා. ”

අතුරු මාවතකට රිය හැරවූ රාඝව් යන්තමින් හිස හරවා තම මුහුණ දෙස බැලූ ආකාරය ෆියෝනාට මතකයට නැගිණ.

“දන්නවනම් ඇයි කියන්නෙ නැත්තෙ? ”

“කියන්නෙ නැත්තෙ ඔයා තරහ වේවි කියලා. ”

“හීන දකින්නෙ හිතලා නෙමෙයිනේ. මං තරහ වෙන්නෙ නෑ කියන්න.”

“කියන්නද? ඒකෙ තේරුම තමයි මං ඔයාට ආදරෙයි කියන එක.”

රාඝව් පැවසුවේ තම මුහුණ රත් පැහැ කරවමින් විය යුතුය.

“චූටි කුමාරි. ”

ෆියෝනා තිගැස්සුණාය. සිත බොහෝ දුරක තබාගෙන පියවතී සමග බොහෝ දුරක් පැමිණ ඇති බව ඇය දුටුවාය.

“ඉස්සර චූටි කුමාරි කොච්චර දඟද? දැන් ඔය විදියට ඉන්න කොට මට හරියට දුක හිතෙනවා.”

“දැන් මට දඟ කරන්න බැහැනෙ පියවතී. දැන් මං කසාද බැඳපු කෙනෙක්. ”

පියවතීගේ මුහුණ දෙස බලා ෆියෝනා මඳ සිනාවක් නැගුවාය.

“බිස්කට් කොම්පැනියෙ මහත්තුරු හරි වසයි කියලා කට්ටිය කතා වෙනවා. ”

“කට්ටිය කතා වෙනවා කිව්වෙ. කවුද? ”

“වෙන කවුරුවත් නෙමෙයි. ගෙදර උදවියම තමයි. අද රෑට චූටි කුමාරිගෙ අක්කලා දෙන්නා ඒවි. අනේ මන්දා. මොනවා කිව්වත් හිත රිද්ද ගන්නෙ නැතිව ඉන්න.”

“මට තියෙන්නෙ රිදෙන හිතක් නෙමෙයි.”

“එහෙම කිය කියාම තමයි අපේ ලොකු කුමාරිලා දෙන්නා අඬා වැටුණෙ. ඇත්තටම චූටි කුමාරි. බිස්කට් කොම්පැනියෙ මහත්තයා ඇයි ආවෙ නැත්තෙ?”

“එයා ලංකාවෙ නෑ.”

“ලංකාවෙ නෑ? මොන බොරුද? අභීත මහත්තයා කිව්වෙ ලොකු මැණිකෙ නැතිවුණු වෙලාවෙ එයා ඒ මහත්තයටත් දැන්නුවා කියලා.”

“දැන්නුවා? ”

“නැත්නම්? දන්නලත් චූටි කුමාරි ආවෙ නැති එක ගැන ගමේ මිනිස්සු හරියට එක එක කතා කිව්වා.”

ෆියෝනාට එය අලුත් ආරංචියක් විය. පියවතී පවසන්නේ සැබෑවක්ද යන්න සිතා ගත නොහැකි නමුත් මීට හෝරා දෙකකට පමණ පෙර අසාර් දුරකතනයෙන් පැවසූ වදන් සිහිපත් වනවිට එය මුසාවක් ලෙසින් බැහැර කළ නොහැකිය. අසාර් එසේ කළේ ඇයි දැයි ඇය සිතුවාය. ෆියෝනා දුරකතනයෙන් අසාර් ඇමතීමට උත්සාහ කළ ද

ඒවනවිටත් ඔහුගේ දුරකතනය කාර්ය බහුලව තිබිණ. දිගු සුසුමක් හෙලූ ෆියෝනා නිවස දෙසට දිව ගියේ සිත පෙලන ශෝකය ඉවසා දරා ගැනීමට උත්සාහ කරමිනි.

ලබන සතියට 

 

Comments